ප්‍රධාන හාල් මෝල් හිමියන්ගේ සංගමය සිය නිෂ්පාදනවල මිල ගණන් එළි දක්වා ඇත. ඒ අනුව නාඩු කිලෝවක මිල රුපියල් 115කි. කීරි සම්බා කිලෝවක මිල රුපියල් 165කි. රතු සහල් හා සුදු කැකුළුවලට මිලක් නියම කර නැත. සහල් සම්බන්ධයෙන් වූ මිල ගණන් වෙනස් වූයේ පාලන මිල ඉවත් කළ නිසාය. රජයට පාලන මිල ඉවත් කිරීමට සිදු වූයේ ප්‍රධාන හාල් මෝල් හිමියන් නිෂ්පාදන කටයුතුවලින් ඉවත් වීමට ගත් තීරණය නිසාය. ප්‍රධාන මෝල් හිමියන් නිෂ්පාදනයෙන් ඉවත් වුව හොත් සහල් වෙළෙඳපොළ හිස් වී බරපතළ අර්බුදයක් ගොඩනැඟෙන්නට ඉඩ තිබිණි. ප්‍රධාන මෝල් හිමියන්ගේ තර්කය වන්නේ පාලන මිලට සහල් අලෙවි කිරීමෙන් තමන්ට විශාල පාඩුවක් සිදු වන බව ය.
ආණ්ඩුවක වගකීම සංකීර්ණ වෙයි. ගොවියා, පාරිභෝගිකයා, වෙළෙඳ පොළ මෙන්ම නිෂ්පාදකයා ගැන ද බැලීමට බලධාරීන්ට සිදු වී ඇත. රටේ දෛනික සහල් අවශ්‍යතාව කිග්‍රෑ. ලක්ෂ හැට පහකි. මේ අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලින් සපුරා ගත හැකිය. එක සහල් ඇටයක් හෝ පිටරටින් ගෙන් විය යුතු නැතැයි යන කියමන බොරුවක් නොවේ. එහෙත් වී සහල් බවට පත් කිරීමේ සිට වෙළෙඳපොළට නිකුත් කරන තෙක් ක්‍රියාදාමයක් පවතී.
මේ ක්‍රියාදාමයේ වැඩි අයිතිය ඇත්තේ ප්‍රධාන මෝල් හිමියන් අතෙහිය. ඒ අනුව සහල් වෙළෙඳපොළ හැසිරවීමේ විශාල බලයක් ප්‍රධාන මෝල් හිමියන්ට පවතී. ඔවුන් එම බලයෙන් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට වෑයම් කරන බව පෙනෙයි.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඉහත සහල් මිල සම්බන්ධයෙන් රජයේ එකඟතාවක් නැති බව ප්‍රකාශ කර ඇති අතර පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර ගැනීමට රජය පසුබට නොවන බව ද දක්වා ඇත. මිල පාලනය ඉවත් කළ ද සහල් මෙ.ටො. ලක්ෂයක් ගෙන්වීමට රජය සූදානම් වෙයි. එහි ඉලක්කය වන්නේ සහල් වෙළෙඳපොළ තුළ තරගකාරී තත්ත්වයක් ඇති කොට මිල පහත දමා ගැනීම ය. එය සිදුවීමට නම්; සහල් ආනයනය කඩිනම් කළ යුතුය. මේ වන විට වෙළෙඳපොළ තුළ සහල් වර්ග කිහිපයක හිඟයක් ද පවතී. මේ හිඟය පුරවා ගත හැක්කේ සුළු මෝල් හිමියන් පණ ගැන්වීමෙන් යැයි කිව හැකිය. අප කව්රුත් දන්නා පරිදි සහල් මෝල් හිමියන් කිහිප දෙනෙක් මේ කර්මාන්තයෙන් අධික ලාභයක් ලබති. ඊට හේතුව වී ඇත්තේ වෙළෙඳපොළට සහල් සැපයීම පිළිබඳ ඒකාධිකාරයක් ඉහත කිහිප දෙනා පවත්වාගෙන යනු ලැබීමය. ඒකාධිකාරය බිඳ දැමීමට ගත් සෑම උත්සාහයක් ම පාහේ අසාර්ථක වී ඇත. රජය වී මිලට ගත්ත ද ඒවා කෙටි කාලයක් තුළ සහල් බවට පත් කොට වෙළෙඳපොළට නිකුත් කිරීමේ ශක්තිමත් ජාලයක් නැත. ඒ අනුව මෝල් හිමියන් මත යැපීමට රජයට සිදු වෙයි. ප්‍රධාන මෝල් හිමියන් මේ වන විට උපාය මාර්ගයක් ද භාවිත කර තිබේ. එනම්; සම්බා වී කිලෝවක් රුපියල් හැට දෙකකට මිලට ගන්නා බව ප්‍රසිද්ධ කිරීම ය. මේ අනුව ගොවියා ද ප්‍රධාන මෝල් හිමියන් දෙසට ඇදී යන්නට පුළුවන.
එක පැත්තකින් ගොවියා ආරක්ෂා කළ යුතුය. තව පැත්තකින් පාරිභෝගිකයාට සහන සැලසිය යුතුය. තව පැත්තකින් මෝල් හිමියා සමඟ එකඟතාවකට පැමිණිය යුතුය. මෙය දුෂ්කර කාරණයකි. ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වී කිලෝව රුපියල් පනහට හා පනස් පහට ගැනීමට රජය පියවර ගත්තේ ය. ඇතැම් විට පෞද්ගලික ගැනුම්කරුවා සමඟ තරගකාරී මිලකට වී මිලට ගැනීමට ද රජය ක්‍රියා කළේය. එය සාධනීය තත්ත්වයකි. ඊට පෙර වී කිලෝව රුපියල් තිස් දෙකකට ගත් බව අපට මතකය. වැඩි මිලට සහල් අලෙවි කිරීමෙන් ලැබෙන ලාභය ගොවියා අතර ද සමසේ බෙදී යන්නේ නම්; එය යුක්ති සහගත යැයි කිව හැකිය. එහෙත් සිදු වන්නේ ප්‍රධාන මෝල් හිමියන් අතර පමණක් ලාභය රැඳීම ය. අප දන්නා පරිදි මෙරට ප්‍රධාන මෝල් හිමියන් යනු රටේ සුපිරි ධනවතුන් ය. ඔවුන් වෙළෙඳපොළ කෙරෙහි අතිශය බලපෑමක් සිදු කරන අතර ඉන් ඔබ්බට ගොස් දේශපාලන වශයෙන් ආණ්ඩුවට බලපෑම් කරන තැනෙක ඇති බව පෙනී ගොස් තිබේ. ආණ්ඩුව ගනු ලබන බොහෝ ක්‍රියාමාර්ගවලට ඔවුහු විරුද්ධ වෙති. ඒ බව ප්‍රසිද්ධියේ කියා සිටිති. ඔවුන් බලය ප්‍රදර්ශනය කරන බවක් ද පෙනෙයි. මිල පාලනයට මුල සිටම විරුද්ධ වූ ප්‍රධාන මෝල් හිමියෝ මිල පාලනය ඉවත් කිරීම ගැන ආණ්ඩුවට කෘතඥතාව පළ කරති. එහෙත් ආණ්ඩුවේ මතය වී ඇත්තේ දැනට නියම කර ඇති මිල ගණන් යුක්ති සහගත නැති බව ය. එම මිල ගණන් පහත දැමිය යුතුය යන ස්ථාවරයේ රජය සිටී. ඉදිරියේ දී ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කළ හැකිය.