Mar
13

ටීචර් කෙනෙක් නැත්නම් මාර ජොලියක් තිබිබෙ – වැඩි ආකර්ෂණයක් තිබුණෙ කොණ්ඩෙට

 
2427 Views
   
If-there-was-no-teacher,-there-would-have-been-a-great-job---there-was-more-attraction-to-the-hair  

‘‘ඉස්කෝලේ කාලේ’’ විශේෂාංගය තුළින් මෙවර සඳැල්ල හා එකතුවෙන්නේ කලා ක්ෂේත්‍රයේ රංගන අංශයෙන් විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක ආකර්ෂණය බෙහෙවින් දිනාගත්  රංගන ශිල්පිනියක්. ඇය නමින් දිලිනි ලක්මාලි. 

මම ඉස්කෝල දෙකකට ගියා. ඒ කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයටත් කෝට්ටේ ශ්‍රී  ජයවර්ධනපුර විද්‍යාලයටත්, මගේ ප්‍රාථමික අවධිය ගතවුණේ සිද්ධාර්ථ විද්‍යාලයේ. එය තිබුණෙත් මගේ ගෙවල්  කිට්ටුවම තමයි. ඒ කාලෙ මාලඹේ, කොස්වත්ත, රාජගිරිය වගේ ප්‍රදේශයන් එක්ක ගත්තම ගොඩක් ජනප්‍රියව තිබුණ පාසලක් තමයි ඒ. හරිම ආදරණීය ගුරු මඩුල්ලක් තමයි හිටියේ. ඉතින් ඒ පාසලේ මුල්ම පන්තිභාර ගුරුතුමිය චාන්දනී ටීචව මට හොඳට මතකයි. හරිම කරුණාවෙන් අපි ළඟ හිටියේ. ගැහැනු, පිරිමි ඔක්කොම ඉස්කෝලෙ හිටපු නිසා ඒ ඇතුළෙ ඉතින් අපිත් දඟ වැඩ, චණ්ඩි වැඩ කළා. පිරිමි ළමයි එක්ක වලි එහෙම හොඳට තිබුණා. ගැහැනු ළමයෙක් කියලා පැත්ත වැටිලා හිටියේ නැහැ. පුංචි කාලේ කොණ්ඩෙත් කොටට කපාගෙන කොල්ලෙක් වගේ තමයි හිටියෙ. දඟ වැඩ කළත් පොත්පත්වල වැඩ හොඳට කළා. පුංචිම කාලෙ  රිපෝට් එක තවමත් මගේ ළඟ තියෙනවා.

පන්තියේ එක, දෙක, තුන කියන ස්ථානවල කොහොමත්  හිටියා. ඒ වගේම ඕනෑම දේකට ඉදිරිපත් වීමේ හැකියාවක් තිබුණා. බයක් තිබුණෙම නැහැ. ක්‍රීඩා පැත්තෙන්, කලාව පැත්තෙන් හැමදේම කළා. අවුරුදු උත්සවවල එහෙම ඒ ක්‍රීඩාවලට සම්බන්ධ වෙලා ජයග්‍රහණ ලබාගත්තා. ඒ වගේම පුංචි කාලේ මට මතකයි අපේ ඉස්කෝලෙන් ඉදිරිපත් කරපු  නර්තනයක් තිබුණා. ඒ නර්තන විශේෂාංගයට තිබුණේ පොල් කටු යොදාගෙන ඉදිරිපත් කරන නර්තනයක්. ඒ වෙනුවෙන් ගැහැනු පිරිමි දෙගොල්ලොම සම්බන්ධ වෙලා හිටියා. ඒ නර්තනය සමස්ත ලංකා හොඳම නර්තනය බවට පත්වුණා. එතැනින් පස්සේ 7 වසරෙදි තමයි මම කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා පාසලට ගියේ. ‘‘ CMS’’ කියන කෙටි නාමයෙන් තමයි ඒ පාසල හැඳින් වුණේ. ඉතින් ඒ පාසලට ගියාම නම් මම ගොඩක් තැන්පත් චරිතයක් වගේ තමයි හිටියෙ. මොකද ඒ පාසලේ ගැහැනු ළමයි විතරනෙ ඉන්නෙත්. මොකද අලුත්ම පිරිසක් එක්කනෙ ගැටෙන්නෙ. ඒ ඉස්කෝලෙ මුල්ම කාලේ රැග් එකක්  එහෙමත් මට ලැබිලා තියෙනවා. ඒ රැග් එකේදී මම ටීච කෙනෙක්ගෙන් මුලදීම ගුටිත් කෑවා. ඉතින් ඒ විදියට ටික කාලයක් ගියාම අලුත් ඉස්කෝලෙත් බාහිර වැඩ ගොඩක් කළා. පෙරදිග තුර්යවාදක කණ්ඩායමේ හිටියා. එහිදී මම මුලින්ම කළේ රබාන වගේ තියෙන ඒ වාද්‍ය භාණ්ඩයට තට්ටු කරගෙන පිටිපස්සෙන් යන එක. නමුත් මම ගොඩක් ආසාවෙන් හිටියා වෙනත් සංගීත භාණ්ඩයක් වාදනය කරන්න. මම පුංචිම කාලෙදි වුණත් ඒ දේට හරිම කැමතියි. ඒ නිසාම අපේ ගෙදරට පුංචි කාලෙදි ටීවී එකක් ගෙනාවම ඒකෙ හිස් පෙට්ටිය අරගෙන කෝටු දෙකකින් ඩ්‍රම් ගැහුවා. මට මතකයි එතකොට මට අවුරුදු 10ක් වගේ ඇති. ඉතින් ඒ කාලේ ඒ හුරුවත්ක්ක මම දවසක් ඉස්කෝලෙදිත් තම්මැට්ටම අරගෙන තට්ටුවක් දදා හිටියා. අපේ චීච ඒක දැකලා මගෙන් ඇහුවා දිලිනි කැමතිද තම්මැට්ටම ගහන්න කියලා. ඒ මොහොතෙදි මට මාරම සතුටක් තමයි දැනුණෙ. ඉතින් මම  ඒ මොහොතෙම කැමති වුණා. ඊට පස්සේ හොඳටම පුහුණුවෙලා  දිගටම මම තම්මැට්ටම වාදනය කළා. ඉතින් මට ඒ අවස්ථාව ලැබුණෙ තුර්ය වාදක කණ්ඩායම සහ නර්තන අංශය භාර නිශා ලියනගේ ටීච නිසා. ඒ වගේ කලාව පැත්තෙන් නර්තනයන්ට වගේම වේදිකාවේ පොඩි පොඩි විශේෂාංගවලට එහෙම සම්බන්ධ වෙලා හිටියා.

ඒ වගේම මගේ අත් අකුරුවලට හොඳ තැනක් තිබුණා. මට මතකයි 11, 12, 13 අංශවලින් ඉදිරිපත් කරපු අත්අකුරු තරගාවලියකින් මම දෙවැනි ස්ථානය ලබාගත්තා. ඒ වගේ එක එක තරගවලට සම්බන්ධ වෙනවා. කලාව, ක්‍රීඩාව, අධ්‍යපනය හැම අංශයකින්ම වගේ. ඉතින් සමහර වෙලාවට ඒ තරගවලින් ජයග්‍රහණ ලබාගෙන සහතික පත්‍ර එහෙම ගෙනියනකම් ගෙදරින් දන්නෙත් නැහැ. මම සමාන්‍ය්‍යයෙන් පොතේම හිටපු ළමයෙකුත් නෙවෙයි. මධ්‍යස්ථ  මට්ටමක හිටියේ. ටීච කෙනෙක් එහෙම පන්තියේ නැතිවුණාම අපි කණ්ඩායම් බෙදිලා පිට්ටනියට තමයි දුවන්නෙ. ගිහින් සෙල්ලම් කරනවා. ඒ තරම් ජොලියක් තවත් නැති තරම්.

ඉතින් ඒ කාලෙදි මට පාසල් ප්‍රේමයක් එහෙමත් නොතිබුණාම නෙමෙයි. පාසල් ප්‍රේමයක් කියලා මුලින්ම දැනෙන්න ගත්තේ 9 වසරේ වගේ.  ඒ කාලෙ පිරිමි ළමයි මට කිව්වේ කොණ්ඩෙ දිග ගෑනු ළමය කියලා. කොණ්ඩෙට තමයි වැඩි  ආකර්ෂණයක් තිබුණේ. ඉතින් ස්කූල් වෑන් එකේ වගේම මම බස් එකෙත් ආවා ගියා. ඒ යන එනකොට  පොඩි පොඩි ප්‍රේම යෝජනා එහෙම තිබුණා. හොඳම මතකයක් තියෙනවා මට.  ජීවිතේ පළමු වතාවට ලියුමක් ලැබෙන්නෙ ඉස්කෝලෙ යන කාලේ තමයි. එතකොට මම 9 වසරෙ. මට වඩා අවුරුදු දෙක  තුනක් වැඩිමල් අයියා කෙනෙක්ගෙන් තමයි ඒ ලියුම ලැබුණෙ. ඒ ලියුම දුන්නට පස්සේ මම ඒක කියෙව්වා. ඒකෙ තිබුණා චාමර වීරසිංහගෙ ගීතයක කෑල්ලක්. ඒක මට හොඳට මතකයි. සමහර වෙලාවට ඉස්කෝලෙ ඇරිලා අම්මා එක්ක යද්දි එහෙම පිරිමි ළමයි පස්සෙන් එහෙම  එද්දි අපටත් හොරෙන් හරි බැලෙනවනෙ. ඒත් ඉතින් ලොකු  බයකින් බලන්නෙ. ඒවා ඉතින් හරි සුන්දරයි.
අපි ඉස්කෝලෙ යාළුවො එක්ක දුවලා, පැනලා ඇවිදලා, එකට කෑම කාලා විනෝද වුණා විදිය හරිම ආදරණීයයි. සමහර වෙලාවට පරණ යාළුවො කතා බහ කරන අවස්ථා තියෙනවා. දැන් තාක්ෂණයෙ දියුණුවත් එක්ක Fbවලින් එහෙම පරන යාළුවො නැවත එකතුවෙලා ඉන්නවනෙ. ඉතින් ඒ කතා බහ එක්ක හිතට දැනෙන්නෙ ආයෙත් ඉස්කෝලේ යනවා වගේ තමයි. ඉස්කෝලෙ විශේෂ අවස්ථාවන්වලට එහෙම මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා  තියෙනවනෙ. ඉතින් ඒවට සම්බන්ධ වෙද්දිත් මාරම සතුටක් තමයි දැනෙන්නේ. අපි හැදුණු තැන ජීවිතේ අපිව ගොඩදාපු දෙවනි අම්මනෙ ඉස්කෝලෙ. ඉතින් ඒ ගෙවුණු ජීවිතේට මාරම ආදරෙයි.

ධනු විජේරත්න

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්