Mar
21

ඕනෑම සමනළයකුට මල් කැකුළට ආදරේ කරන්න පුළුවන්

 
517 Views
   
Any-butterfly-can-love-a-bouquet-of-flowers  

මාතර චන්ද්‍රසිරි සේදරහෙට්ටි ඉකුත්දා ජනප්‍රිය චරිතයක් බවට පත්වූයේ කරුණාරත්න දිවුල්ගනේගේ පෙම් කවක් ලියූ ගීතයට ‘‘කවර්’ එකක් කිරීමත් සමගය. ඉන් පසුව ඔහු ලක්ෂ්මන් හේවාවිතාරණගේ මල් කැකුළකට ආදරෙයි කියන්න ගීතයටද ‘කවර්’ එකක් ගායනා කළේය. එයද රසිකයෝ ආදරෙන් වැළඳ ගත්හ. එවැනි මොහොතක ලක්ෂ්මන් හේවාවිතාරණට කතා කරන්නට අපට සිතිණි.

මල් කැකුලට අලුත් ‘කවර්’එකක් ඇවිත් නේද?

ඔව්නෙ… මාත් ඇහුවා… හුඟදෙනෙක් ඒ ‘කවර්’ එක අහලත් තිබුණා.

මං අහන්නෙ නම් නෑ රත්තරනේ, දුක දරාගත්තෙ කොහොමද කියලා?

මොකක්ද දුක?

ඔර්ජිනල් එකට වැඩියෙ කවර් එක ජනප්‍රිය වුණාම ඔබට දුක ඇතිනෙ?

අප්පොච්චියේ නෑ. මට කිසිම දුකක් නෑ. මල් කැකුලකට මීට කලිනුත් කවර් ඇවිත් තිබුණා. ඒත් මේ කවර් එක තරම් ඒ කවර්ස් රසිකයො වැළඳ ගත්තෙ නැහැ. කොහොම වුණත් මට දුක නැතුවට මගේ රසිකයන්ට නම් ටිකක් දුක හිතිලා වගේ.

ඒ මොකද ඒ?

මගෙ හුඟක් රසිකයො මේ කවර් එක මට එවලා තිබුණා. ඒ එක්කම සමහරුන්ගෙ කෙටි පණිවිඩවලින් මට ඒ වග තේරුණා.
මටත් නිකමට හිතුනා සංදර්ශන වේදිකාවෙ ඔබට තියෙන ඉල්ලුම අඩුවෙයිද කියලා.

එහෙම වෙන්නෙ කොහොමද? මේ කවර්, එක නිසා වුණු එකම දේ මල් කැකුල ආයෙමත් පිපිච්ච එක විතරයි. සංදර්ශන වේදිකාවෙ මට තිබුණු ඉල්ලුම එහෙමමයි. වෙනසකට තියෙන්නෙ මල් කැකුල දෙපාරක් කියන්න වෙන එක විතරයි. ඔයාට කියන්න, ගිය මාසෙ කහතුඩුවෙ ෂෝ එකක් තිබ්බා… මම මුලින්ම මල් කැකුල කියලා තව සිංදු තුනක් කියලා වේදිකාවෙන් බැස්සා.

එතකොටම රසිකයො කෑ ගහන්න ගත්තා තවපාරක් මල් කැකුල කියන්න කියලා. ඉතින් මම ආයෙම වේදිකාවට නැගලා තව පාරක් මල් කැකුලකට ආදරෙයි කිව්වා.

එතකොට අවංකවම ඔබට තියෙන්නෙ දුකක් නෙවෙයි සතුටක්?

ඔව්නෙ… ‘කවර්’ කොච්චර ආවත් ඔර්ජිනල් එක මගේ. ඔර්ජිනල් සිංදුවත් ගොඩක් ජනප්‍රිය වුණු ගීතයක්නෙ. ඒ ගීතය ඇහිච්ච දවසෙ ඉඳල රසිකයො ආදරය කළා. මේ වෙනකොට මම කෝටි වාරයක් විතර කියලා ඇති. මම නැග්ග හැම වේදිකාවකදිම මල් කැකුල කිව්වා. නොකියා බැස්සොත් කෝ මල් කැකුල කියලා රසිකයො කෑගහනවා. එතකොට ආයෙම වේදිකාවට නැගලා මල් කැකුලට ආදරෙයි කියලා තමයි බහින්නෙ.

මොකක්ද ඒ ජනප්‍රියත්වයෙ රහස?

ඒක නම් මාත් දන්නෙ නැහැ. සමහරවිට වචන වෙන්න ඇති. නැත්නම් සංගීතය වෙන්න ඇති. නැත්නම් ගායනය වෙන්න ඇති.

සමහරවිට ඔය තුනමද දන්නෙත් නෑ නේද?

වෙන්නත් පුළුවන්

ඔය ‘‘කවර්’’ පටන් ගත්තෙ මොන විදිහටද කියලා ඔබට මතකද?

ඔය එක එක ටී.වී. නාලිකා නේද කවර් පටන් ගත්තෙ. රියැලිටි තරගවලට ගී ගයන අය ජනප්‍රිය ගීතවලට වෙනස් හැඩ දුන්නනෙ. සංගීතය වෙනස් කළා. ගායන ශෛලිය වෙනස් කළා. මුල් කෘතියට වඩා වෙනස් රහකට මේ ‘‘කවර්’’ රසිකයන්ට දැනෙන්න පටන් ගත්තා. ඒ නිසා ‘‘කවර්’’ ජනප්‍රිය වුණා.

ඒකට තව හේතුවක් තියෙනවා. යම් කෙනෙක් ‘කවර්’ එකක් කරන්නෙ ජනප්‍රිය වීමේ පරමාර්ථයෙන්. ඒ නිසා පුළුවන් තරම් මහන්සි වෙලා පුළුවන් තරම් හොඳට තමයි කවර් එකක් කරන්නෙ. ඔය ‘‘කවර්’’ කරන එක හරිම ‘‘ඊසි’’ වැඩක්…

එහෙනම් ඔයාටත් පුළුවන්නෙ ඔයාගෙම සිංදුවලට ‘‘කවර්’’ කරන්න?

මේ ළඟදී පිටරටක රසිකයෙක් කතා කරලා මගෙ සිංදුවකට ‘කවර්’ එකක් කරලා එවන්න කිව්වා. වියදම ඔක්කොම දෙන්නන් කියලා.

ඉතිං?

මම බෑ කිව්වා… මගෙ සිංදු කරන්න මං කොච්චර නම් මහන්සි වුණාද? ඒවට ආයෙ ‘කවර්’ කරන්න මට පුළුවන්කමක් නැහැනෙ.

ඒ වුණාට රසිකයො කවර් හොයනවා?

මෙහෙමනෙ. රසිකයො කැමතිම සිංදුව හැමදාම අහනවනෙ. හැමදාම අහනකොට ඇහෙනකොට වෙනස් විදිහකට ඇහුණොත් හොඳයි කියලා රසිකයන්ට හිතෙනවා. ඒකත් හරියට අපි ගෙදරින් කාලා කාලා හෝටලේකට ගිහින් කනවා වගේ වැඩක්නෙ. ගෙදර කන්නෙත් බත්, හෝටලෙන් කන්නෙත් බත්. හැබැයි රස වෙනස්. හෝටල්වල අජිනොමොටෝ එහෙම දාලා රස වෙනස් කරනවනෙ.

ඔය ‘කවර්’ කෙරිල්ල ලෝකෙ හැම රටකම වගේ කෙරෙනවද?

ලංකාවෙ වගේ නෑ. මොකද ඒ රටවල නීති තදයිනෙ. ලංකාවෙ තමයි ‘කවර්’ රැල්ලක් තියෙන්නෙ.

ඔබේ තවත් නිර්මාණවලට කවර් කෙරිලා තියෙනවද?

මං අහන්නෙ නම් නෑ රත්තරනෙ… හරි ආදරයෙන් මා ළඟ ඉන්න වගේ ජනප්‍රිය ගීතවලට කවර් කරලා තිබුණා. හැබැයි මේ මල් කැකුලට සේදර හෙට්ටි සහෝදරයා කළ කවර් එක වගේ ජනප්‍රිය වුණේ නැහැ.

හේතුව?

මෙයා රහට කියනවනෙ. මම වුණත් ඒක රස විඳිනවා.

මේ ‘කවර්’ ගී ඔර්ජිනල් එකට වඩා ජනප්‍රිය වුණොත්?

මම මුලිනුත් කිව්වනෙ කවර් ගී කරන්නෙ ජනප්‍රිය කිරීම සඳහාමයි කියලා. ඒ වෙනුවෙන් තාක්ෂණය වුණත් උපරිමයෙන් භාවිත කරනවා. හැබැයි ඒ මොනව කළත් ඒවා ‘කවර්’ ගී, විරහ ගී, ප්‍රේම ගී, විහඟ ගී, කුරුටු ගී වගේ විවිධ ගී අතරෙ තව එක කොටසක් විතරයි.

මට ඇත්තම කියන්න. මල් කැකුලට කොයි තරම් ‘කවර්’ කෙරුණත් ඔබට ප්‍රශ්නයක් නැද්ද?

ඕනෑම සමනලයෙකුට මල් කැකුළට ආදරේ කරන්න කියන්න… කිසි තහනමක් නැහැ.

ශකුවි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්