Nov
19

“ගින්දරී 03” අවසන් කර තිබියදීත් නොවැම්බර් 26 සිට තිරගත වන “ගිනිමල් පොකුරු”

 
1730 Views
   
 

රට පුරා සිනමා ශාලා යළි විවෘත කිරීමට ගත් තීරණයත් සමඟ උදයකාන්ත වර්ණසූරියගේ 25 වැනි සිනමා නිර්මාණය වන “ගිනිමල් පොකුරු” ද නොවැම්බර් මස 26 දා ප‍්‍රදර්ශනය සඳහා එක් කිරීමට තීරණය කර ඇත. උදයකාන්ත වර්ණසූරිය ප‍්‍රඩක්ෂන් වෙනුවෙන් උදයකාන්ත වර්ණසූරිය විසින් කතාව, තිර රචනය අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය සිදු කර ඇත.

කොවිඞ් අවදානම සම්පූර්ණයෙන්ම පහව නොගිය අවස්ථාවක, සිනමා නිර්මාණයක් ප‍්‍රදර්ශනය කිරීමට ගත් තීරණය නිර්මාණකරුවන්ට අභියෝගයක් නෙමෙයිද?

කොවිඞ් නිසා රටේ හැම ක්ෂේත‍්‍රයක් වගේම සිනමාවත් අඩාල වෙලා ගියා. නමුත් සිනමා කර්මාන්තය කඩා වැටෙන්න දෙන්න බැහැ. ඒ හේතුව නිසා තමයි නැවතත් සිනමා ශාලා විවෘත කිරීමට තීරණය කළේ. කොවිඞ් වසංගතය ව්‍යාප්තිය තරමක් දුරට පාලනය වෙලා තියන අවස්ථාවක වුණත් අවදානමක් අරගෙන තමයි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීමට තීරණය කළේ. ඒක ලාභ ලබනවා ද පාඩු ලබනවා ද කියන කාරණයටත් වඩා සිනමා කර්මාන්තය යළිත් නඟා සිටවිය යුතුයි කියන අරමුණට තමයි අපි මූලිකත්වය දුන්නේ.

නිර්මාණ කිහිපයක්ම නිම කර තිබියදීත් “ගිනිමල් පොකුරු” චිත‍්‍රපටයම ප‍්‍රදර්ශනය කරන්න තීරණය කළේ විශේෂ හේතුවක් නිසාද?

ඇත්තටම ගින්දරී තෙවන කොටසත් නිර්මාණය අවසන් කරලා තියනවා. ඒ වුණත් කාලයකට පස්සේ සිනමාව අලූත් ගමනක් ආරම්භ කරද්දී, මටත් හිතුණා අලූත් නිර්මාණයකින්ම ඒ ගමන පටන් ගන්න. ඒ නිසා තමයි “ගිනිමල් පොකුරු” ප‍්‍රදර්ශනය කරන්න තීරණය කළේ.

කතාව ගෙතෙන්නේ සත්‍ය කතාවක් පදනම් කරගෙනද?

අත්වැරැද්දකින් සිදුවූ අපරාධයකින් තම ආදරවන්තයා බේරගන්න උසස් රාජ්‍ය නිලධාරියෙකුගේ ග‍්‍රහණයට හසුවන කාන්තාවක් පිළිබඳව තමයි මේ නිර්මාණයෙන් කියැවෙන්නේ. මේක සත්‍ය සිදුවීමක් මුල් කරගෙන නිර්මාණය වූ කතාවක්. මේ වගේ කතා අපේ සමාජයේ ඕන ඕන තරම් තියනවා. ත‍්‍රාසය කුතුහලය, අනුවේදනය මුසු වුණු මේ කතාව පේ‍්‍රක්ෂකයන්ට අලූත් අත්දැකීමක් වෙයි කියලා හිතනවා.

“ගිනිමල් පොකුරු” හැඩ කළ පිරිස ගැනත් මතක් කරමු?

ගිනිමල් පොකුරු නිර්මාණය වෙන්නේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චුලක්ෂි රණතුංග, චරිත් අබේසිංහ, ආනන්ද කුමාරඋන්නැහේ, දිල්රුෆා හානාස් , කුමාර දදුරැස්ස ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ එකතුවකින්. සරත් ද අල්විස් තමයි සංගීතය සපයන්නේ. ඇහැලියගොඩ සෝමතිලකයන් කලා අධ්‍යක්ෂණය සිදු කරනවා. නම් වශයෙන් නොකීවත් බොහෝ දෙනකුගේ එකතුවෙන් මේ චිත‍්‍රපටය සාර්ථක වූ බව සිහිපත් කළ යුතුයි.

 

නිරෝෂා වාසල

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්