Feb
14

ගණිකාවක කියන චරිතය රඟපාන්න ජාත්‍යන්තරව ෆොටෝ මොඩල් කෙනෙක් ලෙස කටයුතු කර තිබීම ශක්තියක් වුණා

 
2536 Views
   
Having worked as an international photo model to play the role of a prostitute was a strength  

ජංගි හොරා චිත්‍රපටය නිසා බොහෝ දෙනෙක් සොයන තවත් ශිල්පිනියක ලෙස ඇයව නම් කරන්න පුළුවනි. මේ චිත්‍රපටයේ ඇතුළත් සමහර නිරුවත් දර්ශනවලට පෙනී සිටීම නිසා එලෙසින් ඇය ගැනත් සොයන බව කියන්න පුළුවනි. චිත්‍රපටයක දර්ශනයකට එහා ගිය ඇයගේ සැබෑ ජීවිතය මොන වගේද ඇය කවුද මොනවද කරන්නේ? මේ කතාබහ වෙතින් ඒ ගැන ඔබ වටහා ගනිවී. 

නම කියමු?

සම්පූර්ණ නම කිව්වොත් අසංකා හේමමාලි පෙරේරා. හැබැයි භාවිතා වෙන්නේ හේලි පෙරේරා කියලයි.

හේලි කියන්නේ?

හේලි කියන්නේ හිරුට.

ඒ කියන්නේ හිරු වගේ හේලි ආලෝකයක් දෙන කෙනෙක්?

හිරු නැත්නම් ලෝකයේ ජීවයක් නැහැනේ. ඉතින් ඒ අරුතට මම ආසයි. හිරු ආලෝකය දෙන උණුසුම දෙන ජීවයක්. මට ඕනෑ කරන්නේ ගමක නගරයක ඉන්න නිකම්ම නිකම් කාන්තාවක නොවී රටට ලෝකෙට යහපතක් වෙන විදියට කටයුතු කරන්නයි. ලෝකයට යහපත අවබෝධ කර දෙන්න උත්සාහ ගන්න කෙනෙක්.

හේලිගේ ගම?

මහනුවර

හේලි ගැන විස්තරයක් කරමු?

මුලින්ම ගියේ ගමේ ඉස්කෝලෙට. ඒ කාලයේදී ක්‍රීඩාවලට බොහොම දක්ෂයි. ඒ නිසා මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. පාසල් ජීවිතයේ අවසාන කාලයේදී ක්‍රීඩාවෙන් ඉදිරියට ගිය චරිතයක් වුණා. සා/පෙළ උසස් පෙළ සහ බාහිර උපාධිය දක්වා ඉගෙන ගත්තා. උපාධියට කළේ සමාජ විද්‍යාව සහ ජනසන්නිවේදනය. කලාවට සම්බන්ධ වුණේ අහම්බෙන් වගෙයි. පවුලේ විස්තර කිව්වොත් මට අක්කයි නංගියි ඉන්නවා. අම්මා තමයි අපේ ප්‍රධාන ශක්තිය. අපේ තාත්තා අපට අහිමි වුණේ 1989 භීෂණ සමයේදීයි. තාත්තා අතුරුදන් වෙලා. ඒ ආදරණීය තාත්තා නැති අඩුව පිරෙව්වේ අපේ මාමලා පස්දෙනා. අක්කායි, නංගියි මමයි ජීවිතයට ශක්තියක් ගත්තේ මාමලා දුන් පන්නරය රැකවරණය නිසයි. මම වෙනස් විදිහට හිතන කෙනෙක් වුණාට මගේ නංගි සහ අක්කා සාමාන්‍ය විදියට හිතන දෙන්නෙක්.

හේලිට ගෙදර අය කතා කරන්නේ කොහොමද?

මම උපදින කොට හරිම පොඩියිලු. ඒ නිසා මගේ ලොකු මාමා මට බට්ටි කියලා නමක් දාලා. පවුලේ ඥාතීන් හැමෝම මට කතා කරන්නේ ඒ නමින්.

පාසල් සමයේදී දක්ෂ ක්‍රීඩිකාවක් වූ හේලි පසුව නිරූපණයට ආවේ කොහොමද?

ඒක ඇත්තටම අහම්බයක්. 2010 විතර කාලයේදී හෑන්ඩ්ලූම් විලාසිතා නිර්මාණ එතරම්ම ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ. මධ්‍යම පළාතේ කර්මාන්ත අමාත්‍යංශය හරහා ඒවා ප්‍රචලිත කිරීමේදී නිරූපණයට මට අවස්ථාවක් ලැබුණා. මගේ මිතුරන් හරහා තමයි මට ඒ අවස්ථා ලැබුණේ. ඉතින් පසුව එක දිගටම කරගෙන යද්දී මගේ වෙනස් පෙනුම නිසා තව තවත් අවස්ථා ලැබුණා.

වෙනස් පෙනුම කිව්වේ?

මම කළු කෙල්ලෙක්නෙ. හරියට බ්ලැක් ඇමරිකන් පෙනුම තියෙන. නිරූපණ වේදිකාවේ ඉල්ලුමක් ලැබුණෙත් ඒ පෙනුම නිසාමයි. නිරූපිකාවකට තිබිය යුතු හැඩතල මට තිබීම ඊට හේතුවයි.

හේලි වෘත්තියෙන් අද මොනවද කරන්නේ?

කෝවිඩ් වසංගතයට පෙර වෘත්තීය නිරූපණ ශිල්පිනියක්. නිරූපණ විෂය ගැන හදාරලා, මගේම නිරූපණ පාසලක් පවා පවත්වාගෙන ගියා. ඒ හරහා නිරූපණ ක්ෂේත්‍ර්යට බිහි වූ පිරිස බොහෝමයි.

එතකොට හේලි රඟපාන්න ආවේ?

භවතරණ චිත්‍රපටයේ රූගත කිරීම් කළේ අපේ ගෙවල් අසල. ඊට පෙර උදයන්ති අක්කා නිසා මට ටෙලි නාට්‍යයක සුළු කොටසක් රඟපෑමට ලැබුනා.  උදයන්ති අක්කා භවතරනේ චරිතයක් රඟපාන අතරේ මගේ යාළුකමට ඇයව හමුවන්න ගියා. ඒ හිතවත්කම අපි අතර දිගටම පැවතුනා. ඒ අතරේදී කලා අධ්‍යක්ෂ නාරද අයියා නිසා සංජය නිර්මාල් මහතාගේ ස්වර චිත්‍රපටයේ චරිතයක් රඟපෑමට ලැබුණා. ඒ චිත්‍රපටයේ රඟපෑව අභියෝගාත්මක චරිතයක් කිව්වොත් හරි. මේ විදියට කාලය ගතවෙද්දී ආචාර්ය සෝමරත්න දිසානායක රේණුකා බාලසූරිය මහත්මිය හඳුනාගැනීමත් එක්ක මම සිරිපැරකුම් සරිගම වගේ චිත්‍රපට කීපයකටම දායක වුණා. ප්‍රසන්න ජයකොඩි මහතාගේ 28 චිත්‍රපටයේ මෘත ශරීරාගාරයේ මියගිය කාන්තාව ලෙස පෙනී සිටියෙත් මම.

ජංගි හොරා චිත්‍රපටයෙන් හේලි නිර්භයව නිරුවත් චරිතයකට පෙනී සිටිනවා. අපිට ඒ ගැන කියන්න.

ගණිකාවක කියන චරිතයක් රඟපාන්නේ. එම වෘත්තිය ගත්තොත් බුදුන්ගේ සමයේ සිට එන වෘත්තියක්. ඉතින් මේ චරිතය සහ ඒ ස්වභාවය තේරුම් අරගෙන චරිතයට දායක වූ බව කියන්න පුළුවනි. ජාත්‍යන්තරව ෆොටෝ මොඩල් කෙනෙක් ලෙස කටයුතු කර තිබීම නිසාත් මට මේ චරිතයට පෙනී සිටීමේ ශක්තිය ලැබූ බව කියන්න පුළුවනි.

හේලි ව වැඩිපුර දන්නේ ලාංකීය සමාජයට වඩා ජාත්‍යන්තරයද

වෘත්තිය නිරූපණ ශිල්පිනියක ලෙස මට වඩාත් තෘප්තිමත්ව කටයුතු කිරීමේ අපේක්ෂාව ලංකාවට වඩා ජාත්‍යන්තරව ලැබුණා.

ජංගි හොරා – හේලි රඟපාන චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මුලින්ම චකිතයක් නොතිබුනාම නොවෙයි. හැබැයි ජංගි හොරා සමස්ත කණ්ඩායමෙන් ලැබුණු උදව් නිසා මට එය සාමාන්‍ය චරිතයක් වගේ දැනුණේ. රේණුකා බාලසූරිය මහත්මිය දිල්හානි අක්කා ඇතුළු ඔක්කෝම මට දුන්නේ මාරම ශක්තියක්, සපෝට් එකක්. කොහොමටත් මම බොහොම හිත ශක්තිමත් කෙල්ලෙක්. වෙනදා මට මගේ පාසලේ යාළුවන්ගේ ඉඳලා අනෙක් මගේ හිතවත් හැමෝම නිරූපණ අවස්ථාවලදී හෝ වෙනත් අවස්ථාවකදී කොටට ඇන්දා නම් ඇයි කියලා ඇහුවා. මේ චිත්‍රපටයේ මම නිරුවත් වුණා කියලා එයාලා මගෙන් ප්‍රශ්න නොකළේ චිත්‍රපටයේ කතාවට මම උපරිම සාධාරණයක් කළ නිසා වෙන්නැතිය. මගේ යාළුවෝ වැඩි දෙනෙක් ගුරුවරු මේ කතාවට හේතු වූ මාතෘකාව ගැන එයාලට වැටහීමක් තිබීම ඊට හේතුවයි.

නිර්මාණයකදී මේ විදියට කාන්තාවක නිරුවත් වීම ගැන ඔබට දැනෙන හැඟෙන දේ මොකක්ද?

මේක වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්නේ. මේක බලන්නේ ඒ සීමාවේ අයයි. ඉතින් විවාහ වූ අයට අමුතුවෙන් නිරුවත ගැන කියන්න අවශ්‍ය නැහැනෙ. සැමියා-බිරිඳ ඉදිරියේ එහෙම වෙනවනෙ. තම විවාහක සැමියා ඉදිරියේ කාන්තාව නිරුවත් වෙනවා. එතකොට ඒක අමුත්තක් නෙවෙයි. එහෙම නම් චිත්‍රපටයක කතාව අනුව ඒ චිත්‍රපටයේ නිරුවත් දර්ශන අමුතු ඒවා වෙන්න බැහැ.

හේලි සැබෑ ජීවිතයේ කොහොම කෙනෙක්ද?

මට හිතෙන විදියට මම අහිංසක චරිතයක්. ඒ චරිතය ඇතුළේ මට නිර්මාණශීලි වෙන්න ඕනෑ. මේ වනවිට මම මගේම බතික් විලාසිතා ව්‍යාපාරයක් පවා සාර්ථකව කරගෙන යනවා. මගේ ප්‍රධාන ආදායම් මාර්ගය එයයි. පුද්ගලික ජීවිතය ගැන කිව්වොත් මම විවාහකයි. මගේ සැමියාගේ නම රන්දික අහංගම. එයා නිදහස් මාධ්‍යවේදියෙක් සහ ඡායාරූප ශිල්පියෙක්. අපි ඉතා ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන බව කියන්න පුළුවනි. අපි විවාහ වෙලා වසර පහක් වෙනවා. මගේ මහත්තයාගෙන් මගේ කටයුතුවලට ලැබෙන්නේ ලොකුම සහයෝගයක්.

මේ පිළිසඳර මුලදී හේලි අපට කිව්වනේ වෙනස් කෙනෙක් කියලා. මොන වගේ කෙනේද?

මම හරි ශක්තිමත් කාන්තාවක්. හයිය මනසක් තියෙන කාන්තාවක්.

ජංගි හොරා චිත්‍රපටය නරඹා ඔබ ගැන බාහිරව තීන්දු තීරණ ගන්න අයට මොනවගේ දෙයක්ද කියන්න තියෙන්නෙ?

මේක මගේ සැබෑ ජීවිතය නෙවෙයි. ඒ චිත්‍රපටයේ කතාව ගලායන විදියට මම ඒ චරිතය නිරූපණය කළා. ඒ චිත්‍රපටයේ චරිතයක් විදියට විතරක් මා දිහා බලන්න එවිට මිනිසුන්ගේ මනස නිරවුල් වේවි.

සඳුන් ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්