Oct
25

ලිංගික සංක්‍රාන්තිකයන් සහ සමරිසි අය දිහා අමුතු වැරදි ඇස්වලින් බලන්න එපා

 
11185 Views
   
 

කළු… සමාජය අබිමුව කළු සළුපිළි වීසිකර ධවල සළුපිළි එළමින් සිටී. ගැඹුරු සමාජ කියවීමක් උදෙසා සමාජයේ ඇස්අරින කොඩිගහයට කළු සමඟ කතාබහේ ප්‍රස්තුතය යාවෙන්නේද ඒගැනය.

Qකොඩි ගහ යට ටෙලිනාට්‍යයේ කළු කියන්නෙ මම දකින විදිහට චරිතයක් විතරක් නෙවෙයි. චරිතයකට එහා ගැඹුරු සමාජ කියවීමක්. මම හිතනවා කළු තුළින් යම් සමාජ අවශ්‍යතාවයක් ඉටු කරන්න, තවත් විදිහකින් පොදු සමාජයේ බහුතරයක් මේ මොහොතේත් ලිංගික සංක්‍රාන්තිකයන් දෙස හෙළන අමුතු බැල්ම වෙනස් කරන්න කළුට පුළුවන් වුණා කියලා. ලුසේනා ඔබේ උත්තරේ මට කියන්න?

ජගත් මනුවර්ණට තිබුණා අදහසක් කළුගේ චරිතය කොයි වගේ තැනකද ස්ථානගත කරන්නෙ කියලා. කළුගේ චරිතය අද වෙද්දි යම් සමාජ කියවීමක් බවට පරිවර්තනය වෙලා තියෙන්නෙ අධ්‍යක්ෂකවරයා සතුව තිබූ ඒ කියවීම නිසයි. ඕපපාතිකව කළු කියන චරිතය අධ්‍යක්ෂකවරයා බිහි කළා නෙවෙයි. කොඩි ගහ යට පටන් ගනිද්දිම ජගත් අයියා කිව්වෙ කළු චරිතයට මාව ගන්නෙම ඒ චරිතයේ තියෙන ශක්තිමත් බව පෙන්වන්න කියලා. අපේ රටේ නිර්මාණයකට මෙවැනි චරිතයක් නිර්මාණය කරද්දි බොහෝවිට සිදුවුණේම ඔවුන්ට පිළිගැනීමක් නොලැබෙන විදිහට නිර්මාණය තුළත් එම චරිතය හෑල්ලුවීමක් කියලා කිව්වොත් මම හිතන්නෙ නිවැරදියි. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන මාධ්‍ය තුනම ගත්තත් එහි ඇතුළත් වෙන්නෙ නළු කාර්යයක් පමණක් නෙවෙයි. පිටපතක් තියෙනවා, අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. ඒ අයගේ අදහස තමයි නළුවකු විසින් ප්‍රතිනිර්මාණය කරන්නෙ. ඒ ප්‍රතිනිර්මාණය කිරීමේ ශක්‍යතාව දෙවුර දරන්නාට තමයි නළුවා කියලා කියන්නෙ. කොඩි ගහ යටදී අධ්‍යක්ෂකවරයා නිසි රාමුවක කළු ස්ථානගත කළා. ඒ ස්ථානගත කිරීම මම මගේ නළු ශක්‍යතාව තුළ ප්‍රතිනිර්මාණය කළා. එහෙයින් එය සමාජ කියවීමක් බවට පත්වුණා.

Qකැමරාව ඉදිරියේ දෙබස් කියන, රඟපාන නළුවෙකුට එහා චරිතයක් එක්ක බැඳෙන, බැඳී හුස්මක් ගන්න නළුවෙක් වෙන්නෙ කොහොමද?

මම රංගන ශිල්පියෙක් විදිහට සාර්ථක වුණු හැම වෙලාවකම සාර්ථක වුණේ හොඳ අධ්‍යක්ෂකවරයෙක් මාත් එක්ක ඉද්දි. මගේ සියලු රංගන කාර්යයන්හි මම ලබපු අත්දැකීමක් තමයි ඒ. මම යම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හරි සාර්ථකත්වයක් හරි ලබලා තියෙනවා නම් අපිට ඔයාව දැනෙනවා කියන ප්‍රතිචාරය මම අහලා තියෙනවා නම් එහෙම අහපු හැම නිර්මාණයකදීම හොඳ අධ්‍යක්ෂකවරයෙක් මට ඉඳලා තියෙනවා. අධ්‍යක්ෂකවරයා දුර්වල වුණොත් එතෙන්දි මම සාර්ථක නළුවෙක් වෙන එකක් නැහැ. මට මතක නැහැ කළුගේ චරිතය රඟපාද්දි මම විශේෂ දෙයක් කළා කියලා. රංගනය කියන්නෙ ආවේෂයක් හරි ආරූඪයක් හරි නෙවෙයි. රංගනය කියන්නෙ දීර්ඝ කාලීනව අපි ලබපු යම් පුහුණුවක් ඇතුළෙ සිදුවෙන ක්‍රියාවලියක්. එහි විද්‍යාත්මක පදනමකුත් තියෙනවා. මනස පාලනය කර ගැනීම, මනස සහ ශරීරය මෙහෙයවීමේ කාර්යයක් තමයි රංගනය කියන්නෙ. ඇත්තටම රංගනය කියන්නෙ කට්ටඩියෙක් පොල් මලක් අරන් ගහගන්නවා වගේ ආවේෂයක්වත් ආරූඪයක්වත් නෙවෙයි.

Qකොඩි ගහ යට කළුට මිනිස්සු හරි ආදරෙයි. කළු කියන්නෙ එක්තරා වීරයෙක්. කොහොමද මේ වීරයා එක්ක ඔබ මෙච්චර කයින් සහ මනසින් බැඳෙන්නෙ කියන එක නිර්වචනය කරලා දෙන්න පුළුවන්ද? 

මම කළුගේ චරිතය රඟපාන්න ගෙදරින් යද්දි යන්නෙ සාමාන්‍ය නලීන් ලුසේනා විදිහට. කොඩි ගහ යට ඇත්තටම මම රඟපාන්නෙ මටත් වඩා දක්ෂ නළු නිළි පිරිසක් එක්ක. රංග කාර්යයක් සැමවිටම සාර්ථක වෙන්නෙ තනි පුද්ගලයෙක් මත නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. ජගත්ට වුවමනා වුණා කළුගේ චරිතය තුළ ලොකු බලයක් තියාගන්න. ඒ බලය එන්නෙ මාත් එක්ක රඟපාන අනිත් අයගෙත් චරිත ඔස්සේ. මගේ දිහා එකෙක් හරි නිකම් හරි විහිළුවට හරි බැලුවොත් සමහරවිට ඒ බලයට අංශුමාත්‍රික හරි හානියක් වෙන්න පුළුවන්. මම හැමදාම රූගත කිරීම්වලට යන්නෙ හරි සැහැල්ලුවෙන් නිදහසින් කිසිම දෙයක් තදින් ඔළුවෙ පුරවගන්නෙ නැතුව.

Qකළුගේ අංග රචනය මම හිතන්නෙ විශිෂ්ට අංග රචනයක්. කළුව අපට දැනෙන ගැම්මක් එක්ක අපේ ඉස්සරහට ගේන්න ඒ අංග රචනය ලොකු උදව්වක් වුණා කියලා හිතනවා?

ඔව් ඒ අංග රචනය ඒ චරිතයේ පතුලටම කිඳා බහින්න මට මාර උදව්වක්. මම ඒ ‘මේකප් එක’, ‘කොස්ටියුම් එක’ එක්ක කණ්ණාඩියෙන් මාව දකිද්දි මට කළු වෙන්න මාර පහසුවක් දැනෙනවා. ඒ වගේම අධ්‍යක්ෂකවරයා ඇවිල්ලා කළු සමඟ ආත්මගත වීම ගැන යමක් කියද්දි මම ඇත්තටම කළු වෙනවා. හැබැයි ඒ රංගනයෙන් පස්සෙ ආයෙත් මම නලීන්. මම කළුව ගෙදර ඉඳන් අරන් එන්නෙත් නෑ. ගෙදර යද්දි අරන් යන්නෙත් නෑ. රංගනයේදි ගොඩක් හිතලා යමක් කරන්නත් අමාරුයි කියලා මම හිතනවා.

Qලිංගික සංක්‍රාන්තිකයන්ගේ චරිතය ඔබට කරන්න ලැබුණට පස්සේ ඔබ එවැනි අය ගැන ඇත්තටම යම් අධ්‍යයනයක් කළාද?

නෑ එහෙම කළේ නෑ. ඒත් මම මගේ ඇත්ත ජීවිතය තුළ ඒ වගේ අය දැකලා තියෙනවා. ආශ්‍රය කරලා තියෙනවා. මට ඒ අය ගැන මගේ ජීවිතේ හොඳ මතකයන් තියෙනවා. මම ඒ අයගේ විධි ගැන හිතන්න ගියෙවත් ඒ කිසිම කෙනෙක් අනුකරණය කරන්න ගියෙවත් නැහැ. ඇත්තටම මම කළුව දකින්නෙ ‘Trans gender’ චරිතයක් විදිහට නෙවෙයි. මට චරිතයක් ලැබුණම ඒ චරිතය ගැහැනුද පිරිමිද ‘Trans gender ද කියන එක නෙවෙයි මම බලන්නෙ. ලිංගිකත්වය කියන්නෙ පුද්ගලයෙකුට අදාළ එක කාරණාවක් විතරයි. ‘Trans gender’ කෙනෙක් විදිහට එයාගේ ශරීර භාෂාව පොඩ්ඩක් වෙනස් කියන එක විතරයි මම ඔළුවට ගත්තෙ. ‘Trans gender’ කියන්නෙ අමුතු ජීවියෙක් නෙවෙයි. මම නළුවෙක් සහ මනුෂ්‍යයෙක් විදිහට ඒ චරිතය බාරගත්තෙ සාමාන්‍ය කෙනෙක් විදිහට. යම් දේවල් දිහා විශේෂකරණයෙන් බලන්න ගියොත් ඒ දේවල් කර ගන්න අමාරු වෙනවා. අපිට පුංචි කාලේ ඉඳන් ඒ වගේ අය ගැන ඉගැන්නුවේ ලෙඩක් අවුලක් වගේ දකින්න. ඒත් යම් දැනුමක් තේරුමක් ජීවිතයට ලැබෙද්දි මම මනුෂ්‍යයෙක් විදිහට එය සාමාන්‍ය දෙයක් විදිහට දකින්න පුරුදු වුණා. ඇත්තටම මට ඒ චරිතය කරද්දි මම පිරිමියෙක් කියන එකත් මට විශේෂයක් නෙවෙයි. මම නළුවෙක් වෙන්න ඉස්සර මනුෂ්‍යයෙක් වෙලා ඒ වගේ අය දිහා සාමාන්‍ය විදිහට බලන්න පුරුදු වුණු එක මට ඒ චරිතයත් එක්ක බැඳෙන්න සෑහෙන්න උදව් වුණා.

Qරැඩිකල් කතා කොච්චර ඇහුණත් අදටත් සමරිසිභාවය වගේම ලිංගික සංක්‍රාන්තිකයන් දිහා බහුතරයක් බලන්නෙ වැරදි අපහාසාත්මක දෘෂ්ටියකින්. මේ සමාජය දිහා ඔබ බලන්නෙ කොහොම ඇහැකින්ද? තමන්ට තමන් වීමට ඇති මානවීය අයිතියට ගරහන සමාජයක ඔබේ ආමන්ත්‍රණය කොහොම එකක්ද?

අපි පරම්පරාවෙන් පරම්පරාවට කලින් පරම්පරාවල අදහස් මතවාද ආකල්ප කරපින්නාගෙන එනවා. හොඳ දේවල් නැතුව නෙවෙයි. නමුත් සංස්කෘතික වශයෙන් ගත්තම අපි අරගෙන එන බහුතරයක් දේවල් බැහැර කළ යුතු දේවල්. ඊළඟ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන නොගෙන යා යුතු දේවල්. ලිංගිකත්වය පිළිබඳව මනුෂ්‍යයාගේ ඇල්ම සහ රුචිකත්වය තමන්ට අනන්‍ය දෙයක්. ඒක මනුෂ්‍යයාගේ අයිතියක්. ඒ අයිතියට එරෙහි වෙන්න හෝ ගරහන්න තව කෙනෙක්ට බැහැ. සමරිසිභාවය වරදක් හෝ විකෘතියක් ලෙස දකින අයට මට ඇත්තටම කියන්න තියෙන්නෙ අන්න ඒ ටික. කුලවාදය, ජාතිවාදය, ආගම්වාදය, ඒවා ඇතුළෙ ඇති බෙදීම් මොකටද සමාජයකට. අලුත් පරම්පරාව ඒවා බැහැර කිරීමට උත්සාහ කිරීම ඇත්තටම සතුටක්. සමරිසිභාවයට, ලිංගික සංක්‍රාන්තිකභාවයට කැමති යාළුවෝ මට මගේ පාසලෙත් ඉඳලා තියෙනවා. ඒක අවුලක්වත් පාපයක්වත් විකෘතියක්වත් නෙවෙයි. ඒත් ඔවුන්ට ඔවුන්ගේ හැඟීමත් එක්ක විවෘතව ගනුදෙනු කරන්න පුළුවන් සමාජයක් නැහැ. ඒත් විද්‍යාත්මක ලෝකයට සමරිසිභාවය මෙන්ම ලිංගික සංක්‍රාන්තිකභාවයත් සාමාන්‍ය දෙයක් විතරයි. ඇත්තටම ආගමික සහ අධ්‍යාපන සංස්ථා විසින් ගෙන එන වැරදි මතවාද, බලහත්කාර සංස්කෘතිකවාදී ඉගැන්වීම් තවදුරටත් මේ සමාජය නඩත්තුකරණයට අවශ්‍ය නැහැ.

Qලංකාවේ ආගමික සහ අධ්‍යාපනික සංස්ථාවන්හි ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනෙ කියන එක ඔබේ විශ්වාසයක්ද?

අනිවාර් යෙන්ම ඔව්. අපි මොන කතාන්දරය කතා කළත් අධ්‍යාපනය සහ ආගම කියන සංස්ථා විසින් වැරදි දේවල් මිනිස්සුන්ගේ ඔළුව මත පටවලා මිනිස්සුන්ගේ ජීවිත රාමුගත කරනවා. මේ ලෝකෙට ඕනෑ නිදහස් නිර්මාණශීලී මානවවාදී මිනිස්සු මිසක් ආගම්, සංස්කෘතියන් ඇතුළේ පවුරු හදාගෙන බෙදිච්ච මිනිස්සු නෙවෙයි. අනිත් එක ඕනෑම දේකට අනවශ්‍ය අවධානයක් ලැබුණොත් ඒ දේ විශේෂ වෙනවා. ඒ විශේෂ වීමම මාර අවදානමක්. මම ඇත්තටම කැමති නෑ සමරිසි පුද්ගලයන් හෝ ලිංගික සංක්‍රාන්තිකයන් විශේෂ වෙනවට. ඒ විශේෂ වීම ඇතුළේ ඒක මාර වැඩක් වෙනවා. එය එසේ විය යුතු නෑ. ඇත්තටම අධ්‍යාපනය ගත්තොත් අධ්‍යාපන කාර්යයන් හරියට නවීකරණය නොවීම බරපතළම හානියක්.

Qඔබ වසර ගණනාවක් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගැන ලුසේනාගේ පොදු විග්‍රහය මොකක්ද?

අවුරුදු අටක් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක වැඩ කරපු මගේ අත්දැකීමෙන් කියනවා නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියන්නෙ වෙනම ග්‍රහලෝකයකින් ආපු අය නෙවෙයි. උසස් පෙළ කරලා පාසලකින් එන සාමාන්‍ය බුද්ධි මට්ටමක් තියෙන ළමයෙක්ගේ මතවාදී චින්තන වෙනස් කරන්න අපිට සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. ඒ දරුවන්ට තමන් ස්වාධීන වෙන්න ගන්න පළමු දෙවැනි පියවර වරදින්නත් පුළුවන්. මම නම් කියන්නෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කියන්නෙ වෙනම ජීවීන් විදිහට දකින එක ඉස්සෙල්ලම නවත්වන්න. ඒ ළමයි එළියේ සමාජය ඇතුළේ අරගෙන එන ඒවා විශ්වවිද්‍යාල ඇතුළටත් මුහු වෙනවා මිසක් විශ්වවිද්‍යාලයට ආවා කියලා ඒ ළමයින්ගේ ඔය කියන විදිහට මොළ හේදෙන්නෙ නෑ.

Qකලාකරුවා කියන්නෙ අපේ සමාජය ඇතුළේ මම දකින විදිහට සුරක්ෂිත පුද්ගලයෙක් නෙවෙයි. කලාව තුළින් ස්ථාවර ගමනක් යන්න විශේෂයෙන් ආර්ථිකමය වශයෙන් ගොඩනැගෙන්න හැම කලාකරුවෙකුටම අවස්ථා නෑ සහ නොහැකියි. ඔබේ මතය කුමක්ද?

කලාකරුවා සමාජයේ නිතර අවධානයට ලක්වෙන නිසා සුරක්ෂිතයි කියලා හිතුවට ඇත්තම කතාව සුරක්ෂිත නෑ. ඇත්තටම දීර්ඝ කාලීනව කලාවේ නියැලීම බොහෝ විට අවදානමක්. කලාකරුවෙකුට රක්ෂණයක්, ස්ථිර ආදායමක් බොහෝ විට නෑ. මුදල් උපයන්න වෙන්නෙ ඔවුන්ගේ දක්ෂතා තුළින් ඔවුන් ලබාගන්නා අවස්ථා මත. සමහරවිට ඔවුන් කැමති නැති දේවලුත් ඔවුන්ට කරන්න සිද්ධ වෙනවා. වෙන වෘත්තියක් නොකර කලාව විතරක් කරලා ජීවත් වෙන එක මේ රටේ හරි අමාරු වැඩක්.

Qකළු කියන්නෙ ඔබ කියලා මහ පාරේ එහෙම යද්දි මිනිස්සු අඳුරගන්නවද?

මම ජීවත් වෙන්නෙ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම ඉන්න ප්‍රදේශයක. ඒ හින්දා වෙන්න ඇති හුඟාක් අය මාව අඳුරන්නෙ නෑ. ඇත්තටම කළුට දාන ‘මේකප් එකෙන්’ මැවෙන මාවයි ඇත්ත මාවයි හරි වෙනස්. දමිළ සිනමාව, මලයාලම් සිනමාව වගේ සිනමාවන් තුළ ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධියම තමා. ඒ ප්‍රේක්ෂකයන්, ඒ නළු නිළියන් අදහගෙන වගේ ඉන්නෙ. ඒත් අපේ රටේ ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන්නෙ එහෙම තැනක තියෙන දෙයක් නෙවේ.

Qඒත් මේ දවස්වල කළු කියන්නෙ නම් කතාබහට ලක්වෙන ජනප්‍රියම චරිතයක්?

සමාජ මාධ්‍ය ඇතුළේ වගේම සමාජයේත් කළු කියන්නෙ කතා කරන චරිතයක් බව දැනෙනවා. විශේෂයෙන් සමාජ මාධ්‍යයෙන් කළුට හුඟක් ප්‍රතිචාර ලැබෙනවා තමා.

Qජීවිතේ පංගුකාරිය තිලක්ෂණී එක්ක ගැට ගැහෙන බැඳෙන ජීවිතේ රහ කොහොමද? 

දුක සතුට සියල්ල දරාගෙන මාත් එක්ක හයියට ඉඳගෙන හැම රහක්ම මාත් එක්කම විඳගෙන ඇය ඉන්නවා මාත් එක්ක.

Qපැමිණි ගමන වෙනුවෙන් ස්තූතියි කියන්න ඉඩක් ඕනෙද ඔබට?

ඔව්. නාරද තොටගමුව සහ රජිත දික්හින්න, හර්ෂ සහ ලක්මාල්, කිතූ අක්කා, ලසන්ත අයියා, ජයන්ත සහ ලක්ෂිත, මේ සියලු දෙනාටම මම ස්තූති කරන්න ඕනෙ කොඩි ගහ යට කළු ගොඩනගන්න මේ හැම දෙනෙක්ම පුදුම සහයෝගයක් දුන්නා. අංග රචනා කරන රජිත දික්හින්න කළු විදිහට මාව නිර්මාණය කරන්න අංග රචනාවෙන් දරන මහන්සිය ගැන කියන්න වචන නැහැ. මේ කියන නම් අතරේ එක නමක් හරි මඟඇරුණා නම් ඒකටත් මට සමාවෙන්න.

I සංජීවිකා
I සුමුදු හේවාපතිරණ

No photo description available.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්