Mar
20

රාජගිරියෙන් මතුවෙච්ච උන්මාද චිත්‍රාට මම ආදරේ කළා

 
739 Views
   
I fell in love with the maniacal Chitra that emerged from Rajagiriya  

පවුලකට මුලින්ම උපදින දරුවා පිළබඳ අප සමාජයේ නිරන්තර කතාබහට ලක්වෙන මත දෙකකි. එකක් ගැහැනු දරුවකු මුලින්ම ඉපදීම පවුලට වාසනාව රැගෙන එන බවය. ඇය පවුලේ වගකීම් දරන්නට මවට පියාට සහාය වීම බොහෝවිට පවුලේ අයගේ බලාපොරොත්තුවයි. අනික් මතය නම් පවුලේ පළමු දරුවා පිරිමි දරුවකු වීමය. ශක්තිමත් පවුලක් නම් පිරිමින් වැඩි පවුලක්ය යන්න ආසියාතික කෘෂිකාර්මික ජන සමාජයේ මතයයි. එමෙන්ම පවුලේ දේපල බෙදී යාමේදිද පිරිමින් වැඩිවීමේදී පවුලට යම් ශක්තියකි. එමෙන්ම මුලින් දියණියක් ඉපිද යළි ලබන දෙවැනි දරුවාද ගැහැනු දරුවකු වේ යැයි යම් ආකාරයක තිගැස්මක් පවුල තුළ ඇතිවීම මුලින් පිරිමි දරුවකු ඉපදීමෙන් නැතිව යයි. කෙසේ වුවද මේ මතයන් අතරින් කුමකට හෝ ධනාත්මකව මුහුණදීමට ඕනෑම පවුලකට සිදුවීම වාසනාවකි.

1950 දශකයේ අග භාගයේ රාගම ප්‍රදේශයේ වාසය කළ ගුරු මවක වූ කරලැයින් සොයිසා මාතාවද තම පළමු දරුවා ගැහැනු දරුවකු වෙතැයි අපේක්ෂා කළාය. තම ආදරණීය මව වූ ජුලියානා ප්‍රනාන්දු තම බාල සහෝදර සහෝදරියන් ඉතා කුඩා වියේදීම අභාවප්‍රාප්ත වීමත් අයියා සහ අක්කා සිටියදී වුවත් තමන් රජයේ රැකියාවක නිරතවීම නිසා පවුලේ සියලු බර කර මත දරාගත් වගත් ඇයගේ සිහියේ තියෙන්නට ඇත. මුලින් ගැහැනු දරුවකු ලැබුණොත් ශාන්තිනී කියා නම් තබන්නට ඇය සිතා සිටියාය. එකල අද මෙන් ඉපදෙන්නට පෙර දරුවා ගැහැනුද පිරිමිද කියා තහවුරු කර ගන්නට ස්කෑන් පරීක්ෂණ නොවීය. ගැහැනු දරුවකු අපේක්ෂාවෙන් සිටියද ලැබුණේ පිරිමි දරුවෙකි. දුවක වුවද පුතකු වුවද දරුවා මවට ප්‍රිය දසුනක් වූ බැවින් ප්‍රියදර්ශන යැයි නම් තබන්නට සිතුවද වැඩිමහලු වයසේදී යහළු මිත්‍රාදීන් ප්‍රියා… ප්‍රියා.. යැයි අමතනු ලැබුවහොත් පුත්‍රයාට අපහසුවක් වේ යැයිද සිතූ කරලැයින් මාතාව තම සිරියාවන්ත කුළුඳුල් පුත්‍ර රත්නයට ශ්‍රියන්ත යැයි නම් තැබුවාය.

වර්තමාන ශ්‍රී ලාංකික වේදිකාව, ටෙලි තිරය මෙන්ම සිනමා තිරය තුළත් තම අප්‍රමාණ රංග ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂක සිත් සතන්හි නොමැකෙන මුද්‍රාවක් බඳු වූ ජූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස් නම් ප්‍රවීණ රංගධරයා අපට කියන ඔහුගේ කතාව අද හදසර My story තුළින් කියවන්නටයි, මේ සූදානම.

”මගේ පියා හිද්දාදුර ලාසරස් මෙන්ඩිස්. එතුමා වරාය කමිෂන් සභාවේ විධායක නිලධාරියෙක්. මව ගුරුතුමියක්. රජයේ රුකියාවල නියුතු මධ්‍යම පාන්තික පවුලක්. මම තමයි වැඩිමලා. මල්ලි සහ නංගි දෙදෙනාගෙන් මල්ලි කලාවට සම්බන්ධයි. ඔහු අජිත් මෙන්ඩිස්. මට වඩා වසර දෙකක් බාලයි. දක්ෂ වේදිකා හා ටෙලිනාට්‍ය පිටපත් රචකයෙක්. මම කරපු සියලු නාට්‍ය ලිව්වේ ඔහු. 1989 දී මම නිර්මාණය කළ ”පැන්ස දෙකේ හංසයා”, 2000 දී කළ ”පාදඩ අසපුව”, 2012 දී කළ ගැබ්බර මිනිසා, දහම් තුරක වත, සාමයේ තාරකාවිය වැනි සියලු නාට්‍ය පිටපත් රචකයා ඔහු. මට වසර 04කින් බාල නැගණියක් සිටිනවා. ඇය නම් විවාහවෙලා. දරුමල්ලොත් විවාහවෙලා. ගෘහණියක් ලෙස නිවසේ රුඳෙනවා. අපි ඉතා ආදරණීය පවුලක්. ඒ වගේම අපේ ගමේ එකල හිටිය එකම ගුරුවරිය අපේ අම්මා. ගමේ ගුරු ගෙදර තමා අපේ ගෙදර. මගේ පියා හොඳ රසවතෙක්. ඉතා දක්ෂ ගායකයෙක්. දස බලධාරී ආදී බැති ගීත, පරම රමණී අපේ ආලේ, පෙර දිනයක මා පෙම් කළ යුවතිය ආදී ගීත ඔහු ඉතා අපූරුවට ගායනා කරනවා මට හොඳින්ම මතකයි. ඒ වගේම තමයි ඔහු සෑම මසකම 25 වැනිදා අපි තුන්දෙනාව රැගෙන යන විශේෂ ගමනක් තිබුණා. රාගම නිව් ජෙම් සිනමා ශාලාවට තමයි ඒ ගමන. දැන්නම් ඒක නැහැ. 25 තමයි රජයේ සේවකයන්ගේ පඩි දවස. සිංහල, ඉංග්‍රීසි, දමිළ, පවුලේ සියලු දෙනාට නැරඹිය හැකි ඕනෑම චිත්‍රපටයක් අපට එදාට බලන්න ලැබෙනවා. ඒ දවස එනකල් අපි හරිම ආසාවෙන් හිටියේ.” ඔහු තම සුන්දර ළමා වියේ මතකයන් අවදි කළේ එලෙසිනි.

ඇළේ දොළේ ගමේ ගොඩේ යහළු යෙහෙළියන් හා ගත කළ ඒ සොඳුරු වියද පියා සහ මව ඇසුරේ ලද රසවත් අත්දැකීම්ද ඔස්සේ තමන්ද මෙවන් රසකාමී හදක් ඇති කලාකරුවකු බවට පත්වූ වග ඔහු පවසයි. ”ගුවන්විදුලිය තමයි අතීතයේ අපට තිබූ වටිනාම කලාගාරය වුණේ. අපේ කාලසටහන තුළ ගුවන්විදුලිය වෙනුවෙන් කාලපරිච්ඡේද තුනක් තිබුණා ශ්‍රවණය කරන්නට නියම වුණු. එක මුවන්පැලැස්ස, දෙක විනෝද සමය, තුන ගුවන්විදුලි ප්‍රවෘත්ති ඇසීම. මේ සියල්ලත් බුද්ධිමතුන් ඇසුරත්, නාට්‍ය නැරඹීමත් යනාදිය මගේ මේ ගමනට දැවැන්ත සවියක් වුණා.

ශ්‍රීයන්ත පාසල් ගියේ කඳාන ද. මැසිනඩ් විද්‍යාලයටය. පාසල් ක්‍රීඩා කටයුතු සඳහා සහභාගි වුවද ඔහු කලා කටයුතුවලට සහභාගි නොවූ තරම්ය. එහෙත් හැඩට වැඩට සිටි ජේත්තුවට හැඳ පැළඳි ඔහු ”නළුවා” ලෙස යහළුවන් අතර ප්‍රචලිතය. පාසලේදී දිනක් ඔහුට ”සුබ සහ යස” වේදිකා නාට්‍ය දකින්නට ලැබිණ. සයිමන් නවගත්තේගම විසින් එහිදී ප්‍රකට කළ රංගන හැකියාව දුටු ඔහුට රංගනය කෙරෙහි මහත් ආකර්ෂණයක් ඇතිවිය.

”මේ ආකර්ෂණයත් එක්ක මට ආසාවක් ඇතිවුණා ”සුබ සහ යස” නාට්‍යයේ රඟපාන්න. හැබැයි මට දැනෙනවා එය අධ්‍යාපනික බව, ඉගෙන ගත යුතු බව. ඉතින් පසුකාලෙදි මම ගියා ඔහුව හමුවෙන්න. ඒත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ආයෙ ගියා. ඒත් නැහැ. හැබැයි මම උත්සාහ අතහැරියේ නැහැ. පසුකාලෙදි සයිමන් නවගත්තේගම ”සුදු සහ කළු” නමින් නාට්‍යයක් කළා. එහි ප්‍රධාන චරිතයක් කළා මා හිතවත් සේනක පෙරේරා. (ප්‍රවීණ ගීත රචක යමුනා මාලනීගේ ආදරණීය සැමියා). ඔහු මට පණිවිඩයක් අරන් ආවා, ”ශ්‍රියන්ත මල්ලි ඔයාට අවස්ථාවක් තියෙනවා. ඔයා සයිමන් නවගත්තේගමට ගොඩක් කැමතිනේ. අලුත් නාට්‍යයේ චරිතයක් තියෙනවා.” කියලා. එතනත් මට ලොකු පාඩමක් ඉගෙන ගන්න ලැබුණු තැනක්. මොකද මට ලැබුණේ ඉතා කුඩා කොටසක්. එක ආලෝක ලපයක නටන දහ දෙනෙක් අතරේ මාත් එක්කෙනෙක්. මම ඒක කුඩාම චරිතයක් කියලා නොහිතා ඉතාම, ඉතාම හොඳින් කළා. එය දකින නවගත්තේගම මහත්තයා මට එහි ”සිවම්බා” කියන උප ප්‍රධාන චරිතය ලබා දුන්නා. ඔහොම කාලය ගතවෙද්දි මගේ ප්‍රාර්ථනාවන් ඉටුවෙන දිනත් ආවා. සුබ සහ යසහි සයිමන් නවගත්ගේම නිරෑපණය කළ චරිතය. ”ශ්‍රියන්ත මගේ මේ චරිතය ඔබට කරන්න පුළුවන්ද කියලා ඔහු ඇහුවා. සතුට සහ පුදුමය වැඩිකමට මට හා වෙනුවට කියවුණේ බෑ කියලා. පසු කලෙක ඔහු පණ්ඩුකාභය නාට්‍ය කළා. මම තමයි දීඝගාමිණී. එදා රාජගිරියේ සිල්වා පටුම‍ඟෙන් තමයි උන්මාද චිත්‍රාව මතු වුණේ. ටවර් රඟහල පරිශ්‍රයේ මේ ප්‍රේම ජවනිකා පුහුණුවෙන අතරේ මම කෙලින්ම උන්මාද චිත්‍රාවගෙන් ඇහුවා, ”මගේ හිතේ ඔයා ගැන අදහසක් තියෙනවා. ඔයා මොකද කියන්නෙ කියලා..” ඈ කැමති වුණා. දැන් ඉතින් ඒ ප්‍රේම කතාවට වසර 35ක් විතර ගතවෙලා.”

ඒ උන්මාද චිත්‍රා නම් වත්මනෙහි අපට සිටින ප්‍රවීණ රංගවේදිනියක වන කුසුම් රේණුය. කුසුම් – ශ්‍රියන්ත යුවලට දියණියන් දෙදෙනකු සිටින අතර නිපුණි ප්‍රේක්ෂා හා තාරුකි අමායා නම් වන ඔවුන් මේ වනවිට විවාහකය. දැන් එදා ගාමිණි – චිත්‍රා මුණුපුරු සුරතල් බලන ආදරණීය ආච්චි සීයා පදවි දරන්නෝය.

ගාමිණි ෆොන්සේකාගේ ”සාගරයක් මැද” චිත්‍රපටයෙන් ශ්‍රියන්ත සිනමාවට පිවිසියේය. 1978 දී පමණ ඔහු ළමා හා යොවුන් නාට්‍ය ආයතනයේ පාඨමාලාවක් හැදෑරූ අතර ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි ආදීහුද ඒ කණ්ඩායමට අයත් වූහ. එකල ඔවුන් ”අතේ අබ්ලික්” නමින් නාට්‍යයක් කළ අතර ආනන්ද අබේනායක පැමිණ සාගරයක් මැද චිත්‍රපටය වෙනුවෙන් කමල් අද්දරආරච්චි සම්බන්ධ කර ගත්තේය.

”ඉතින් කමල් තමයි මගේ යාළුවන්ගේ චරිතවලට කියලා මම, ජයන්ත ඇතුළු කට්ටියම අරන් ගියේ. ඔය කාලයේදි ගාමිණී ෆොන්සේකා මහතාගෙන් අපිට බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණා. ඒත් ඇත්තටම එතරම් සිනමාවට එක් නොවන්න හේතු වුණේ ටෙලිනාට්‍යය. මොකද ඒ වනවිට මම ටෙලිනාට්‍ය හා දීර්ඝව එක්වෙමින් සිටියේ. හරියටම බැලුවොත් මම තමයි ලංකාවේ පළමු ටෙලිනාට්‍ය නළුවා. දිමුතු මුතු නාට්‍යයට කලින් පරාක්‍රම නිරිඇල්ල එයාගේ රංගන අභ්‍යාසයක් විදියට මැදිරියකදී ටෙලිනාට්‍යයක් කළා විනාඩි අටක. ”මහත් හොරා” තමයි එහි නම. එහි හොර මහත්තයාගේ චරිතය කළේ මම. පරාස්ස නාට්‍යයේ මම කළේ පූර්ණක කියන යක්ෂයාගේ චරිතය. එය දුටු ධම්ම ජාගොඩ මහතා පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා 1985 වසරේදි. එය ලංකාවේ තෙවැනි මාලා නාටකය ලෙසයි සැලකෙන්නේ.”

පට් පට් ගාලා ”සම්තින්ග්” එකක් සොයාගෙන ”ෂපාන්” එකේ ඉන්න හැටි ප්‍රේක්ෂකයාට කියූ සූරසේන මෙරට ටෙලිනාට්‍ය කලාවේ අමරණීය චරිතයකි. ශ්‍රියන්ත යනු ඉතා විශාල රංග පරාසයක් හිමි රංගවේදියෙකි. 300කට ආසන්න ටෙලිනාට්‍ය ප්‍රමාණයක ඔහු වරෙක භයානක යක්ෂයෙකි. නැතිනම් තුම්මුල්ලේ පද්මේ වැනි චණ්ඩියෙකි, දෙවියෙකි, සවුන්දිරිස් වැනි ශක්තිමත් මිනිසෙකි. වේදිකා නාට්‍යයද 60කට ආසන්න ප්‍රමාණයකද චිත්‍රපට 40ක පමණද ඔහු රංගනයෙන් ප්‍රේක්ෂකාගාරය ආමන්ත්‍රණය කර ඇත. මේ දිනවල සුබ සහ යස, සුදු සහ කළු, රාස්ස පරාස්ස, හංකිති 13 ආදී වේදිකා නාට්‍යවලද, සංගීතේ හිතුවක්කාරී, වෙස්ගත්තෝ, ළං වී ආදී ටෙලිනාට්‍යවල ඔහු රංගනයෙන් දායක වෙයි. ඉදිරියේදී සිරි දළදාගමනය හා නන්නත්තාර ටෙලිනාට්‍ය ඔස්සේ ඔහු අප හමුවනු ඇත.

2021 – දෑකැති මුවහත, 2007 – සත්ගුණාගාරය, 2008 – ධවල කඩුල්ල, 2010 – සදිසි තරණය, 2014 – විෂ්ණු භූ සංක්‍රාන්තිය වෙනුවෙන් සුමති සම්මාන හොඳම නළුවා ලෙසද පළිඟු මැණිකේ, බෝගල සවුන්දිරිස්, හතරදෙනෙක් සෙන්පතියෝ, දඬුබස්නාමානය, ඇත්කඳ ලිහිණියා ආදියේ පෑ රංග පෙළහරද OCIC, රාජ්‍ය රූපවාහිනී, රයිගම් ආදී සම්මාන උළෙලවලදී ඇගයීමට ලක්ව ඇත. පරාස්ස, නුඹ විතරක් තලඑළළුයි, මෝරා, එව බලව ආදී වේදිකා නාට්‍ය වෙනුවෙන්ද ඔහු විවිධ සම්මාන උළෙලවල සම්මානයට පාත්‍ර වූ අතර සිනමාව වෙත 1997 දී භේරුණ්ඩ පක්ෂියා වෙනුවෙන් ජනාධිපති සම්මානය දිනූ ඔහු බඹර වළල්ල චිත්‍රපටය වෙනුවෙන්ද සම්මාන දිනුවේය. කෙටි නාට්‍ය වෙනුවෙන්ද පළ කළ අප්‍රමාණ වූ රංග කුසලතාව වෙනුවෙන් ඔහු වරින් වර සම්මානයෙන් පිදුම් ලැබීය.

”රංගවේදියකු ලෙස මා උපන්නේ පළිඟු මැණිකේ නාට්‍යයෙන්. දඬුබස්නාමානය හා වැඩිවියට පත් කළ නාට්‍ය. බෝගල සවුන්දිරිස් මා ශක්තිමත් කළා. දෑකැති මුවහත මා දැනුවත් කළා. ම්.. ඉදිරියේදී එනවා තවත් එකක්. නන්නත්තාර… මෙතෙක් බැරූරුම්ව හඬ අවදි කරමින් සිටි ඒ අපූරු රංගන ශිල්පියා ”ඒක මා නන්නත්තාර නොකරන නාට්‍යය” යැයි පැවසුවේ දශක පහකට වැඩි කාලයක් තමාගේ කුසලතාව දෙස නෙත් යොමා සිටි ආදරණීය ප්‍රේක්ෂකාගාරයට මහත් බලාපොරොත්තුවක් එක් කරමිනි.

තමන් සහභාගි වන ඕනෑම සභාවක තම තියුණු බැල්ම සේම මනා කථිකත්වයෙන් නිරායාසයෙන් මනා ආකර්ෂණයක් දිනාගන්නා ශ්‍රියන්ත මෙන්ඩිස් නම් සොඳුරු මිනිසාට තව චිරාත් කාලයක් අප පිනවන්නට ශක්තිය හා ධෛර්ය ලැබේවා යැයි හදසර අපි සුබ පැතුම් එක් කරමු.

මොනිකා සේරසිංහ
සේයාරූ I අන්තර්ජාලයෙන්

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්