May
8

පන්සිය වතාවක් මනමාලිට ඇන්දා, මගේ පෙම්වතා මම වෙනුවෙන්ම චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කළා – දිල්හානි

 
3630 Views
   
 

දිල්හානි ගැන පුංචි තිරය හරහා මේ දිනවල කතාබහකට ලක්වෙලා තියෙනවා.

ඔව්, ඇත්තටම ජාතික රූපවාහිනියෙ විකාශය වන ‘සකල ගුරු’ ටෙලි නිර්මාණයේ ‘පුෂ්පා’ නිසා තමයි මගේ ගැන කතාබහ වෙන්නෙ. ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. බොහෝ දෙනෙක් මේ කතාව එක්ක එකතුවෙලා ඉන්නවා කියලා තේරෙනවා ලැබෙන ප්‍රතිචාර එක්ක.

ඉතින් කවුද මේ පුෂ්පා? 

පුෂ්පා කියන්නෙ අහිංසක ගැමි චරිතයක්. මෙහි සකල ගුරු කියන්නෙ ගුරුන්නාන්සේ. එය තමයි ප්‍රධාන චරිතය. ඒ හරහා සම්බන්ධ වන චරිත අපි. ඉතින් ඒ ගුරුන්නාන්සේගෙ බිරිඳගෙ සහෝදරිය තමයි මම. ඇය ගැනත් කතාව ගැනත් වැඩි විස්තර මම කියනවට වඩා සතියෙ දවස්වල සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා විකාශය වන මේ සකල ගුරු බැලුවොත් දැක බලා ගන්න පුළුවන්.

මේ වෙනුවෙන් දිල්හානිව සම්බන්ධ කරගන්නෙ කවුද? 

මීට පෙර මම ටෙලි නිර්මාණ කිහිපයකට දායක වෙලා තියෙනවා. අහස් මාලිගා, හුස්මක් තරමට, සුසුමක ඉම ආදී නිර්මාණවලට. නමුත් ප්‍රධාන චරිතයක් ඔස්සේ පුංචි තිරයට සම්බන්ධ වුණු ප්‍රථම වතාව තමයි මේ. සකල ගුරු නිර්මාණයේ සහය අධ්‍යක්ෂකවරයා ඉන්ද්‍රජිත් මහත්මයා තමයි මාව මේ වෙනුවෙන් යෝජනා කරන්නෙ.

මෙහි අධ්‍යක්ෂකවරයා වන ප්‍රවීන අධ්‍යක්ෂකවරයෙක් වන ටිකිරි රත්නායක මහත්මයාට මාව යොමු කරන්නෙ ඔහු. ඉතින් මුලදි මම ටිකක් බය වුණා එවැනි ප්‍රවීන අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩ කරන්න. නමුත් වැඩ කටයුතු කරගෙන යද්දි ඒ දේ නැතිවුණා. ගොඩක් දේවල් රංගනය පිළිබඳ ඉගෙන ගත්තා. ලොකු අත්දැකීමක් ලබාගන්න හැකිවුණා. රංගන ජීවිතයට.

ඒ වගේම එහි රංගනයේ යෙදෙන රංගන ශිල්පීන් විශේෂයෙන් මතක් කරන්න ඕනෑ ගිරිරාජ් කෞශල්‍ය, මිහිර සිරිතිලක, නෙතලි නානායක්කාර, චින්තක පීරිස්, චමිලා පීරිස් වැනි ප්‍රවීන රංගන ශිල්පී ශිල්පිනියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හැමෝගෙම සහයෝගයත් එක්ක මට මගෙ චරිතය කරගන්න ගොඩක් පහසු වුණා.

ඒ ප්‍රවීණයන් එක්ක රංගනයෙ යෙදෙද්දි මම නවකයෙක් විදියට මට හිතුනෙ නැති තරම් හරි පහසුවෙන් වැඩ කරගෙන ගියා. ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් යටතේ ප්‍රවීන රංගණ ශිල්පීන් එක්ක රඟපාන්න ලැබීමත් වාසනාවක්. ඒ අවස්ථාව හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයිනෙ. ඉතින් මේ අවස්ථාව මගෙ ජීවිතේට ලොකු අත්දැකීමක් වගේම ජීවිතේ ලොකු කඩඉමක්.

දිල්හානි කොහොමද මේ ක්ෂේත්‍රයට එන්නෙ. 

2014 ජාතික රූපවාහිනියෙ අවුරුදු කුමාරි තරගයෙන් ජයග්‍රහණය ලබන්න හැකිවුණා. ඒ හරහා තමයි මට ක්ෂේත්‍රයේ දේවල්වලට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණෙ. ඉතින් මට මීට පෙර විවිධ වැඩකටයුතුවලට ආරාධනා ලැබුණත් අධ්‍යාපන වැඩ කටයුතු නිසා සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණෙ නැහැ. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවෙ නර්ථන පිළිබඳ උපාධිය කළේ. ඉතින් වෙළෙඳ දැන්වීම් කිහිපයකට ඇරෙන්න වෙනත් වැඩවලට සම්බන්ධ වෙන්න ලැබුණෙ නැහැ විභාග කටයුතුත් එක්ක. මේ වෙද්දි අධ්‍යාපන කටයුතු අවසන්. ඉන්පසුව තමයි සකල ගුරු නාට්‍යය එක්ක එකතුවුණේ.

දිල්හානිට සිනමාවටත් සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණා නේද? 

ඔව්, මේ වෙද්දි චිත්‍රපට 4 කට පමණ සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. රජා මමයි චිත්‍රපටය 2018 වසරෙ තිරගත වුණා. එහි ප්‍රධාන චරිතයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඊට අමතරව රූකඩ පැංචි, සාරි ගප්පි චිත්‍රපට තිරගත වෙන්න නියමිතව තියෙනවා. ඉදිරියෙදි දැක බලාගන්න හැකි වෙයි.

රංගන ශිල්පිනියක් වෙන්නද හීන දැක්කෙ? 

ඔව්, පොඩි කාලෙ ඉඳන් රංගන ශිල්පිනියක් වෙන්න තමයි බලාපොරොත්තු වුණේ. ඒ කාලෙ රූපවාහිනිය නරඹද්දි වුණත් හිතුණා මටත් මෙහෙම සම්බන්ධ වෙනන් තිබුණා නම් කියලා. නමුත් අවස්ථාව ගන්න අමාරුයිනෙ. මොකද මගෙ ගම අනුරාධපුරේ. අනුරාධපුරේ ඉඳලා කොළඹ ඇවිල්ලා ඒ තැනට යනවා කියන්නෙ ලොකු දුෂ්කර ගමනක්. නමුත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පසුව ටිකින් ටික මට ඒ තැනට ළංවෙන්න හැකිවුණා. සමහර අවස්ථාවල කැපිලි කෙටිලි තිබුණා. අවස්ථාව නොලැබුණු තැන් තිබුණා. නමුත් ඒ හැමදේම ජයගෙන ඉදිරියට එන්න මට වාසනාව ලැබුණා.

රංගනය පිළිබඳ පාසලේ තිබුණු අත්දැකීම් කොහොමද? 

පාසල් වේදිකාවෙන් තමයි මම රංගනය කියන දේ ඉගෙන ගත්තෙ. පාසලේ පැවැත්වුණු සියලුම ප්‍රසංග ආදී වැඩසටහන්වලට මම සම්බන්ධ වුණා. මගේ පාසල වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය. එහි විදුහල්පති ඇතුළු සියලුම ගුරු මණ්ඩලය ආදරෙන් මතක් කරන්න ඕන. ඒ වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සියලුම ගුරු භවතුන් වගේම මගෙ සහෝදර කැල. ඒ හැමෝගෙම සහයෝගය නිසා තමයි මෙතැන ඉන්නෙ.

නර්තනයට හොඳ හැකියාවක් තියෙනවා කිව්වා නේද? 

ඔව්. මම උපාධිය ලබාගත්තෙත් නර්තනයෙන්. උඩරට පහත රට ආදී විවිධ නැටුම් සම්ප්‍රදායන් හදාරලා තියෙනවා. නර්තනය රංගනය දෙකම කලාවට සම්බන්ධ නිසා මේ අංශ දෙකෙන්ම ඉදිරියට යන්න බලාපොරොත්තුව තියෙන්නෙ. නර්තන ගුරුවරියක් වෙලා උගන්වන ගමන් ඒ අතරතුර රංගන කටයුතු කරගෙන යන්න තමයි අරමුණ.

ගැහැණු ළමයෙක්ට මේ ක්ෂේත්‍රය තෝරා ගැනීමේදී ගෙවල්වලින් තහංචි තියෙනවනෙ. දිල්හානිට තහංචි නැද්ද? 

මුලදි තාත්තා කැමැති වුණේ නැහැ. මොකද කොළඹ ඇවිල්ලා තනියෙන් රූගත කිරීම්වලට එහෙම යන්න අමාරුයිනෙ. ඒ වගේ තැන්වලදි මට උදව් කළේ මගේ පෙම්වතා.

ඔහුගෙන් ත’ හංචි තිබුණෙ නැද්ද 

අනේ නැහැ. ඔහු තමයි මට මේ ක්ෂේත්‍රයට යන්න ගොඩක් උදව් කළේ. ඔහු නිෂ්පාදකවරයෙක්. ඔහු මම වෙනුවෙන්ම චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කළා. මුලදි ගෙදරින් අකමැති වුණත් පසුව රංගනයට සම්බන්ධ වෙනවට කැමැත්ත ලැබුණා. ඉතින් අද මම රංගන ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නෙ මගේ පෙම්වතා මට උදව් කරපු නිසා. ඔහුව විශේෂයෙන් මතක් කරන්න ඕනෑ.

දිල්හානි නිරූපන ශිල්පිනියක් විදියට මේ වෙද්දි කී වතාවක් මනමාලියක් වෙලා තියෙනවද? 

අවස්ථා 500 ක වගේ මනාලියන්ට ඇදලා තියෙනවා.

ඇත්තටම මනමාලියක් වෙන්නෙ කවදද? 

ඇත්තටම මනමාලියක් වෙන්න ලබන වසරෙ තමයි.

දිල්හානිගෙ හීනය වුණේ රංගන ශිල්පිනියක් වීමනෙ. අද වෙද්දි ඒ හීනය සැබෑ වෙලා තියෙනවා. අද ලබන ප්‍රතිචාරයක් එක්ක මොකද හිතෙන්නෙ. 

ඇත්තටම මේ ආපු ගමන ගොඩක් දුෂ්ක’ රයි. ඉතින් ආපස්සට හැරිලා බලද්දි ආපු ගමන ගැන නිහතමානී සතුටක් තියෙනවා. ඉතින් මේ ලබන ප්‍රතිචාර එක්ක හොඳ නිර්මාණවලින් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ව පිනවන්න තමයි එකම බලාපොරොත්තුව ඉතින් මේ හැමදේටම සහයෝගයක් දක්වපු මගේ අම්මා තාත්තා නංගිලා දෙන්නා සහ මගේ පෙම්වතාවත් මට අත දුන්නු හැමෝමවත් ආදරෙන් සිහිපත් කරන්න කැමතියි.

ධනු විජේරත්න

Courtesy – Saaravita 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්