Jul
17

කොවිඩ්-19 සහ අපේ දරුවන්ගේ අධ්‍යාපනය

 
872 Views
   
 

2020 ආරම්භය සිදු වූයේ ලොව පුරා රටවල් 180 ක පමණ බිලියන 1.6 කට ආසන්න සිසු පිරිසකගේ විධිමත් පාසැල් අධ්‍යාපනය කොවිඩ්-19 වසංගතය හමුවේ අකර්මන්‍ය වීමත් සමඟය. මේ හේතුවට පිළියම් ලෙස විධිමත් දුරස්ථ ඉගෙනුම් ක්‍රමෝපායයන් හඳුන්වා දීමට ලෝකයේ බොහෝ රටවල් ප්‍රශංසනීය වෑයමක යෙදුනද, දරුවනට විධිමත් පාසැල් අධ්‍යාපනයක් අහිමිවීමෙන් සිදුවූ පාඩුව අදටත් සැලකිය යුතු මට්ටමක පවතී. යුනෙස්කෝ ආයතනය විසින් 2020 නොවැම්බරයේදී ඉදිරිපත් කළ ඇස්තමේන්තු ගත සංඛ්‍යා ලේඛන වලට අනුව මුළු මහත් ලෝක ශිෂ්‍ය ජනගහනය විධිමත් තත්තවයන් යටතේ ඔවුනට ලැබිය යුතුව තිබූ අධ්‍යාපනයෙන් 41% සිට 68% දක්වා ප්‍රතිශතයකින් අධ්‍යාපනය අහිමි කර ගත් බව ප්‍රකාශ කර ඇත. වසංගතයේ මෙම දෙවන වසර තුළ, ලොව බොහෝ රටවල් හදිසි ප්‍රතිචාර වලින් යථා තත්ත්වයට පත්වීම අරමුණු කරගත් අධ්‍යාපන ප්‍රතිපත්ති දෙසට ගමන් කරමින් සිටී. පාසැල් නැවත විවෘත කිරීම සහ අධ්‍යාපනය නැවත ආරම්භ කිරීමත් සමඟම, සාමාන්‍ය පරිදි ඉගෙනීමට හැඩගැසීමට සිසුන්ට උපකාර කිරීම සඳහා අවශ්‍ය සහයෝගය සහ ඔවුනට අහිමිවී ගිය ඉගෙනුම් කටයුතු සඳහා පිළියම් යෙදීම ලොව බොහෝ රටවල් විසින් දැනටමත් කරමින් සිටී.

 

කොවිඩ්-19 වසංගත තත්තවය හමුවේ මේ වන විට අපේ රටේ පාසැල් අධ්‍යාපනය අ’කර්මන්‍ය වී වසර එකහමාරකට ආසන්න කාල පරිචේදයක් ගතවී ගොසිනි. මෙම කාල සීමාව තුළ මාස තුනක් වත් අපගේ දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් පාසැල් තුළදී ලැබුණිද යන්න විවාදාත්මක මාතෘකාවකි. 2021 මාර්තු වන විට ශ්‍රී ලංකා පාසල් සති 28 ක් පුර්ණ වශයෙන් සහ සති 15 ක් අර්ධ වශයෙන් වසා දමා ඇති බවට ගණන් බලා තිබේ.

 

වර්තමානයේ පාසල් වැසීමට රජය දක්වන ප්‍රතිචාරයන් අතර පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වන මාර්ගගත වැඩසටහන් අඛණ්ඩව හා තවදුරටත් ව්‍යාප්ත කිරීමට පාසල් දිරිමත් කිරීමයි. සිසු දරුවන්ට මාර්ගස්ථ ක්‍රමය යටතේ හෝ අධ්‍යාපනය ලබා දීමට ගුරු භවතුන්ද බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ අන්දමද අපට දැක ගන්නට ලැබුණි. ශ්‍රී ලංකාවේ මාර්ගගත ඉගෙනුම් වේදිකාවලට ප්‍රවේශය සහ ඇතැම් විට ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු වලින් සිසු පරපුර පීඩා විඳිති. මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමවේද හරහා අධ්‍යාපනය ලබා ගැනීමේදී ප්‍රතිශතයක් ලෙස ගත හොත් ශ්‍රී ලංකාවේ සිසු ජනගහනයෙන් අන්තර් ජාලයට පිවිස ඇති පිරිස ලෙස බොහෝ සමීක්ෂණ තුළින් පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් 50% කටත් අඩු ප්‍රමාණයක් වන අතර, එය අඩු පහසුකම් සහිත පාසැල් වල සිය ඉගෙනුම ලැබූ සිසුන් ගෙන් 8% සිට වැඩි පහසුකම් සහිත පාසැල් වල ඉගෙනුම ලැබූ සිසුන්ගෙන් 59% දක්වා දෝලනය වී ඇති බවක්ද පෙනෙන්නට ඇත.

 

කුඩා සිසු ජනගහනයක් සහිත පාසල් වල දරුවන් වෙනුවෙන් දුරස්ථ අධ්‍යාපනය ලබා දීමේදී රූපවාහිනිය විශාල සේවාවක් කර ඇති බව විද්‍යමාන වන අතර විශාල සිසු ජනගහනයක් සහිත පාසැල් වල දරුවන් අතර නම් වඩාත් ප්‍රචලිතව ඇත්තේ අන්තර්ජාලය හරහා අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීම බව කියැවේ. කරුණු කෙසේ වුවත්, මෙම දුරස්ථ සහ මාර්ගස්ථ අධ්‍යාපනය ලබා ගැනීමේදී සිසු පරපුර මුහුණ දෙන ඇතැම් දුෂ්කර අභියෝග එම ක්‍රියාවලියේ පුර්ණ ඵලදායිතාව ලබා ගැනීමට මහත් බා’ධාවක් වන බව නම් කිව යුතුමය. ඉහත දුෂ්කරතා අතර, රූපවාහිනී වැඩසටහන් සහ ගුරුවරුන්ගේ පාඩම් සැලසුම් අතර සම්බන්ධතා නො’මැතිකම, ඇතැම් විට දැකිය හැකි උදාසීන ඉගැන්වීමේ ශෛලිය සහ ගුරු-සිසු අන්තර් සම්බන්ධතාවයක් නො’මැති වීම, විවිධ විෂයයන් වෙනුවෙන් රූපවාහිනී නාලිකා වල කාලය ප්‍රමාණාත්මකව වෙන් කිරීමේදී ඇතිවන ගැටළු මෙන්ම සහ පාසල්, සිසුන් සහ දෙමාපියන් වෙත වැඩසටහන් තොරතුරු දුර්වල ලෙස සන්නිවේදනය කිරීම ආදිය කැපී පෙනේ. මේ සියල්ල කැටි කොට ගත කළ අපේ රටේ මෙම වසංගත කාලයේදී ශිෂ්‍ය අධ්‍යාපනය ලබා දීම මිට වඩා විධිමත් අන්දමකට සිදු කළ හොත් සෑම සිසුවෙකුටම සාධාරණ වූ ක්‍රමවත් සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම අපට ඉටු කළ හැකිය.

 

දුරස්ථ සහ මාර්ගස්ථ අධ්‍යාපනයට ප්‍රවේශ විය නො’හැකි, ශ්‍රී ලංකාවේ දුර බැහැර අඩු පහසුකම් සහිත නමුත් කොවිඩ් අවදානම ඉතා අඩු ප්‍රදේශ වල පාසල් විවෘත කිරීම සලකා බැලීම ඉතා ප්‍රයෝජනවත් වන අතර එවන් පාසල් වල ශිෂ්‍ය ජනගහනය කුඩා හෙයින් සිසුන් අතර දුරස්ථභාවය වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ වඩාත් හොඳින් පිළිපදිමින් සිය අධ්‍යාපන කටයුතු වල දීමටද දරුවන් සමත් වේ. කෙසේ වුවත්, මෙවැනි ක්‍රමවේදයක් විශාල සිසු ජනගහනයක් සහිත මෙන්ම කොවිඩ් අවදානම තදින් පවතින ප්‍රදේශයන්හි පාසැල් සඳහා යෝග්‍ය නොවන අතර ඒ වෙනුවෙන් වඩාත් විධිමත් මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමයක වැදගත්කම අතිශය ඉහළ මට්ටමක පවතී.

 

කොවිඩ් වසංගතයෙන් අප බැට කන මෙවන් අවස්ථාවක අඩු වත්කම් සහිත පවුල් වල දරුවන්ට සිය ඉගෙනීමට ප්‍රමාණවත් ප්‍රවේශයක් නො’මැති අතර එය ඔවුන්ගේ ඉගෙනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපායි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊ-තක්ෂිලාව සැලසුම් කර ඇත්තේ 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා දුරස්ථ ඉගෙනුම් සඳහා පහසුකම් සැලසීම සඳහා ය. අමාත්‍යාංශයේ ගුරු ගෙදර වැනි දුරස්ථ ඉගෙනුම් වැඩසටහන් රූපවාහිනියෙන් විකාශනය කරන්නේ මාර්ගගත ඉගෙනුම් පහසුකම් නො’මැති සිසුන් ඉලක්ක කර ගෙනය. අපේ රටේ නිවාස වලින් 86% කට පමණ රූපවාහිනී යන්ත්‍ර ඇත. මෙම පාඩම් සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ලබා දේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විද්‍යාව හා තාක්‍ෂණය, ගණිතය සහ භාෂා විෂයයන් සඳහා වන පාඩම් විකාශනය විකාශනය කරන්නේ විශේෂයෙන්ම අඩු පහසුකම් සහිත ග්‍රාමීය හා වතු ප්‍රදේශවල සිසු දරුවන් වෙනුවෙනි.

 

තොරතුරු හා උසස් තාක්‍ෂණය පිළිබඳ පුහුණුව ලත් ගුරුවරුන්ගේ අවශ්‍යතාව ද වසංගතය මගින් අපට පෙන්වා දී ඇත. විශේෂයෙන් දුර බැහැර ප්‍රදේශවල දක්ෂ ගුරුවරුන් රඳවා තබා ගැනීම ප්‍රධාන ගැටළුවක් විය හැක්කේ එවැනි ගුරුවරුන්ට වෙනත් නොයෙක් තැන වල ඉල්ලුම් පවතින බැවිනි. දුර බැහැර ප්‍රදේශවල සේවය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන දක්ෂ හා කැපවූ ගුරුවරුන්ට විශේෂ දිරිගැන්වීම් ලබා දීම තුළින් බොහෝ විට ඔවුන් එම ස්ථාන වලම රඳවා ගැනීමට බලධාරීන්ට හැකියාව ඇත.

 

අපේ ගුරුවරුන්ගෙන් මේ තීරණාත්මක අවස්ථාවේ රටේම සිසු දරුවන් වෙනුවෙන් සිදුවන මෙහෙවර අති මහත්ය. රටේත්, අපේත් හෙට දවස භාර ගැනීම වෙනුවෙන් සිසුනට නිසි පරිදි අකුරු කරවන්නට ශ්‍රී ලංකාවේ ගුරු පරපුර තෙත්වූ ලයැතිව අප්‍රමාණ කැප වීමකින් සිය සේවය නොපිරිහෙළා ඉටු කරති. ඉතා මෑතකදී වූ යම් සිද්ධියක් නිසා අපේ ඇතැම් ගුරුවරු මෙම සිය සිසුනට දුරස්ථව හෝ මාර්ගස්ථව අකුරු කරවීමේ සද් කාර්යයෙන් මඳ විරාමයක් දැනට ලබා ඇතත්, සිය දරුවන් මෙන් වූ අපේ සිසු පරපුර වෙනුවෙන් එම විරාමයෙන් මිදෙන්නට ඔවුන් ළඟදීම තීරණය කරන බව නම් මට සහතිකය.
පන්හිඳ කමල් ගමගේ ගෙනි.

මෙන්න බලන්න තවත් ගොසිප්