Mar
19

ලාදුරු හිස එසවීමේ ඉඩකඩ වැඩියි – ලංකාවේ කොරෝනා අස්සේ ලාදුරු නැවතත් හිස ඔසවයි

 
1717 Views
   
 

ලාදුරු රෝගය ශ්‍රී ලංකාවේ නැවත හිස ඔසවමින් පවතින බවටත් ඒ පිළිබඳව ජනතාව මෙන්ම වෛද්‍යවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතුව පවතින බවටත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය උපදේශකවරයෙක් අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය සදහටම තුරන් වී ඇතැයි ජනතාව අතර වැරදි මතයක් පවතින අතර වසරකට රට පුරා වාර්තා වන ලාදුරු රෝගීන්ගේ ගණන දෙදහසකට ආසන්න බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ උපදේශක, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන බීබීසීයට පැවසීය. ඉන් වැඩිම රෝගීන් පිරිසක් හමුවී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

“හැමෝම වගේ හිතාගෙන ඉන්නේ ලාදුරු ලංකාවේ නැහැ කියල. ඇතැම් වෛද්‍යවරුන් පවා හිතාගෙන ඉන්නේ ලංකාවේ දැන් ලාදුරු නැහැ කියල. 2019 වසර ඇතුළත රෝගීන් 1661ක් හිටියා. මේ වෙනකොට අවුරුද්දකට 2000ක් විතර රෝගීන් අපිට හමුවෙනවා. මගේ අත්දැකීම අනුව මමනම් හිතන්නේ මේ ගණන මීටවඩා වැඩි වෙන්න ඕනා. ජනතාවගේ සහ වෛද්‍යවරුන්ගේ දැනුවත්භාවය අඩු නිසා බොහෝ රෝගීන් වාර්තා වෙන්නේ නැහැ.”

2019 වසර තුළ වාර්තා වුණු සමස්ත ලාදුරු රෝගීන්ගෙන් 181 දෙනෙකුම ළමුන් වීම ඉතා අනතුරුදායක තත්ත්වයක් බව වෛද්‍යවරයා පැවසීය.

“මේක භයානක තත්ත්වයක්. මේ ළමයින්ගෙන් වැඩි ප්‍රතිශතය වයස අවුරුදු 10ත් 14ත් අතර සිටින ළමුන්. ළමයෙකුට වයස අවුරුදු පහේදී හෝ හයේදී රෝග ලක්ෂණ මතුවෙනවා කියන්නේ ඒ නිවසේ හෝ අවට තව රෝගීන් ඉන්නවා කියන එකයි. බොහෝ විට ළමයින්ට බෝවෙන්නේ නිවසින් ඈතක සිටින කෙනෙකුගෙන් නොවෙයි. අනෙක් අනතුර තමයි මේ ළමයින්ගෙන් තවත් ළමුන්ට බෝවෙන්න තියෙන ඉඩකඩ වැඩිවීම.”

මේ වන විට බොහෝ රෝගීන් පමා වී වාර්තා වීම ද බරපතල ප්‍රශ්නයක් වී ඇති බව වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය. පමා වී ප්‍රතිකාර සඳහා යොමු වන රෝගීන් රෝහලට පැමිණෙන්නේ “ආපස්සට හැරවිය නොහැකි” සංකූලතා ද සමඟයි. ලාදුරු රෝගය සුව කළ හැකි නමුත්, ප්‍රතිකාර ගැනීමට පමා වුවහොත් ඒ වනවිට ස්නායු පද්ධතියට සිදු වී ඇති හානි සමඟ එම රෝගියාට ජීවිත කාලයම ගත කරන්නට සිදුවනු ඇත.

රෝගීන් හමුවෙන්නෙත් පමා වෙලා. 2019දී රෝගීන් 93 දෙනෙක් ම හමුවෙන්නේ බරපතල සංකුලතා එක්කමයි. සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව මිනිසුන් දසලක්ෂයකට සිටිය හැක්කේ එවැනි එක් ලාදුරු රෝගියක් පමණයි. අපේ රටේ ජනගහනය මිලියන 22ක් නම් අපිට සංකුලතා සහිතව හමුවෙන්න ඕන ලාදුරු රෝගීන් 22ක් පමණයි. ඒත් 2019දී 93 දෙනෙක් හමු වුනා. ඒ කියන්නේ පමා වෙලා වැඩියි.”

“මේ රෝගය ඉක්මනින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගත්තොත් ඉක්මනින් ම සනීප වෙනවා. කිසිම සංකුලතාවයක් නැතිව.” විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

“මේකේ තියෙන භයානක කම”
මෙම රෝගයේ ඇති “භයානක කම” සහ කාලය “තීරණාත්මක සාධකයක්” වන්නේ ඇයිදැයි විශේෂඥ වෛද්‍ය කපිල පියසේන පැහැදිලි කළේ මෙසේය.

“මුලින්ම රෝගියෙක් කරන්නේ සමේ රෝග විශේෂඥයෙකු හමුවීම. එයා අවම වශයෙන් තුන් වතාවක් වත් රෝගියා පරීක්ෂා කලාට පස්සේ තමයි ලාදුරු සඳහා පරීක්ෂාවකට යොමු කරන්නේ. මේ සඳහා ගතවන කාලය ඉතාම තීරණාත්මකයි. සාමාන්‍ය ක්‍රීම් එකක් මාසයක් දෙකක් ආලේප කරමින් සිටින අතරතුර මේ රෝගය සම ඇතුළෙන් පැතිරෙනවා. ඒ අතරතුර මේ බැක්ටීරියාව ස්නායු වලටත් හානි කරන්න පුළුවන්. ස්නායුවලට ගියාට පස්සේ තමයි මේකෙන් ඇතිවන අතුරු ආබාධ සියල්ල ම ඇතිවෙන්න පටන් ගන්නේ. අතපය කොරවීම, ඇඟිලි, ඇස්, කන්, නාසා වෙනස් වීම් වගේ දේවල්. රෝගය හඳුනාගන්න පමා වන තරමට එහි සංකුලතා වැඩිවෙනවා. ඒ නිසා කාලය ඉතාම තීරණාත්මක සාධකයක්.”

“ලාදුරු පවුලකින් කසාදයක්…?”
ලාදුරු යනු සුව කළ නොහැකි රෝගයක් යැයි සමාජගත වී ඇති දුර්මතය හේතුවෙන් බොහෝ දෙනා අනියත බියක් ඇතිකරගෙන ඇති බව වෛද්‍යවරයා පැවසීය.

“සමහරු හිතනවා ලාදුරු හැදුණු කෙනෙක් හිටිය පවුලකින් කසාදයක්වත් කරගන්න හොඳ නැහැ කියල.”

ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේ ලාදුරු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යනම් රජයේ රෝහලකට ම යායුතු බවය. ඒ වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකෙරේ.

“මේ රෝගයට බෙහෙත් තියෙන්නේ රජයේ රෝහල්වල පමණයි. පෞද්ගලික රෝහල්වල බෙහෙත නැහැ. ප්‍රයිවෙට් චැනල් කරලා බැලුවත් එයාව ලාදුරු ප්‍රතිකාර සඳහා යොමු කරන්න වෙන්නේ රජයේ රෝහලට.”

ලාදුරු රෝගීන් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කළ හැකි බව ඔහු පැහැදිලි කළේය.

“ලාදුරු රෝගීන් වර්ග දෙකක් ඉන්නවා. බැක්ටීරියා වැඩි වශයෙන් ශරීරගත වී සිටින රෝගීන් සහ බැක්ටීරියා අඩු වශයෙන් ශරීරගත වී සිටින රෝගීන් ලෙස මේ කාණ්ඩ දෙක හඳුන්වන්න පුළුවන්. බැක්ටීරියා වැඩි ප්‍රමාණයක් ඇඟේ ඉන්න අයගෙන් තමයි රෝගය පැතිරෙන්නේ. අඩු බැක්ටීරියා ප්‍රමාණයක් සිටින රෝගීන්ගෙන් ලාදුරු පැතිරෙන්නේ නැහැ. අපේ රටේ ලාදුරු රෝගීන්ගෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ බැක්ටීරියා වැඩි කාණ්ඩය. ඒ නිසා මේ රෝගය රටේ ව්‍යප්තවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.”

ලාදුරු තුරන් කළ හැකි මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වසර කීපයකට පෙර නිවේදනය කර තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිදැයි ප්‍රශ්න කළ විට වෛද්‍යවරයා කියා සිටියේ ජනතාව එම නිවේදනය වැරදි ලෙස තේරුම් ගෙන ඇති බවය.

“මිනිසුන් ලක්ෂයකට රෝගීන් 10කට වඩා අඩුනම් අපි කියනවා ලාදුරු රටින් තුරන් කිරීමේ මට්ටමට ඇවිත් කියල. ඒක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකය. 1995 දී ශ්‍රී ලංකාව ඒ මට්ටමට ඇවිත් හිටියා. එතකොට මිනිස්සු අතර මතයක් ඇතිවුණා දැන් ලංකාවේ ලාදුරු නැහැ කියල. ඒක වැරදි මතයක්. රටක් ලාදුරු තුරන් කළ හැකි මට්ටමට එනවා කියන්නේ ඒ රටේ ලාදුරු ඇත්තෙම නැහැ කියන එක නෙමෙයි.”

රෝගියා සමඟ වාසේ…?
ලාදුරු රෝගියෙකු සමඟ එකම නිවසක වාසය කළ හැකිද? නිවසේ සිට ප්‍රතිකාර ගත හැකිද? බැක්ටීරියාව ශරීරගත වීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පහළවීමට කෙතරම් කාලයක් ගත වේද? විශේෂඥ වෛද්‍ය කපිල පියසේන ඒ සියලු ප්‍රශ්නවලට ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“මේ රෝගයේ තියෙන විශේෂත්වය තමයි, අද මම ඔයා ළඟින් වාඩිවෙලා හිටිය කියල හෙට ඔයාට ලාදුරු හැදෙන්නේ නැහැ. අද බැක්ටීරියාව ශරීරගත වුනත් අඩු තරමින් අවුරුදු දෙකක්වත් යනවා රෝග ලක්ෂණ මතුවෙන්න. රෝග ලක්ෂණය කියන්නෙත් ඇඟේ එන ලපයක් විතරයි. ඒ ලපය හඳුනා ගත්තේ නැත්නම් තවත් වසර තුනක්වත් ගිහින් තමයි ස්නායු ආබාධ ඇති වෙන්නේ. ඒකත් මුලින්ම ඇඟිලි හිරි වැටීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්.”

“ඒ වෙනකොට මේ පුද්ගලයා වයසට ගිහින් හිටියොත් එයා හිතනවා මේක වයසට එන ලෙඩක් වෙන්න ඇති කියල. එහෙම නැත්නම්, මේ පුද්ගලයාට දියවැඩියාව තිබුනොත් එයා හිතනවා මේක දියවැඩියාව නිසා හිරි වැටීමක් වෙන්න ඇති කියල. මේ වගේ දේවල් නිසා ලාදුරු කලින් හඳුනා ගැනීම තවදුරටත් අපහසු වෙනවා. ඒ වෙනකොට රෝගය සනීප කළත් අර හානිය ආපස්සට හැරෙන්නේ නැහැ.”

ලපයක් මතුවීමට පෙර රෝගය හඳුනා ගැනීම සඳහා මේ දක්වා සාර්ථක වෛද්‍ය පරීක්ෂණයක් සොයාගෙන නොමැති බව ඔහු පැවසීය.

ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කළ මොහොතේ පටන් මෙම රෝගය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීම නවතින හෙයින් නිවසේ සිටින අන් කිසිවෙකුට බිය වීමට කාරණයක් නොමැති බව වෛද්‍යවරයා අවධාරණය කරයි. එබැවින් රෝගියාට ද නිවසේ සිටම ප්‍රතිකාර කරගෙන යාමට හැකියාව පවතී.

ප්‍රථමයෙන් ලාදුරු සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සොයාගනු ලැබුවේ, 1940 වර්ෂයේය.

වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (MDT) ලබා දෙන අතර ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදුකරයි.

ලපය:
සිරුරේ ඇතිවන සෑම ලපයක්ම ලාදුරු ලපයක් නොවේ. නමුත් ලපයක් ඇතිවූ විට ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුබව වෛද්‍ය උපදේශයයි. ලාදුරු ලපයක් හඳුනා ගන්නේ කෙසේදැයි විමසු විට වෛද්‍යවරයා එය පැහැදිලි කළේ මේ ආකාරයටය.

“හමේ පාටට වඩා අඩු පාටක් හෝ තද පාටක් විය හැකියි. පැතලි ලපයක් හෝ නෙරා පැමිණි බිබිලක් වැනි ලපයක් විය හැකියි. මුහුණේ එක පැත්තක හෝ දෙපැත්තේම වෙන්නත් පුළුවන්. ශරීරයේ ඕනෑම තැනක විය හැකියි.”

“මේ බැක්ටීරියාවෙන් එම ලපය මැද ඇති ස්නායු මරා දමන නිසා ලපය මත දැනීමක් නැහැ. ඒ ලපය ඇති ස්ථානවල රෝම කූප නැහැ, දාඩිය දමන්නේත් නැහැ.”

මේවා පොදු ලක්ෂණ වන නමුත් මීට වඩා වෙනස් වූ ලක්ෂණ සහිත ලපයක් ද ඇතිවීමට ඉඩ ඇති බව වෛද්‍යවරයා අවධාරණය කළේය. එම හේතුව නිසාම වෛද්‍යවරුන්ට පවා මෙය විනිශ්චය කර ගැනීම අපහසු විය හැකි බව ඔහු පැවසීය.

“ඒකයි අපි කියන්නේ, යන්තමින් හෝ සැකයක් පවතිනවානම් ලාදුරු රෝහල වෙත යොමු කරන්න කියල. එතැනදී අපට විශේෂ පරීක්ෂාවක් කරන්න පුළුවන්.”

දීර්ඝ ඉතිහාසයක්
ලාදුරු රෝගය ඇතිකරවන බැක්ටීරියාව මුලින්ම මිනිස් සිරුරට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව තවමත් සොයාගෙන නොමැත. මෙම රෝගයට ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතී. එය වසර 5000ක් තරම් ඈතට දිව යන්නකි. වෛද්‍ය කපිල පියසේන එම ඉතිහාසය සංක්ෂිප්ත කළේ මෙලෙසිනි.

“බුදු දහමේත් මේක කියවිලා තියෙනවනේ. එක ජාතක කතාවක මට මතකයි මේ ගැන කියවෙනවා. එක්තරා රහතන් වහන්සේ නමකට දානේ බෙදනකොට ඒ මනුස්සයාගේ ඇඟිල්ලක් ගැලවිලා පාත්තරේට වැටුන කියනවනේ. මේ රෝගය එහෙම තමයි. ඇඟිලි පුරුක් ගැලවෙන්නේ කිසිම වේදනාවක් නැතිව.”

“අද කාලේ කොරෝනා නිසා සති දෙකක් නිරෝධායනය වෙන්න බැහැ කියල සමහරු මැසිවිලි නගනවා. ඒ කාලේ ලාදුරු හැදුනනම් මුළු ජීවිත කාලෙම හුදෙකලා කරනවා.”

“හැඳල රෝහල පටන් ගත්ත කාලේ රෝගීන් දහස් ගණනක් ඒ රෝහලේ ඉඳල තියනවා. ඇතුළට ආපු කෙනෙක් ආයේ එළියට ගිහින් නැහැ. මැරුණම පෙට්ටියෙන් තමයි එලියට ගෙනිච්චේ. ඒ දවස්වල තිබුණා ලාදුරු කොලනි කියල ස්ථාන වෙන්කරලා.”

හැඳල නගරයේ පිහිටා ඇති ලාදුරු රෝහලේ ඉතිහාසය ද ලන්දේසි යුගය දක්වා දිව යන බව වෛද්‍යවරයා පැවසීය.

“ක්‍රිස්තු වර්ෂ 1700 ගණන්වලදී ලන්දේසි කුමාරයෙක් ලංකාවට ඇවිත් තියෙනවා. එයාට ලාදුරු රෝගය හැදිලා. එයාව හුදෙකලා කරලා තියන්න තමයි මේ ගොඩනැගිල්ල හදල තියෙන්නේ. 1708 දී තමයි මුල්ගල තියල තියෙන්නේ. කුමාරයෙක් තියන්න ඕන නිසා මේක ඉතා සුඛෝපභෝගී ලෙස තමයි හදල තියෙන්නේ. මෑතකදී අලුත්යාවැඩියාවක් කරද්දී වහලේ උළුකැට හම්බවුණා. ඒවා හදල තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1860දී. අද තියෙන උළුකැටවලට වඩා තවමත් ඒවා ශක්තිමත්.”

රෝගීන් මිය ගිය විට ඔවුන්ගේ සිරුරු ගෙන යාම සඳහා වෙන්වූ කරත්ත තිබුණු බවත් ඉන් කරත්ත දෙකක් දැනටත් රෝහල තුළ දක්නට හැකි බව වෛද්‍ය කපිල පියසේන පැවසීය.

ඈත අතීතයේ රෝගීන්ගේ රෙදි සේදීම සඳහා හැඳල ලාදුරු රෝහල තුළ යන්ත්‍රයක් සවිකර තිබුණු බවත් එය ලෝකයේ පැරණිතම රෙදි සෝදන යන්ත්‍රයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මේක දැන් කාලේ වගේ පොඩි යන්ත්‍රයක් නොවෙයි. විශාල කාමරයක් වගේ යන්ත්‍රයක්. ඒක තමයි ලංකාවේ භාවිතා කළ පළමුවැනි රෙදි සෝදන යන්ත්‍රය.”

ලාදුරු ගැන ඔබ දත යුතු දේ:
ලාදුරු යනු Mycobacterium leprae නමැති බැක්ටීරියාව මගින් බෝවන, නිදන්ගත රෝගයක් වන අතර එය සම සහ පර්යන්ත ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි.
ශ්වසන මාර්ගයෙන් නිකුත් වන ආසාදිත බිඳිති මගින් මෙම රෝගය ව්‍යාප්ත වීම සිදුවේ.
මෙම රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝවිය හැකි අතර මේ සඳහා නිශ්චිත වාහකයෙකු හඳුනාගෙන නොමැත.
ප්‍රතිකාර ගන්නා රෝගියකුගෙන් මෙම රෝගය අන් අයට බෝ නොවේ.
ලාදුරු රෝගය පහසුවෙන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීම හා සුව කිරීම කළ හැක.
ලාදුරු රෝග විනිශ්චය ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන්නේ සායනයේදී රෝග ලක්ෂණ හඳුනා ගැනීම මගිනි.
ලාදුරු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හැඟීම් නොදැනෙන ලප කැළැල් ය.
ලාදුරු රෝගයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ දුබලතා ඇති වීම මගින් ඵලදායීතාව අහිමි වීමයි.
මෙම දුබලතා ලාදුරු රෝගය නිසා ඇති වන ප්‍රතික්‍රියා හේතුවෙන් ඇති වන අතර ඕනෑ ම අවස්ථාවක, එනම් ප්‍රතිකාර සම්පූර්ණ කිරීමෙන් පසු පවා ඇති විය හැක.
කලින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් මෙම දුබලතා බොහෝ දුරට වළක්වා ගත හැක.

 

(මූලාශ්‍ර: ලාදුරු මර්දන ව්‍යාපාරය)
Courtesy – BBC සිංහල

මෙන්න බලන්න තවත් ගොසිප්