Aug
9

පොස්පේටි නිධියෙන් ගොඩ යමු !

 
693 Views
   
 

ශ්‍රී ලංකාව අන්කවරදාකටත් වඩා කාබනික පොහොර පිළිබඳ අවධානය යොමු කර තිබෙන සමයකි මේ. රටපුරාම ඒ පිළිබඳ ඉමහත් උද්‍යෝගයක් ඇතිවී තිබේ. මහාපරිමාණ පොහොර නිෂ්පාදනාගාරවල පටන් ගෙවත්තේ කොනක ඉතා කුඩාවට වැඩි දියුණු කළ කාබනික පොහොර ඉඩක් දක්වාම එය එසේමය. පරිසරයට අපද්‍රව්‍ය වශයෙන් එක්වන කුණුකසළ, කොළ රොඩුවල සිට ගස් යට වැටී ඉදී කුණුවෙන පලතුරු, එළවළු ඇසුරෙන් පමණක් නො වේ.

ගොවිතැනට හිසරදයක්වන ජපන් ජබර ආදී ආක්‍රමණික ශාක ඇසුරෙන් පවා සාරවත් කාබනික පොහොර සාදා ගන්නා අන්දම කෘෂිකර්ම නිලධාරිහු රටපුරා ගොවි ගෙවිලියන්ට කියා දෙමින් සිටිති.

ඒ කඩිනම් වැඩපිළිවෙළට මෙරටට අන් කවර රටකටත් වඩා වැඩිපුර උපයෝගි කරගත හැකි සම්පතකි, එප්පාවල පොස්පේට් නිධිය. මේ වනවිටත් ඒ කෙරෙහි අවධානය යොමුව තිබීම සාධනීය අංගයක් වශයෙන් විද්වත්හු පෙන්වා දෙති. එප්පාවල පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 50,000කින් පමණ වාර්ෂිකව මෙරට දිගුකාලීන වගා බිම් සරු කෙරේ. ඒ, තේ වතු සඳහා 55%ක්ද රබර් සඳහා 30%ක් සේම අනෙකුත් බෝග සඳහා 15%ක්ද ආදී වශයෙනි. මේ අනුව රජරට පිහිටි පොස්පේට් නිධියට හිමි කාර්යභාරය ඉතා විශාලය. ඒ වගකීම රට වෙනුවෙන් ඉටු කිරීම භාරව තිබෙන්නේ එප්පාවල පොස්පේට් රාජ්‍ය සමාගමටය. එහි අභිවෘද්ධිය මෙරට කාගේත් අපේක්ෂාවය. ඒ බවට සාක්ෂි දක්වමින් එප්පාවල පොස්පේට් රාජ්‍ය සමාගම ඉකුත් වර්ෂයේදී රුපියල් මිලියන 750ක අලෙවියක් වාර්තා කර තිබෙන්නේ 47%ක ප්‍රවර්ධනයක් පෙන්නුම් කරමිනි.

මෙරටට අවශ්‍ය කරන කාබනික හා ජීව පොහොර රට තුළම නිෂ්පාදනය කර ගැනීමේ කර්තව්‍ය එම රාජ්‍ය ආයතනය මඟින් ඉටු කෙරේ. එමඟින් පොස්පේට් පොහොර ආනයනයට පිටරටට ඇදී ගිය රුපියල් මිලියන 18,000 ක් පමණ රට තුළ ඉතිරි වේ.

කලක් තිස්සේ පොස්පේට් සම්පත බහුලව යොදා ගනු ලැබුවේ දිගුකාලීන බෝග වගාවන්ටය. එහෙත් මේ වන විට එයින් කෙටි කාලීන බෝග සරුකළ හැකි ආකාරය ද පර්යේෂණාත්මකව හෙළිකරගෙන තිබීම මෙරට ගොවිතැනට සුභාරංචියකි. සැබැවින්ම, පොස්පේට් නිධියෙන් කඩාගෙන කුඩු කර ගන්නා පොස්පේට් කෙළින්ම වගාවට යෙදිය නොහැකිය. රසායනික ක්‍රියාවලියකට ඒවා භාජනය කළ යුතු වේ. ඒ අනුව ද්‍රවශීලතාව වැඩිකරගැනීමෙන් පමණක් කෙටිකාලීන බෝගවලටත් සාර්ථකව දැන් පොස්පේට් භාවිත කළ හැකිව තිබේ.

ඒ කාටත් එප්පාවල පොස්පේට් සම්පතින් සෙත සැලසී තිබෙන ආකාරයයි. ඒ එකකි. පිදුරුවල ඇති අඩු පොස්පේට් ප්‍රමාණයට රොක් පොස්පේට් සහ ගොම ආදිය භාවිත කරමින් කදිම විකල්ප දැනටමත් කෘෂි පර්යේෂකයන් සොයාගෙන තිබේ. ඒ දැනුම රටපුරා බෙදාදෙමින් පවතී.
එසේම, ලෝකයේ වෙනත් පොස්පේට් නිධි සමඟ සසඳා බලන විට එප්පාවල පොස්පේට් නිධියේ අනභිභවනීය බව කැපී පෙනේ.

මේ වන විට ගණන්බලා ඇති ආකාරයට ඉදිරි වසර 50ක පමණ කාලය තුළදී ලෝකයේ වෙනත් බොහෝ රටවල් සතු එම නිධි ක්ෂය වනු ඇත. එපමණක් නො වේ. වෙනත් රටවල පොස්පේට් නිධි පිහිටා තිබෙන්නේ භූගතවය. මහපොළොවේ හෝ මුහුදු පතුලේ පිහිටි ඒවාට සමීප වීම පහසු නැ ත. එහෙත් එප්පාවල පොස්පේට් නිධිය එසේ නො වේ. එය පොළොව මතුපිට පිහිටා තිබෙන්නකි. අපේ දෙපා මුලටම සොබාදහම ගෙනැවිත් දී තිබෙන එයින් රටට වැඩ ගැනීම කඩිනම් විය යුත්තේ එහෙයිනි. පොහොර නිෂ්පාදනයට පමණක් නො වේ. වෛද්‍ය උපකරණ, සෙරමික් නිෂ්පාදන, සත්ත්ව ආහාර නිපදවීම ආදී බොහෝ කර්මාන්තවලට දැන් පොස්පේට් නැතිවම බැරි සම්පතකි. නො ප මා ව ඒ කෙරෙහි ද මෙරටට යොමු විය හැකි නම් අදට වඩා විදේශ විනිමය ඒ හරහා රටට ලැබෙනු නියතය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්