Mar
4

මට ලැබුණු සහ ලැබෙන එකම ඇගයීම තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාරය, ඔවුන්ගෙන් ලැබෙන ආදරය

 
663 Views
   
The-only-appreciation-I-received-and-received-was-the-audience-response,-the-love-I-received-from-them  

සුන්දර ,අහිංසක සිනහවෙන් සිය ප්‍රේක්ෂකයින් වසඟ කරගන්නා ඈට කවදත් හිමිවන්නේ එක වගේ ආදරයක්. දරුවන් තිදෙනෙකුගේ මවක් වුණත් ඇය තාමත් එදා වගේමයි. ඒ රූපය වෙනස් නොවන එකක්. මේ දවස්වල රංගන කටයුතු එක්ක වඩාත් කාර්යබහුල වෙලා ඉන්න ඇයව සොඳුරු කතාබහට එකතු කරගන්න අපි හිතුවා. මේ කවදත් එක සේ සුන්දර, නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනී අශිකා මතසිංහ.

අශිකා දැන් නපුරු වෙලාද ?

වෙනස් වෙනස් චරිතවලට රංගන දායකත්වය ලබාදෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් අර මාව දැකපු සුපුරුදු රාමුවෙන් ටිකක් එහාට ගිහින් තියෙන්නෙ ඒ චරිත. මමත් හරි ආසයි එහෙම විවිධ චරිත ලැබෙනවට. එතකොට ලැබෙන ප්‍රතිචාරත් විවිධයි. අහිංසකකමින් එහාට ගිහින් චරිත ඇතුළෙ වෙනස් වෙන්න මම කැමතියි.

රංගන ශිල්පිනියක් නොවුණා නම් ඔබ කවුරු වෙයිද ?

එහෙනම් මම පෙරපාසල් ගුරුවරියක් වෙයි. ඒක ලොකු වගකීමක්. ඒ කොහොම වුණත් දැන් මම නියැලෙන වෘත්තියට ගොඩක් ආදරෙයි. මොකද මිල කරන්න බැරි තරමෙ ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන වෘත්තියක් මම නියෝජනය කරන්නෙ. ඒ නිසාම මේ වෘත්තියට මම ඉතාමත් කැමතියි.

දරුවො තුන්දෙනෙක්ගෙ අම්මා කෙනෙක් කියලා කියන්නවත් බැරි රූපයක්නෙ ඔබට තියෙන්නෙ. කොහොමද ඔය ලස්සන රැකගන්නෙ ?

ලස්සන රැකගන්න කියලා විශේෂ දේවල් කරන කෙනෙක් නෙවෙයි මම. රූපය ගැන ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නෙ ඒක වාසනාවට ලැබුණු දෙයක් හැටියට. තියෙන වියදම් එක්ක රූපය වෙනුවෙන්ම කියලා මහා ලොකු දේවල් කරන්න යන කෙනෙකුත් නෙවෙයි මං. වතුර බොනවා හොඳට. ඒක ඉතාමත් අත්‍යාවශ්‍ය දෙයක් නිරෝගීව සම රැකගන්න.

අම්මා රඟපානවා දකිනකොට පොඩි අයගෙ ප්‍රතිචාර මොන වගේද ?

දැන් දැන් තමයි එයාලට සීමා සහිතව රූපවාහිනිය නරඹන්න දෙන්නෙ. තාම පොඩියිනෙ එයාලා. ඉතින් මේවගෙ කතා කරන සංකීර්ණ ප්‍රශ්න එයාලට බර වැඩියි. ඉඳහිට මං රඟපාන ඒවත් එයාලා බලනවා. ඉතින් මට විහිළුත් කරනවා. ඒ ඒ චරිතවල නමින් කතා කරනවා. එයාලට හරි නෑ වගේ නම් ඒකත් මූණටම කියනවා ” අම්මෙ එතන නම් වැඩියි වගේ , ඒක නම් හරි නෑ ” කියලා. මටත් සතුටුයි ඉතින් මගේ ගෙදර ඇතුළෙම හතර දෙනෙක්ගෙ ප්‍රේක්ෂකාගාරයක් තියෙනවනෙ මට.

සැමියා ආරක්ෂක අංශයේ නිසා නීති දාලා එහෙම නැද්ද රංගන වැඩකටයුතුවලට ?

ඔහු එහෙම නීති දාන කෙනෙක් නෙවෙයි. මට මගේ රංගන කටයුතු හොඳින් ඉස්සරහට කරගෙන යන්න ඕනි කරන උපදෙස් දෙන්නෙත් ඔහුමයි. දරුවො නිසාවත් රංගනයෙන් අයින් වෙන්න කියන ඉල්ලීම ඔහු කරලා නෑ. අලුතින් නිර්මාණයක් ඇවිත් ඒ නිර්මාණය ඇතුළෙ මට මගේ චරිතය හදාගන්න දේවල් තියෙනවා නම් ඒ ගැන මට මුලින්ම කියන්නෙත් ඔහුම තමයි.

දෙන්නා වෘත්තීන් දෙකක් නියෝජනය කිරීම ගැටළුවක් වෙලා නැද්ද ?

නෑ, එහෙම ප්‍රශ්න ඇතිවෙලා නෑ. හොඳ තේරුම් ගැනීමක් තියෙනවා ඔහු සතුව. රූපගත කිරීම් කටයුතු ඉවරවෙලා එනකොට ප්‍රමාද වෙන දවස් තියෙනවා සෑහෙන්න. නමුත් මගේ රැකියාව ගැනත් ඔහුට හොඳ අවබෝධයක් තියෙන නිසා ප්‍රශ්න ඇතිවෙලා නෑ කවදාවත්.

අම්මා වගේම පොඩි තුන්දෙනත් කලාවට ලැදියිද ?

ඔව් එයාලත් කලාවට හරිම කැමති අය. ඒ වගේම දක්ෂයි. කලාව ගැන යම් දැනුමක් එයාලටත් තියෙනවා.

ඉක්මනින් කතා හැදෙන තැනක්නෙ ඔබ නියෝජනය කරන ක්ෂේත්‍රය. ඔබට තවම එහෙම කතාවක් අහන්න වෙලා නැද්ද ?

ඒක රංගනයට විතරක්ම පොදු දෙයක් නෙවෙයි. ඕනිම ක්ෂේත්‍රයක එහෙම කතා හැදෙන්න පුළුවන්. ඒකට බලපාන්නෙ තමන් කොහොමද අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්නෙ කියන කාරණය තමයි. ඉතින් මට නම් තවම එහෙම අනවශ්‍ය කතාවක් අහන්න වෙලා නෑ මේ ක්ෂේත්‍රය ඇතුළෙ. මම දකින විදියට මේක ඉතාමත් හොඳ තැනක්. එතැන හොඳින් පවතින්න අපි දැනගන්න ඕනි. මම කොහොමත් අනවශ්‍ය විහිළුවලට යන කෙනෙකුත් නෙවෙයි. ඇඳුම පැළඳුම වුණත් තෝරගන්නෙ තැනට ගැළපෙන විදියට. ඉතින් කතා හැදෙන හේතුවලට ඉඩක් තියලා නෑ.

ඔබ කොහොමද විලාසිතා තෝරගන්නෙ ?

මම කොහොමත් සරල විලාසිතාවන් කරන කෙනෙක්. අනවශ්‍ය විදියට සිරුර නිරාවරණය වෙන ඇඳුම් තෝරගන්නෙ නෑ මං. මගේ ගොඩක් විලාසිතාවන්ට එන ප්‍රතිචාරයක් තමයි හරි ගොඩේ විදියට අඳිනවා කියන එක. ඉතින් මට නම් මගේ ගොඩේකම හොඳයි. ඇඳුමක් කියන්නෙම තමන්ට පහසුවෙන් ඉන්න කරන තෝරාගැනීමක්නෙ. ඉතින් ඒ නිසාම අනවශ්‍ය විලාසිතා කරන්න ගිහින් අපහසුතාවයන්ට මුහුණදෙන්න මම කැමති නෑ.

දවසින් දවස එන අලුත් අය ඔබට අභියෝගයක් වෙලා නැද්ද ?

එහෙම නෑ. අලුත් අයත් එන්න ඕනි. දක්ෂතාවය වර්ධනය කරගන්න ඕනි ඒ එන හැමෝම. මට නම් හිතෙන්නෙ අභියෝගයකට වඩා තවත් අලුත් අය ඇවිත් මදි කියලයි. මේ ළඟදිත් නිර්මාණයකට කෙනෙක්ව හෙව්වා. නමුත් ඒ හොයන විදියෙ කෙනෙක් හිටියෙ නෑ. ඉතින් ඒ කියන්නෙ තවත් අය එන්න ඕනි කියන එක.

දිගටම රඟපාන්නද කල්පනාව ?

ඔව්, මට රංගනය නතර කරන්න බලාපොරොත්තුවක් නෑ. මං පුතාගෙන් අහනවා ” ඔයා ලොකු වුණාම මාව ශූටින් එක්ක යනවද ” කියලා. එතකොට එයා හිනාවෙලා උත්තර දෙනවා ” ඔය ඉතින් වයසට යනකල් ම රඟපාන්න තමයි ඔයා හදන්නෙ ” කියලත්.

රඟපාන්න ගියාම දරුවන්ගෙ වැඩකටයුතු මඟහැරෙන්නෙ නැද්ද ?

එයාලගෙ වැඩවලට තමයි කවදත් මුල්තැන. නිතරම අපේ ගෙදර ඇහෙන වචන ටිකක් තියෙනවා. ” පාඩම් කරන්න, වැඩ කරන්න, කාලෙ නාස්ති කරගන්න එපා, පොත් අතට ගන්න….” කියන වචන තමයි එහෙම නිතරම ඇහෙන්නෙ. එයාලගෙ ටීචර්ස්ලත් කියනවා හොඳින් වැඩකරනවා සහ දක්ෂයි කියලා.

වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට කාලයක් තිස්සෙ ඔබ කලාව නියෝජනය කරනවා. නිසි ඇගයීමක් ලැබුණා කියලා හිතනවද ?

මට ලැබුණු සහ ලැබෙන එකම ඇගයීම තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාරය. ඔවුන්ගෙන් ලැබෙන ආදරය. මම හිතනවා ඒ ඇගයීමට වඩා සතුටක් කලාකාරයෙක්ට තවත් නෑ කියලා.

සිනමාවට ආරාධනා ලැබෙන්නෙ නැද්ද ඔබට ?

ආරාධනා නැතුව නෙවෙයි. පුංචි තිරයට ලැබෙනවා තරම් නම් සිනමාවට ආරාධනා ලැබිලා නෑ. නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

නඳුනි ආරියවංශ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්