Mar
30

‘අන්සතු ඔබ’ හැරවුම් ලක්ෂ්‍යයයි – ‘නාඩගම්කාරයෝ’ හි ‘ගීතානි මිස්’

 
611 Views
   
'Ansatu-Oba'-is-the-turning-point---'Geethani-Miss'-in-'Nadagamkarayo'  

‘නාඩගම්කාරයෝ’ වෙනුවෙන් අලුතින්ම එකතු වුණු ‘ගීතානි මිස්’ මේ දිනවල බොහෝ දෙනෙක් කතාබහ කරන චරිතයක්. ඒ නිසාම ඇය සමගින් කතාබහක යෙදෙන්නට සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා. ඇය නමින් නිපුණි පූජිතගුණවර්ධන.

නාඩගම්කාරයෝ වෙනුවෙන් රංගනයෙන් එකතු වුණු අලුත්ම චරිතය ගීතානි මිස්ට හොඳ ප්‍රතිචාර තියෙනවා නේද?

“ඔව්. ඇත්තටම හිතුවෙවත් නැති තරමට ප්‍රතිචාර තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. ‘නාඩගම්කාරයෝ’ කියන්නේ මීට වසරකට පෙර වගේ ආරම්භ වුණු නිර්මාණයක්නේ. ඉතින් මට ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ මීට මාස දෙක තුනකට පෙර වගේ. ඒ විදිහට නිර්මාණය මැදදී එකතු වෙන්න ලැබුණත් ඉතා ඉහළ ප්‍රතිචාරයක් මට ලබාගන්න හැකි වුණා.”

ඉතින් මේ චරිතය ගැනත් කියමු?

“ගීතානි කියන්නේ සංවර්ධන නිලධාරිනියකගේ චරිතයක්. ඇය තමන්ගේ සේවාව රාජකාරිය අකුරටම ඉටු කරන කෙනෙක්. ගමේ කිසිදු හව්හරණක් නොමැතිව ජීවිතේ නිකරුණේ ගෙවාගෙන ගිය තරුණ පිරිසකගේ වටිනාකම තේරුම් අරගෙන ඔවුන්ට කරන්න පුළුවන් දේ තේරුම් අරගෙන ජීවිතේ ගොඩනගාගන්න අත දෙන නිලධාරිනියක් ගීතානි. ඉතින් පෞද්ගලිකවත් මම මේ චරිතයට ගොඩක් කැමැතියි. හොඳ ප්‍රතිචාරත් මේ වෙද්දි ලැබෙනවා.”

ගීතානිට බණින පිරිසකුත් ඉන්නවා නේද?

“ඔව්. ඇත්තටම මේ කතාවේ ප්‍රධාන චරිත වන සුදු චූටිගෙයි සරාගෙයි අතර ප්‍රේමයක් තියෙනවානෙ. ඒ දෙන්නා රහසින් ආදරය කරනවා. ඉතින් ඒ ආදරය මැද්දට එන්න හදනවා කියලා මට බණින පිරිසක් ඉන්නවා. නමුත් ඒ වගේ සිදුවීමක් වෙයි කියලා මම හිතන්නේ නම් නැහැ. ඉතින් චරිතෙ සිදුවීම් තවම දන්නෙත් නැහැ. කොයි විදිහට වෙනස් වෙයි ද කියලා ඉදිරියේදී තමයි ඒ ගැන බලන්න වෙන්නේ.”

අන්සතු ප්‍රේම කතාවලමයි පැටලෙන්න හදන්නේ කියලා ප්‍රතිචාර දක්වපු පිරිසක් හිටියා නේද?

“ඔව්නේ. ඒකට හේතුව මාව ගොඩක් දෙනෙක් හඳුනාගන්නේ පසුගිය කාලේ ගොඩක් ජනප්‍රිය වුණු ‘අන්සතු ඔබ’ මියුසික් වීඩියෝව නිසානේ. ඉතින් ඒ මියුසික් වීඩියෝව ගැනත් අපේ රංගනය ගැනත් ගොඩක් දෙනෙක් කතා කළා. ඇත්තම කියනවා නම් ඒ වීඩියෝව මගේ ජීවිතේ හැරැවුම් ලක්ෂ්‍යයක්. ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර අදටත් අඩුවක් නැහැ. ඉතින් ඒ රංගනයේදි ගොඩක් දෙනා දක්වපු ප්‍රතිචාරවල සඳහන් කරලා තිබුණේ තාත්වික රංගනයක් ඉදිරිපත් කරලා තිබුණා කියන දේ. ඇත්තටම කියනවා නම් මේ වෙනුවෙන් සම්බන්ධ වුණු මේ කණ්ඩායමේ කවුරුත් හිතුවේ නැහැ මේ තරම් අතිවිශාල ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. නමුත් අපි මේ නිර්මාණය වෙනුවෙන් උපරිමෙන් මහන්සි වෙලා වැඩ කළා. ඒ මහන්සියේ ප්‍රතිඵල ලැබුණා කියලා හිතෙනවා ලැබුණු ප්‍රතිචාරවලින්.”

නිපුණි සහ ෂේවියර් කනිෂ්ක මේ මියුසික් වීඩියෝවෙ රඟපෑවා ද නැත්නම් ඒ චරිත තුළ ජීවත් වුණා ද කියලත් අහපු අය හිටියා නේද?

“ඇත්තටම ඔව්. ගොඩක් දෙනෙක් ඒ දේ කිව්වා. අපි දෙන්නා අතර ඇත්තටම සම්බන්ධයක් තියෙනවා ද කියලාත් ඇහුවා ගොඩක් දෙනෙක්. මොකද ඒ තරමටම තාත්වික රංගනයක් ඉදිරිපත් කළා කියන ප්‍රතිචාර තිබුණේ. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. අපි දෙන්නාගේ හොඳ රසායනයක්, ගැළපීමක් තිබුණ නිසා වෙන්න ඇති මේ දේ සාර්ථකව කරගන්න ලැබෙන්න ඇත්තේ. ඉතින් ලැබුණ ප්‍රතිචාරවලින්ම මම හිතනවා ඒ රංගනයට අපි හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්න ඇති කියලා.”

ඇත්තටම එවැනි අත්දැකීමක් එහෙම නෑනේ නේද?

“අනේ නැහැ. ඇත්තටම අත්දැකීම් තියෙනවා ද කියන දේ අහපු ගොඩක් දෙනෙක් හිටියා. ඇත්තටම ඒ විදිහට අහපු එක ගැන මට සතුටුයි. මොකද මට එහෙම අත්දැකීම් තියෙනවා ද කියලා අහන්න තරමට මම ඒ චරිත නිරූපණයට සාධාරණයක් කරලා තියෙනවා. රංගන ශිල්පියකුගේ හෝ ශිල්පිනියකගේ සාර්ථක්වය තියෙන්නේ ඒ තැන තමයි. ඇත්තම විදිහට දැනෙන්න රඟපාන්න පුළුවන් කියන්නෙ ලොකු ජයග්‍රහණයක්.”

අන්සතු ඔබ ගීතයේ වීඩියෝ ක්ලිප්ස් එකතු කරගෙන ‘නාඩගම්කාරයෝ’ කතාවට සම්බන්ධ කරලා නිර්මාණාත්මක වීඩියෝ නිර්මාණය කරලා තිබුණා නේද?

“අනේ ඔව්. මමත් ඒවා සමාජ මාධ්‍යවල දැක්කා. හරිම ලස්සනට ගැළපෙන විදිහට ඒ නිර්මාණ කරලා තිබුණා. ඇත්තටම ලංකාවේ මිනිස්සු හරිම නිර්මාණාත්මකයි. ඒවා දැක්කම හිනා යනවා.”

ඉතින් කලාවට සම්බන්ධ වීම ද නිපුණිගේ අරමුණ වුණේ?

“මුලින්ම මම කැමැත්තෙන් හිටියේ නර්තන ගුරුවරියක් වෙන්න. පාසලේදීත් නර්තනය තමයි හැදෑරුවේ. පාසල් නර්තන කණ්ඩායමේත් හිටියා. ඒ වගේම නර්තන ශිල්පිනියක් විදිහට පාහින්පත් ඇඳලා තියෙනවා. ඒකනේ නර්තන ශිල්පිනියක් විදිහට ලබන්න පුළුවන් ඉහළම දේ. ඉතින් A/L වලදීත් වැඩිදුර කළේ නර්තනය. ඒ අතරතුර පාසලේ නාට්‍ය කරලා තියෙනවා. රංගන හැකියාවක් මගේ තිබිලා තියෙනවා.

නමුත් ඒ තුළින් ඉදිරියට යන්න හිතුවේ නැහැ. සමහරු මේ දක්ෂතා සහජයෙන්ම ගේනවනේ. තවත් සමහරු මේ දේ ඉගෙනගත්තොත් හොඳයි කියලා හිතනවා. ඉතින් මට මේ සම්බන්ධව ඉගෙනගන්න හිතුණා. ඒ නිසාම කැලණිය විශ්වවිද්‍යාලයේ රංගනය පිළිබඳ බාහිර උපාධිය හදාරනවා. ඒ හරහා තමයි මට වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් වේදිකාවට සම්බන්ධ වුණාට පසුව රංගනය පිළිබඳ දැඩි ආසාවක් ඇති වෙනවා.

මොකද ඕනෑම රංගන ශිල්පියෙක්ගේ ශිල්පිනියක්ගේ සාර්ථකම ගමන් මගක ආරම්භය වෙන්නෙ වේදිකාව. ඒ විදිහට ආපු මම 2015 දී වගේ වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සම්බන්ධ වුණා. 2018 වසරේ ‘මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ තරගාවලියටත් සම්බන්ධ වුණා. තව නිර්මාණ කිහිපයකුත් කරලා තියෙනවා. නමුත් මාව මිනිස්සු හඳුනාගන්නේ, මාව හොයන්න පටන් ගන්නේ ‘අන්සතු ඔබ’ මියුසික් වීඩියෝව නිසා තමයි. ඒ හරහා තමයි මට ‘නාඩගම්කාරයෝ’ වෙනුවෙන් සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබෙන්නේ.”

දැන් කලා ක්ෂේත්‍රයෙන්ම ද ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තුව?

“දිගටම රැඳෙනවා කියන්නත් බැහැ. නමුත් මම දැන් මේ ක්ෂේත්‍රයට රංගනයට ගොඩක් කැමැතියි. මගේ පවුලෙනුත් හොඳ සහයෝගයක් ලබාදෙනවා මේ ගමන සාර්ථකව ඉදිරියට යන්න. මගේ පවුලේ ඉන්නේ අම්මයි අයියලා දෙන්නයි අක්කලා දෙන්නයි. මම පවුලේ බාලයා. ඉතින් කිසි අඩුපාඩුවක් නැතිව මගේ මේ ගමනට ඒ හැමෝම උදව් කරනවා. අම්මා තමයි මගේ දක්ෂතාවයන් මුලින්ම හඳුනාගෙන මේ ගමනට ලොකුම ශක්තිය වුණේ. අපි හැමෝටම අපේ දක්ෂතා එක්ක ඒවා හඳුනාගෙන තමන්ගේ ගමන යන්න උදව් කළා. ඒ දේ ඇත්තටම ලොකු ශක්තියක්. ඉතින් මගේ ගැන කතාබහ වෙන්නේ, මාව මේ චරිතයට යොමු කරපු ස්වර්ණවාහිනී ආයතනයේ රංගන ද සිල්වා මහත්මයා නිසා. ඒ වගේම ශිවගුරුනාදන් සර්, සද්ධාමංගල සර් ඇතුළු නාඩගම්කාරයෝ කණ්ඩායමේ සියලු දෙනාම ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනෑ. මට මේ ක්ෂේත්‍රයේ යම් ගමනක් එන්න ඒ කණ්ඩායමේ පිරිස ලොකු සහයෝගයක් මේ වෙද්දී ලබාදෙනවා. මම කොහොමත් නාඩගම්කාරයෝ ප්‍රේක්ෂිකාවක්. ඒ ගැනත් අනිවාර්යයෙන් කියන්න ඕනෑ. ඒ නිර්මාණය මැදදි හෝ මටත් ඒ වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්න ලැබීම සතුටක්. ඉතින් මේ රංගනයත් එක්ක ඉදිරියේදීත් හොඳ ගුණාත්මක නිර්මාණ සහ මට කරන්න පුළුවන් කියලා හිතෙන නිර්මාණවලට මම අනිවාර්යයෙන්ම දායකත්වය ලබාදෙන්න කැමැත්තෙන් ඉන්නවා.
රංගනය වෘත්තිය කරගන්නවා කියන තැනක මම නැහැ. පුළුවන් විදිහට ඒ දේත් කරගෙන ජීවිතේ සාමාන්‍ය සරල නිදහස් විදිහට ගෙවන්න තමයි කැමැති.”

ධනු විජේරත්න / ඡායාරූප –  සජීව ලක්ෂාන්

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්