Apr
19

ඕලු ඇන්දා වගේ චීත්ත ගවුමක් අඳින්න පුළුවන් නම් හොඳයි

 
866 Views
   
It-would-be-nice-if-you-could-wear-a-head-dress-like-that  

”ඕලු” අදටත් ඇයව බොහෝ දෙනෙක් හඳුන් වන්නේ ඒ නමින්. පුංචි තිරයෙ අහිංසකාවියක් ලෙස විවිධ  චරිත ඔස්සේ ඔබේ හදවතට සමීප වූ ඇය මංජුලා කුමාරි නම් අති දක්ෂ රංගන ශිල්පිනියයි. රංගන ශිල්පිනියක් වුවද විලාසිතා තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දක්වන ඇයව අද අප  ෆැෂන් සැරසීමට ආරාධනා කළෙමු.

විලාසිතා කිරීමේදී ඔබ ගොඩාක් සැලකිලිමත් වන කෙනෙක් නේද ?

සැබෑවටම ඔව්. මංජුලා කුමාරි කියන මා ගොඩනඟාගෙන ඇති අනන්‍යතාවය ඇතුළෙත් චාම් බව, අපේ කම අනිවාර් යයෙන්ම තියෙනවා. මම කොහොමටත් පුංචි කාලෙදි වත් කැමති නැහැ අඟපසඟ පේන්න අඳින්න. ඉස්සර මම පන්ති යනකොට  අඳින්නේ අත් දෙක දිගට දාපු කර ගාවටම වැහුණු විලාසිතා. යාලුවෝ මට විහිළු කරනවා ” මෑණි කෙනෙක්” වගේ කියලා .කොහොම උනත් මට හිතෙනවා විලාසිතාවක් නිසා අපහසුතාවයට පත්වෙන්න ,කෙනෙකුගේ වපර ඇසකට යොමු  වෙන්න,කෙනෙකුගේ  රාගික හැඟීමක් ඇවිස්සෙන ආකාරයකට අඳින්න යොමු වෙන්න මම කොහොමටත් ම කැමැති නැහැ .

විලාසිතා කිරීමෙන් අභිමානයක් ගොඩනැගෙන බව ඔබ  හිතනවද ?

ඔව්. ඇඟට ගැලපෙන විදියට විලාසිතාවක් කළාම හිතට  ලොකු අභිමානයක්, ආත්ම විශ්වාසයක් ලැබෙනවා. ඒ වගේමයි මම හිතෙනවා ඒ අභිමානය තුළ අපි නොදැනුවත්වම ගෞරවයකු ත්  ලබනවා.

විලාසිතාවක් තෝරා ගැනීමේදී ඔබ මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වන්නේ ?

පළමු වන දේ සහභාගී වන තැන.පන්සලකට, පාසලකට සහභාගීවන  වන විදිහට උත්සව අවස්ථාවකට සහභාගි වෙන්න බැහැනේ. ඒ නිසා විශේෂයෙන් ම සහභාගි වන තැන ගැන වඩාත්ම සැලකිලිමත් වෙනවා. ඒ වගේමයි මගේ ඇඟේ හැඩය, හමේ පාට ගැනත් සැලකිලිමත් වෙලා ,ඊට සරිලන විදිහට තමයි මම  විලාසිතා තෝරා ගන්නේ.මොන තැනකට   යන්න විලාසිතාවක් කළත් එය ඇඟ පසඟ වැහෙන විදිහට  තෝරගන්න තමයි මම ගොඩක් කැමති.

ඔබේ ශරීරයට වඩාත් ම  ගැලපෙන පාට ?

ලා පාට වලට තමයි මම ගොඩක්ම කැමැති. කහ, රෝස, සුදු මම කැමතිම පාට .

කැමතිම ඇඳුම් වර්ග ?

උත්සව අවස්ථාවලට, විශේෂ අවස්ථාවලට ගැළපෙන විදිහට   සාරියකින් සැරසෙන්න ආසයි.ඊට අමතරව සල්වාරි,ගවුම්, ඩෙනිම්, ටී ෂර්ට් වලටත් කැමතියි.

විලාසිතා කිරීමේදී ඔබ යම් කෙනෙක් අනුකරණය කරනවා ද ?

නැහැ. නිළියක් විදිහටවත් පුංචි කාලයේදී වත් මම කෙනෙක්ව අනුකරණය කරන්න උත්සාහ ගත්තේ නැහැ.මොකද තව කෙනෙකු කරන විලාසිතාවක් මට ඒ විදිහටම ගැලපෙන්නෙ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට හින්දි සිනමාවේ දී දකින රූප රාමු අනුව සාරි ,සල්වාරි විලාසිතා ආසාවෙන් බලන් ඉන්නවා.අගය කරනවා. එහෙම බැලුවා කියලා කාලෙන් කාලෙට එන හැම විලාසිතාවක්ම කරන්න නම් මම පෙළඹුණේ නැහැ. අනිත් දේ තමයි අනවශ්‍ය විදිහට ඇඳුම් පැළඳුම් වලට වියදම් කරන පුරුද්දකුත් මට ඉස්සර ඉඳලම තිබුණේ නැහැ .පිලිවෙලට ,පිරිසිදුව, ගැලපෙන විදිහට,  අඳිනවා නම් එන එන විලාසිතා කරලා  අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට උත්සාහ ගැනීමට අවශ්‍ය වෙන්න නැති බවයි මගේ පෞද්ගලික හැඟීම නම් .

ඔබ කරන විලාසිතා අන් අය අනුකරණය කරන බව දන්නවාද?

ඔව්. මට මතකයි මගේ විවාහ මංගල උත්සවයේ දී සැරසුණ විදිහට ඒ විදිහටම ඔවුන්ගේ විවාහ උත්සවයේ දී අන්දන්න කියලා බොහෝ පිරිසක් මට අන්දපු කෙනාට ඇවිත් කියලා තිබුණා. ”ඕලු ඇන්දා වගේ චීත්ත ගවුමක් අඳින්න පුළුවන් නම් හොඳයි ”

කියලා සමහර ටෙලි නාට්‍ය කරන අය පවා අලුත්  නිළියන්ට කියන අවස්ථා  ,මට ඇහිලා  තියෙනවා .මොන ඇඳුමක් ඇන්දත් මට ආදරේ කරන පිරිස මා ළඟට ඇවිත්  අදටත් ඔයා හරිම ලස්සනයි මංජුලා ,හරි ම  ලස්සනයි ඕලු කියලා  කියනවා. ඒ වචන ගෞරවාන්විතව ඇහෙන කොට  මට ලොකු සතුටක් දැනෙනවා.

රඟපෑමක දී පවා විලාසිතා කිරීමේදී ඔබ සැලකිලිමත් වෙනවා ද ?

ඔව්. ගැලපෙන විදිහට විලාසිතා කරන්න බැරි චරිත බොහොමයක් මම ප්‍රතික්ෂේප කරලා තියෙනවා ….අදටත් චරිතයක් තෝරා ගැනීමේ දී මට ගැළපෙන විදිහට විලාසිතා කරන්න බැරි නම්  මම එවැනි රඟපෑමේ අවස්ථා  ප්‍රතික්ෂේප කරනවා .

වර්තමානයේ දී විලාසිතා කිරීමේ දී වෙනදාට වඩා සැලකිලිමත් වෙනවාද ?

මා අනුගමනය කරන ප්‍රතිපත්ති එක්ක ලොකුවට වෙනස් වීමක් අවශ්‍ය වුණේ නැහැ …නමුත් ආදරණීය බිරිඳක්, සෙනෙහෙබර මවක් විදිහට ස්වාමියාගේ ත් දරු දෙදෙනාගෙත්  අභිමානය ගෞරවය ආරක්ෂා වෙන විදිහට තමයි මම විලාසිතා කරන්නේ .එලෙස කිරීමෙන් ඔවුන්ගෙනුත් පෙරළා ගෞරවයක් ආදරයක් මට ලැබෙනවා.

ඔබට දැනුන විදිහට ඔබ වඩාත්ම ලස්සනට සැරසුණු දවස?

මගේ මංගල උත්සව දිනයේ දී සැරසුණු විදිහ  මට අදටත් සුන්දර මතකයක් .

ඕනෑම ඇඳුමක් ලස්සනට පේන්න ඇඟේ හැඩය බලපානවා නේද?

ඔව් .මහත් වෙන්නෙ නැති ඇඟක් මට තියෙන්නේ. ඒකත් වාසනාවක් කියලා මට නිතරම හිතෙනවා .ඒ නිසා ඇඟ  අඩු කර ගන්න කියලා ලොකු උත්සාහයක් නම් මම කරන්නේ නැහැ. පුරුද්දක් විදිහට නිරෝගි කම ආරක්ෂා කර ගන්න  පුංචි පුංචි ව්‍යායාම ටිකක් දිනපතා කරනවා.

විලාසිතාවක් කියන්නේ මොකක් විදියටද ඔබ දකින්නේ?

මම හිතන්නේ අප නොදැනුවත්වම අපට ගෞරවයක් ,අභිමානයක්, පිළිගැනීමක්, වටිනාකමක් ගොඩනඟා ගන්න  පුළුවන් අපූරු දෙයක් විදිහටයි මම විලාසිතා දකින්නේ .මා තෝරා බේරාගෙන කරන විලාසිතා වලිනුත්    මම  නොඅඩුව  ඒ දේවල් ලබනවා.

පුංචි කාලේ ඉඳලම විලාසිතා කරන්න කැමති වුණ  කෙනෙක් ද ඔබ?

ඔව් .ඉස්සර අම්මයි ,ආච්චි අම්මා යි මට ලස්සනට ඇඳුම් මහලා අන්දනවා. ඒ වගේම තේරෙන කාලේ ඉඳලම මටත් ලස්සනට, පිළිවෙලට අඳින්න ලොකු ආසාවක් තිබුණා .

විලාසිතා වලට ගැලපෙන විදිහට ආභරණ පලඳිනත් ඔබ කැමතිද?

ඔව් .ඉස්සර නම්  ගවුමේ පාටට කරාබු මාල පැළඳ වූ අවස්ථා තියෙනවා.  දැන් නම් වැඩ පුරම පළඳින්නේ සරලව සකසා ගත් රන් ආභරණ සහ දියමන්ති ආභරණ පමණයි. කාලෙත් එක්ක විලාසිතා කරන විදිහ වගේම  විලාසිතා කරන්න තියෙන කැමැත්තත් වෙනස් වෙනවා.

අසුන්තා එදිරිසූරිය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්