Feb
16

මට 10 වසරෙදී වගේ පාසල් ප්‍රේමයක් තිබුණා-පාසල් ප්‍රේමයට ආයුෂ නැහැ

 
864 Views
   
 

මෙවර “ඉස්කෝලෙ කාලේ” විශේෂාංගයෙන් සඳැල්ල හා එකතු ​ෙවන්නේ කලා ක්ෂේත්‍රයේ ගායන අංශයෙන් නොමැකෙන සටහනක් තබන්නට සමත් වූ දක්ෂ ආදරණීය කලා තරුවක්. “Dream Star” වේදිකාවෙන් බිහි වුණු ඇය උපේකා නිර්මාණි.

“මම ඉස්කෝල දෙකකට ගියා. පුංචිම කාලෙ ගියේ මීගමුව තිඹිරිගස්කටුව මහා විද්‍යාලයට. එතැනින් පස්සේ 8 වසරේ සිට මම ඉගෙන ගත්තේ මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ. ඒ කාලේ ඉතින් මම තරමක් ජනප්‍රිය චරිතයක්. සෞන්දර්ය අංශය පැත්තෙන් තමයි ජනප්‍රියත්වයක් තිබුණේ. ඒ වයලින් වාදන ශිල්පිනියක් විදිහට. කොයි වෙලේත් හිටියෙත් මියුසික් රූම් එකේම තමයි. මියුසික්වලට තමයි ඒ කාලේ ඉඳන් ප්‍රධානත්වය දීලා තිබුණේ.

නමුත් ඒ වයලින් වාදනය කරන්න තමයි. ගායනා කරන්නත් මුල් කාලෙදි එතරම් යොමු වෙලා නැහැ. මොකද මම ඒ කාලේ හරිම ලැජ්ජයි. ඉස්සරහට යන්න කැපී පෙනෙන්න ආස නැහැ. පෝලිමක වුණත් ඉස්සරහම ඉන්න කැමැති නැහැ. මියුසික් වැඩවලටත් ටීචර් කතා කරලා තමයි ඉදිරියට දැම්මේ. මම A/L වලදී කලා විෂයන් තෝරා ගත්තත් ගායනය නෙමෙයි වැඩිපුර කළේ. ගායනයට ලොකු පිරිසක් හිටපු නිසා මම වයලීන් වාදනය වැඩිපුර කළේ.

වයලින් වාදනය පැත්තෙන් මාව තමයි ගොඩක් විශේෂ අවස්ථාවලදී ඉදිරියට ගත්තේ. ඇත්තටම මට ගායනයට හොඳ හැකියාවක් තියෙනවා කියලා ඉස්කෝලෙන් දැනගන්න ඇත්තෙත් Dream Star වේදිකාවෙන්. නමුත් ඒ කාලේ විවිධ තරගවලට සම්බන්ධ වෙලා ජයග්‍රහණය නම් ලබාගෙන තියෙනවා.

සමහර වෙලාවට අනිත් විෂයන්වල ගුරුවරුන්ගෙන් අනන්න අප්‍රමාණ විදිහට බැනුම් අහලත් තියෙනවා. ඒ පන්තියේ රැඳෙන්නේ නැහැ මියුසික් රූම් එකේමයි කියලා. නමුත් දැන් නම් හිතෙනවා වැඩි කාලයක් ඒ තැන ගත කළත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ දේ අද මගේ ගුරුවරුත් හිතනවා ඇති කියලා මම විශ්වාස කරනවා. සංගීතයට අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම් කිසිම දෙයක් මම ඒ කාලේ කරලා නැහැ.

පොඩිම කාලේ හය, හත වසරෙදි වගේ නෙට්බෝල් සෙල්ලම් කළා. එතැනින් පසුව නම් කිසිම දෙයක් කරලා නැහැ. ඉතින් ස්පෝට් මීට් කාලෙදි එහෙම කට්ටි පැන පැන තමයි ඉන්නේ. අපි ක්‍රීඩා නොකළත් ක්‍රීඩා පිට්ටනියට යන්න ඕනෑනේ. අපිට ඒක හරිම වදයක් වෙලා තිබුණේ. මොකද අපි ක්‍රීඩා කළෙත් නැති නිසා ඒ යන එකේ තේරුමකුත් නැහැ. ගිනි කාශ්ටකේ ඉන්න ඕනෑ නිසා අපි හරිම අකැමැතියි පිට්ටනියට යන්න.

ඒ එක දවසකදී වුණු සිදුවීමකුත් තියෙනවා අපි යාළුවෝ හම්බ වුණාම තවමත් හිනා වෙන. මගේ හොඳම යාළුවෝ හතර දෙනෙක් හිටියා. ඒ ගයාෂානි, නිෂානි, නිෂාදි, නිෂාලි, මදූෂා කියලා. අපි පස්දෙනා එකතු වෙලා තමයි ඒ කාලේ පිස්සුම වැඩ කළේ. ස්පෝට් මීට් කාලේ අපේ නිවාසවලට සහාය දක්වන්න ඉන්න ඕනෑ නිසා අපිට අව්වේ කරවෙන්න බැහැ කියලා හිතුණා. ඉතින් මම කිව්වා බොරුවට ක්ලාන්තයක් දාන්නම් ඔයාලා මාව අරගෙන පන්තියට යන්න කියලා.

ඒක හොඳම අවස්ථාවක් කියලා හිතලා මගේ යාළුවොත් ඒ දේට කැමැති වුණා. ඒ කැමැති වෙලා මම බොහොම අමාරුවෙන් හොඳ රංගනයක් ඉදිරිපත් කරලා බිම ඇදගෙන වැටුණා. වැටිලා මම ඇස් දෙකත් වහගෙන හිටියේ. ඒත් මාව කව්රුත් උස්සන්නේ නැහැ. ඉතින් මම හිමින් ඇස් දෙක ඇරලා බලද්දී මගේ යාළුවෝ ළඟ පාතකවත් නැහැ. ඒ කට්ටිය කතාවෙලා මට බයිට් එකක් දෙන්න. ඉතින් මම වටපිට බල බල තනියෙන්ම නැගිටලා පන්තියට ගියා හිමින්ම.

ඒ වගේ ලණු තමයි මගේ යාළුවෝ දුන්නේ. ඒ යාළුවෝ එක්ක තමයි දඟ වැඩ හැමදේම කළේ. අපි පස් දෙනා පන්ති දෙකක හිටියේ. ඒත් පස්දෙනා එකතුවෙලා පිරියඩ් කට් කරන්නේ එහෙම එකට. අපේ ඉස්කෝලේ තියෙන්නේ මුහුදක් අයිනේ. හරිම ලස්සන පරිසරයක් අපි ඉතින් පීරියඩ් කට් කරලා මුහුද පේන ඒ තැනට යනවා. ගිහින් ඩෙස්ක් දෙකක් එකට එකතු කරලා ඒ උඩට මගේ යාළුවෝ මාව නග්ගනවා.

අපේ සෙට් එකේ ගයාෂානි කියන යාළුවටත් සින්දු කියන්න පුළුවන්. ඉතින් අපි දෙන්නව ඒ උඩට නග්ගලා යාළුවෝ සින්දු කියව ගන්නවා. ඉතින් ඒ කාලේ යාළුවෝ කියනවා. උපේක්ෂා ඔයා නම් තරඟෙකට ගියොත් අනිවාර්යයෙන් දිනනවා කියලා. ඒ කාලෙත් විසිල් ගහලා එහෙම සින්දු කියන්නේ. ඒ වගේම ට්‍රිප් යද්දීත් මාරම ජොලියක් ගත්තේ. බෝතල්වලට ගහ ගහ සින්දු කිව්වේ යනකම් එනකම්ම, ට්‍රිප් ගිහින් ඒ කාලේ ගෙදර එද්දී උගුර නැහැ වගේ.

සතියක් දෙකක් යනකම් කතා කරගන්නත් බැහැ. ඉස්කෝලේ ඇතුළේ ජීවිතේ ඇත්තටම මාරම විදියට අපි වින්ඳා. ඒ කාලේ රැස්වීම් එහෙම තියෙද්දී ජීවිතේට ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. හැමදාම කට් කරනවා.

බ්‍රහස්පතින්දා හැමදාම තියෙනවා. රැස්වීමක් ඒ රැස්වීම දිග වැඩියි. අපි ඒකට නමක් දාලා තිබුණෙත් දිගාගම කියලා. මොකද ඒ රැස්වීම තමන් අදහන ආගමේ ඒ කටයුතුවල යෙදෙන්න වෙන් කරලා තිබුණේ.

අපේ ඉස්කෝලේ හැම ආගමකම ජාතියකම ළමයි හිටියා. ඉතින් පිට්ටනියේ ඒ කට්ටිය කොටස් කරලා ආගම් ඇදහීමේ කටයුතුවලට දැම්මේ. ඉතින් සමහර වෙලාවට අපි ඒකත් කට් කරලා ගොඩක් වෙලාවට හිටියේ ලැබ් එකේ. ඒ එක දවසක අපි ලැබ්​ එකේ තිබුණු කල් ඉකුත්වුණු සෝඩියම් වගේ දේවල් අරගෙන ආසාවට එක එක පරීක්ෂණ කළා. ඒ එක අවස්ථාවක ලැබ් එකේ පිපිරීමක් වෙලා ඇතුළේ දුම් දාන්න පටන් ගත්තා.

අපිට දැන් කරගන්න දෙයක් නැහැ. කොහොමහරි දොරක් ඇරගෙන එළියට ගිහින් හැංගුණා. අපි ඒ දවස් ටිකේම බයෙන් හිටියේ අපිව අහුවෙයි දඬුවම් කරයි කියලා. නමුත් ප්‍රශ්නයක් වුණේ නම් නැහැ. ඒත් අපි යාළුවෝ එකතු වුණාම ඒ ගැන කියලා අදටත් හිනාවෙනවා.
එක වතාවක අවේලාවේ කැන්ටින් එකේ ෆැන්ටා බිබී ඉද්දී ප්‍රින්සිපල් ළඟට අරගෙන ගිහින් දඬුවම් දුන්නා. ෆැන්ටා බෝතලේ ඔළුව උඩ තියාගෙන අපිව පෝලිමට දණගස්වලා තිබුණා.

ඇත්තටම ඒ කාලේ කරපු දඟ වැඩ කියන්න ගියොත් අවසානයක් නැති තරම්. කොහොමත් උගන්වන්න ගුරුවරු එනවාට කැමතිම නැහැනෙ. නොඑන තරමට කැමතියි. අපි උදෙන්ම ඔෆිස් එකට ගිහින් බලන්නෙත් ගුරුවරුන්ගේ පැමිණීමේ ලේඛනයනේ. හිත සතුටු වෙන්නත් එක්ක. ඒ බැලුවත් සමහර වෙලාවට පරක්කු වෙලා හරි ගුරුවරු එනවා. ඒ ඇවිල්ලා අපේ සතුට නැති කරනවා.
තව විශේෂ දෙයක් තමයි අපිට හිටිය ගුරුවරුන්ගෙන් වැඩිම ගැහැණු පාර්ශ්වය. සර්ලා හිටියේ ඉස්කෝලෙටම දෙතුන් දෙනෙක්.
ඒ හිටියෙත් වයසින් වැඩි ගුරුවරු ඉතින් අපේ ඉස්කෝලේ නවාතැන් අරගෙන හිටපු බලු රෑනක්ම හිටියා. ඒ සත්තු පිරිමි අයව වැඩිය අඳුරන්නේ නැහැ. සමහර වෙලාවට තරඟවලට එහෙම පිරිමි ළමයි එන අවස්ථා තියෙනවනෙ. ඒ ළමයින්ට බුර බුරා පන්නවා. පිරිමි පාර්ශවයට එන්න දෙන්නෙම නැහැ. ගැහැණු ළමයින්ට විතරයි කැමති.

ඒ කාලේදී මගේ මතකයේ තියෙන තවත් සිදුවීමක් තමයි අපිට ගණං උගන්වන සර් කෙනෙක් හිටියා. එඩ්වඩ් කියලා. ඒ සර් හරිම හොඳයි. ළමයින්ට හරි ආදරෙයි. ඒ නිසා සර්ට වැඩිය බයත් නැහැ. එක දවසක් මම සර් උගන්වද්දී ඩෙස්ක් එකේ පල්ලෙහා කෑල්ලේ යටට චොක්ලට් එකක් දාගෙන ඒක කකා හිටියා. සර් ඒක පාරටම හැරෙද්දීම මම කට හොල්ලන්නේ නැතිව ඉන්නවා. ඒ සිද්ධිය සර් දැක්කා. ඒ සර් මට කතා කරන්නේ කලු පුතා කියලා. ඉතින් කටේ චොක්ලට් පුරවගෙන මට ඒ මොහොතේ කතා කරන්නත් බැහැනේ. මම හ්ම්ම් කියලා විතරයි කිව්වේ.

සර් ඇහුවා උඹ මොනවා හරි කනවා නේද? කියලා. මම ම්…හ්ම්… කිව්වා විතරයි කතා කරන්නත් බැහැ චොක්ලට් කටේ පුරවගෙන හිටියේ. නැගිටපන්කෝ එහෙනම් කියලා මට කිව්වා මම නැගිට්ටා. මොනවත් කන්නේ නැත්නම් කට ඇරලා පෙන්නපන් කිව්වා. කට අරිද්දිම මට හිනා ගිහින් කටේ තිබුණු චොක්ලට් කෑලිත් කටෙන් වැටුණා. මුළු පන්තියම ඉතින් හිනා වුණා ඒ වෙලාවේ.
ඉස්කෝලෙදී වගේම අමතර පන්තිවලට යද්දිත් සුන්දර දේවල් වෙලා තියෙනවා. මට පිරිමි ළමයි එහෙම හරි බයයි. ප්‍රේම යෝජනා එහෙම නම් ඇවිල්ලා තියෙනවා. ඒත් ඒ කාලේ කව්රුත්ම කෙළින් ඇවිල්ලා අහලා නැහැ. වටින් ගොඩින් ආරංචි වෙනවා මෙහෙම කැමැත්තෙන් ඉන්නවා කියලා. මට 10 වසරෙදී වගේ පාසල් ප්‍රේමයක් තිබුණා. නමුත් ඒවා ඒ වයසට සිදුවෙන දේවල්. පාසල් ප්‍රේමයට වැඩි ආයුෂ නැහැ කියනවනේ. ඒ කාලේ දකිනවා බලාගෙන ඉන්නවා ඇරෙන්න මුණ ගැහිමක් එහෙම නැහැනේ.
ඉතින් ඒ වගේ ස්කූල් වෑන් එකේ එද්දීත් අපේ වැන් එක එනකම් බලාගෙන හිටපු අයියලා සෙට් එකක් එහෙම හිටියා මට සමහර වෙලාවට ඒ කට්ටිය විහිළු කරනවා. වම්බට්ටි ජොලි ආච්චි කියලා. එහෙම මොක ද? ඒ තාත්තා ජොලි සීයා නිසා. ඉතින් අපිත් එයාලට විහිළු කරනවා. අපිට වෑන් එක ඇතුළට ලියුම් එහෙමත් දානවා. සමහර වෙලාවට චොක්ලට් දෙනවා. ඒ චොක්ලට් ලියුම්වලට නම් රිප්ලයි කළේ නැහැ. ඒත් අපි හිනාවෙනවා. ඒක බයිට් එකක් විතරයි. ඒ කාලෙදී ඒවගේ දේවල් කළේ නැත්නම් වැඩකුත් නැහැනෙ.
ඉතින් අදටත් ඉස්කෝලේ දකිද්දී ඒ අතීතයේ සුන්දර හැමදේම මතකයට එනවා. සමහර වෙලාවට ඉස්කෝලේ උත්සව අවස්ථාවන්වලට ආරාධනා කරනවා. ඒවට මම හරිම ආසාවෙන් සම්බන්ධ වෙන්නේ. මගේම ඉස්කෝලේ මගේම සහෝදරියෝ ඒ ටයි එක දාගෙන ඉන්නවා දකිද්දී ඒ දැනෙන ආදරේ උපරිමයි. ඔවුන් අද මගේ රසිකාවියෝ වෙලා. මම ඉස්කෝලේ යන කාලේ හිතුවේ නැහැ මේ වගේ ආදරයක් ලැබෙයි කියලා. ඉතින් අපි කරපු දඟ වැඩ ජොලි වැඩ මතක් වෙනවා. ඉස්කෝලේ දකිද්දිම ආයෙත් යන්න තියෙනවනම් කියලා හිතෙනවා ඇත්තටම ඒ තරමට ආදරණීයයි.

ධනු විජේරත්න

මෙන්න බලන්න තවත් ගොසිප්