Feb
16

හම්බකරන දෙයින් සියයට දහයක් පිනට​ දෙන්න කියලා තාත්තා කිව්වා

 
1205 Views
   
Dad-asked-me-to-give-him-ten-percent-of-what-I-earned  

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නියමුවා ලෙස කටයුතු කළ ජිප්සීස් සුනිල් පෙරේරා නොහොත් අපි හැමෝම ආදරයට ඇමතූ සුනිල් අයියා යන්නම යන්න ගිහින් ටික දවසක් වෙනවා. ඒත් ඔහු තවමත් ජීවත් වන හැඟීම රසිකයින්ට දැනෙන්නෙ සුනිල් අයියා සමාජයට දැනෙන්න ජීවත් වූ චරිතයක් නිසයි. ගයාන් පෙරේරා යනු සුනිල් අයියාගේ බාල පුතුය. 

කාලයක් ඇමරිකාවේ ජීවත් වූ ගයාන් දැන් සිටින්නේ ලංකාවේය. මෙහි සිටින ගයාන් තාත්තාගේ අඩුව පිරවීමට ජිප්සීස් කණ්ඩායම සමඟ එකතු වේවිද? අපි බලමු ගයාන් අපට මොනවද කියන්නෙ කියලා?

ගයාන් ආයෙත් ඇමරිකාවට යන්නේ නැද්ද?

තාත්තා නැතිවුණාට පස්සේ තමයි මම ලංකාවට ආවේ. දැන් ඉතින් ගෙදර කට්ටිය බලා ගන්න ඕනෑ. ඒ නිසා වැඩි හරියක් ලංකාවේ ඉඳීවි.

ගයාන්ටද ඒ වගකීම පැවරුණේ?

වගකීමකට වඩා ඒක මගේ යුතුකම. අයියාගේත් සහයෝගය තියෙනවා. ඒ වගේම අක්කාගේත්, නංගිගේත් සහයෝගය ලැබෙනවා.

ඇමරිකාවේ සිටියදී, තාත්තා ගයාන්ට මොනවගේ දෙයක්ද කියලා තිබුණේ?

එහෙම අපි නිතරම කතා කළේ නැහැ. අවුරුදු හතරකින් මම තාත්තාව දැක්කෙත් නැහැ. මොකද අවුරුදු හතරක් එක දිගට මම ඇමරිකාවේ හිටියේ. කතා කළත් අපි හුඟ වෙලාවක් කතා කර කර හිටියේ නැහැ. විනාඩි දෙක – තුනක් කතා කරන්න ඇති. තාත්තා අසනීප වුණාම එක් වතාවක් මම තාත්තාට කතා කළා. දැන් බෑන්ඩ් එක ගැහුවා ඇති දැන් ටිකක් රෙස්ට් කරන්න කියලා මම කිව්වාම නෑ නෑ හොඳටම හොඳයි. සැප්තැම්බර්, ඔක්තෝබර් වෙද්දි බාරගත්ත ප්‍රසංගවලට සහභාගි වෙන්න පුළුවන් කියලා ඒ වෙලාවේ තාත්තා මට කිව්වා. එච්චර තමයි කිව්වේ. ඉතින් හොඳ වෙලා ගෙදරත් ආවනේ. අපි හිතුවේ හොඳටම හොඳයි කියලයි. ඉන් දවස් හතරකට පස්සේ තමයි තාත්තා නැති වුණේ.

සුනිල් අයියා නෑ කියනවාට වඩා ඉන්නවා වගේ හැඟීමක්නේ ප්‍රේක්ෂකයින්ට තවමත් තියෙන්නේ. ගයාන්ට කොහොමද ඒ අඩුව දැනෙන්නේ? විශේෂයෙන්ම ගයාන් ඇමරිකාවේ සිටියදී තාත්තා වැඩිපුර කතා කළේ මොනවද?

අයියා එක්ක වුණත් මා එක්ක වුණත් තාත්තා එහෙම නිතර කතා කළේ නැහැ. අම්මා එක්ක තමයි අපි වැඩියෙන් කිට්ටු. තාත්තාට මොනවාහරි කියන්න දෙයක් තිබුණා නම් අම්මා හරහා තමයි කිව්වේ. අත්‍යාවශ්‍ය දෙයකට විතරයි අපි තාත්තාට කතා කළේ. තාත්තා නැති අඩුව අපි හැමෝටම දැනෙන දෙයක්නේ.

තාත්තා ඔයාලව හැසිරුවේ මොන විදියටද? මොන වගේ දේ ගැනද ඔයාලා එක්ක කතා කළේ?

අපි හම්බ කළ යුතු විදිය ගැන කතා කරනවාට වඩා ලැබෙන දේ පුණ්‍යාධාර නැත්නම් සමාජ සේවයට දෙන විදිය ගැන තමයි කිව්වේ. හම්බ කරන මුදලින් සියයට දහයක් වගේ කොටසක් ආධාර වශයෙන් දෙන්න. ඒක ජීවිතයේ ඉදිරියට යෑමට පිනක් වේවි කියලා කිව්වා. ඒ පින ගැන තමයි නිතර කිව්වේ. මිනිස්සුන්ට උදවු කරන්න ඕනෑ කියන දේ නිතර මෙනෙහි කර දුන්නා.

තාත්තාගේ අරමුණ වුණේ දරුවන් මොනවගේ තනතුරු පදවි ලබනවටද?

ඒවා ගැන අපේ ගෙදර කතා නොකළ තරම්. අපි කැමති අංශ වලින් ඉදිරියට යන්න අපට නිදහස දීලා තිබුණා. අයියා ව්‍යාපාර පැත්ත තෝරා ගත්තා. අක්කා විවාහ වෙනකම්ම නර්තනය කළා. නංගි ඩිසයිනර් කෙනෙක්. මම සංගීතයට ආවා. සංගීතය තෝරා ගත්තේ තාත්තා නිසාවත්, ජිප්සීස් නිසාවත් කියලා කියනවාට වඩා බීට්ල්ස් සංගීත කණ්ඩායම නිසා කිව්වොත් හරි. බීට්ල්ස්ලාගේ සංගීතයට මම වහ වැටුණු කෙනෙක්. සංගීතයට හිත ගියේ ඒ නිසයි.

තාත්තාගේ ගීත වලින් ගයාන් වැඩිපුර ආසා කළේ?

මුල් කාලයේදී තාත්තා ගැයූ ගීත වලට. ඒ අතරින් ළිඳ ළඟ සංගමය, අම්මා – අම්මා මේ මට, දැන – දැන වැරදි කරනවා, ඒවගේ ජිප්සීස් මුල් කාලයේ ගැයූ ගීතවලට ආසයි.

ගයාන්ගේ ප්‍රියතම ලාංකීය ගායකයා කවුද?

බොහෝ දෙනෙක් ඉන්නවා. රූකාන්ත, මිල්ටන් මල්ලවාරච්චි, ජෝතිපාල සහ අලුත් අයගෙන් භාතිය – සන්තුෂ්, ඉරාජ්, චරිත අතලගේ ඇතුළු අයගේ ගීතවලට ආසයි.

ගයාන් විශේෂයෙන්ම ලංකාවට ආවේ ජිප්සීස් අඩුව පුරවන්නද?

නෑ – නෑ – නෑ මම ජිප්සීස් කණ්ඩායමට සම්බන්ධ වෙන්න නෙවෙයි ආවේ. පියල් බාප්පා ජිප්සීස් කණ්ඩායම කරගෙන යනවා. මම මගේ සංගීත කටයුතු නැවත පටන් ගැනීමක් තමයි කරන්නේ. ඒ අතරේ ජිප්සීස් කණ්ඩායමේ කළමනාකාරීත්වය පැත්තට විතරක් සම්බන්ධ වේවි. මගේ ගායන වැඩ කටයුතු සහ සංගීත කටයුතු කරගෙන යාමේ බලාපොරොත්තුවයි. ඉදිරියේදී මම රචනා කරන සහ ගයන ගීත මගේ නමින්මයි එන්නේ. බෑන්ඩ් එකක් විදියට නෙවෙයි. මේ වන විටත් පටන් අරගෙන ඉවරයි. චරිත අතලගේ එක්ක නිර්මාණය කළ හිතන තරම් ගීතය තමයි මෑතකදී රිලීස් කළේ.

එතකොට ඩැඩී සංගීත කණ්ඩායම?

ඒක තියෙනවා. ඒත් මම දැන් ඒකේ සාමාජිකයෙක් නෙවෙයි.

ගයාන්ට තියෙන ඉල්ලුම කොහොමද?  තාත්තාගේ සිංදු කියන්නද කියන්නේ. නැත්නම් ප්‍රසංග වේදිකාවේදී මොන වගේ ඉල්ලීමද තියෙන්නේ?

ප්‍රසංග වලින් නම් අඩුවක් නැහැ. අවුරුදු අටකට පස්සේ ඇවිත් මේ විදියට දිගටම වැලනොකැඩී ආරාධනා ලැබීම ගැන සතුටු වෙනවා. හැබැයි ලැබෙන සෑම ප්‍රසංගයක්ම මම බාර ගන්නෙත් නැහැ. කරන දේ පිළිවෙලක් ඇතිව කරන්න තමයි මම කැමති. ඒ නිසා ලැබෙන ඒවාගෙන් තෝරා බේරාගෙන දායක වෙනවා. මාර්තුවලින් පසුව මගේම ප්‍රසංගයක් එක්ක ප්‍රසංග වේදිකාවට එන්න සැලසුම් කරලා තියෙන්නේ.

ගයාන් ඒ කාලයේදී තාත්තා එක්ක එකතු වුණාම වැඩිපුර කතා කළේ මොන වගේ මාතෘකා ගැනද?

මම හිතන්නේ අපි වැඩිපුරම කතා කළේ දේශපාලන මාතෘකා.

එතැනදී අදහස් වලින් ගැටුණු අවස්ථා තියෙනවද?

සමහර තැන්වලදී විරුද්ධ සහ ප්‍රතිවිරුද්ධ මත තිබුණා.

සුනිල් පෙරේරා කියන චරිතය ඔබ දකින්නේ කොහොමද?

විවෘතව කතා කළ චරිතයක්. මනුෂ්‍යත්වය පිරී තිබුණු කෙනෙක්. කවදාවත් කාටවත් වංචාවක් කරලා නැහැ. ප්‍රතිපත්ති අනුව ජීවත් වූ මනුස්සයෙක්. මම ඒකට සෑහෙන්න ගරු කරනවා. එළියට එක විදිහක් ගෙදරට එක විදිහක් විදියට හිටියේ නැහැ. එකම විදියට හිටපු කෙනෙක්. චරිත දෙකේ කෙනෙක් නෙවෙයි. එකම අව්‍යාජ චරිතයක්. ආඩම්බරයි ඒ ගැන. තාත්තාගේ සමහර දේශපාලන මත එක්ක මම එකඟ වුණේ නැහැ. ඒක කොහොමටත් ස්වභාවයනේ.

ගයාන්ට දේශපාලනය කරන්න හිතිලා නැද්ද?

එහෙම හිතිලා නැහැ. පොලිටික්ස් කියන්නේ ලංකාවේ හරියට පිරිහිච්ච අංශයක්. අපේ රට කොච්චර ලස්සන රටක්ද, ඒත් පොලිටික්ස් නිසා තමයි පිරිහිලා තියෙන්නේ. අපේ රටට තියෙන සම්පත් දිහා බැලුවාම ලෝකයේ වෙනත් රටකට ඒ තරම් සම්පත් නැති තරම්. නමුත් සම්පත් අඩු රටවල් දියුණු වුණේ නිවැරදි නායකත්වය නිසයි. අපේ රට වැරදි නායකත්වය සහ දූෂිත දේශපාලනය නිසා රටත් ආගාධයට ගිහින්. ඒ දූෂිත දේශපාලකයින් මොන දේ කළත් මිනිස්සු ඔළුව නවාගෙන ජොලියේ ඉන්න හදනවා. මහා ලොකුවට හීන මවන්න තරම් පරිසරයක් මෙහේ නැහැ.

කාලයක් ඇමරිකාවේ හිටපු ගයාන්ට ලංකාවේ දැන් ගෙවන ජීවිතය හොඳයි ද?

කොහොමටවත් මම ඇමරිකාවේ හිටියේ අවුරුදු අටයිනේ. ඇමරිකාව වුණත් අංගසම්පූර්ණ රටක් නෙවෙයිනේ. අංගසම්පූර්ණ රටවල් ලොකේ කොහේවත් නැහැනේ. මෙහේ වගේම එහෙත් හොඳ දේ නරක දේ තියෙනවා. නමුත් ඇමරිකාව කියන්නේ දියුණු රටක්. ඒත් මට ලංකාව තරම් ලෝකයේ වෙන කොහේවත් සෙට් වෙන්නේ නැහැ.

විවාහ වෙන්න ඉන්නේ ගයාන් විතරද? අනෙක් සහෝදර සහෝදරියන් විවාහ වෙලා නේද?

අක්කයි, අයියයි විවාහ වෙලා. නංගියි මමයි තමයි විවාහ වෙලා නැත්තේ. මම පෙම්වතෙක්. ඇය සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ රැකියාව කරන්නේ.

ගයාන්ට දැනෙන විදියට ගයාන් මොනවගේ කෙනෙක්ද?

මම හරි සරලයි. සරල පුද්ගලයෙක් කිසිම දෙයක් ගැන මහා ලොකුවට සංකීර්ණව හිතන්න යන්නේ නැහැ. සංස්කෘතිය සම්ප්‍රදාය මහා ලොකුවට බදාගෙනත් නැහැ.

හොඳ නරක හඳුනාගෙන මිත්‍යාවෙන් තොරව ජීවත්වෙන කෙනෙක්. අපේ තාත්තා හිතපු විදියට තමයි අපි ඔක්කොම හිතන්නේ. විච්චූර්ණ ලයිෆ් ස්ටයිල් එකක් නැහැ.

තාත්තා නැති අඩුව දැනෙන්නේ කොහොමද?

ඒක ලොකුවට දැනෙනවා. එයා ඉන්නකොට ගෙදර ශක්තිමත්. ගෙදරම පිරිලා. අපේ අම්මා නංගී එහෙම තවමත් පසුතැවිල්ලෙන් ඉන්නේ. නමුත් කාලය එක්ක ඒවා හරියාවි. මාත් ලංකාවේ ඉන්නේ එයාලගේ මානසික මට්ටම හොඳ අතට හැරෙනකල්. නැත්නම් තාත්තා නැති අඩුව එයාලට තවත් දැනේවි.

සඳුන් ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්