May
1

කසාඳ බැන්දාය, දරුවෝ ලැබුණාය කියලා අපි දෙන්නට එහෙම ලොකු වෙනසක් කරගන්න අවශ්‍ය වුණේ නැහැ

 
846 Views
   
We-did-not-want-to-make-such-a-big-difference-that-we-were-married-and-had-children  

ධනා’ යනු හිත හොඳ චණ්ඩියෙක්, ඒ වගේම ප්‍රේමාන්විතයෙක් කියලත් කියන්න පුළුවනි. හරියටම කිව්වොත් අප්‍රකාශිත ප්‍රේමවන්තයෙක්. මේ ‘ධනා’ අපට හමුවන්නේ හිතුවක්කාරී, නාට්‍යයේ චරිතයක් විදියටයි. ‘ධනා’ යන ඒ චරිතයට ජීවය ලබාදෙන සාරංග දිසාසේකර, ආදරණීය රංග ශිල්පියා පාර වසා ඇත, නාට්‍යයේ රඟපාන්නෙ ‘ජැක්සන්’ නමැති චරිතයකි. මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන කූඨ ව්‍යාපාරිකයෙක්, සැමියෙක් වගේම ජැක්සන් ආබාධිත කෙනෙක්. ටෙලි තිරයේ මේ විදියට චරිතාංග රංගනයේ යෙදෙන ‘සාරංග’ හිරු ස්ටාර් රියැලිටි වැඩ සටහන මෙහෙයවීමට එක්වී සිටිනවා. එතැනින් එහාට අපට සාරංග තිරගතවන ආශාවරි සිනමා නිර්මාණයේ බ්‍රිගේඩියර්  ආසිත සිංහවංශ නමින්  හමුවෙනවා. මේ විදියට රංගනයෙන් අද අපට හමුවන ‘සාරංග’ සැබෑ ජීවිතයේ දී, හමුවන්නේ ආදරණීය සැමියකු සහ පියෙකු ලෙසයි. එලෙසින් අද දවසේ ජීවිතය ගත කරන සාරංග සමග අපි පිළිසඳරකට  එක්වෙමු.

සාරංග, ඉස්සරට වඩා ලස්සන පෙනුමක්? ලස්සන වෙන්න මොනවද කරන්නෙ?

ඒ විදියට පෙනෙනවා නම්, ස්තුතියි! අනෙක් අයට ප්‍රියමනාප විදියට පෙනෙනවා නම්, ඒකට හේතුව හිත හොඳින් තියාගෙන ඉන්න එකයි. එහෙම වෙන්න කියලා අමුතු දේ කරන්නෙ නැහැ. කාර්ය බහුලත්වය එක්ක. රඟපෑම් වෙනුවෙන් බොහෝ වෙලාවට අපි කය වෙහෙසනවා., ඒ වගේම මුහුණටත් චරිතවලට අදාලව මේක් අප් කරලා ටිකක් වද දෙනවනෙ. ඒ නිසා නැවත ශරීරය නම්‍යශීලීව සහ සෞඛ්‍ය සම්පන්නව තියා ගන්න ඉඳ හිටලා යම් යම් සත්කාර කරගන්න සිද්ධ වෙනවා. ඒක ඇත්තටම අවශ්‍ය දෙයක්. රංගනයේ යෙදෙන අයට තමාගේ බාහිර පෙනුම වගේම අභ්‍යන්තර සෞඛ්‍ය තත්ත්වය ගැනත් හිතන්න වෙනවා.

ළඟදී ‘තාත්තා’ කෙනෙක් බවට පත් වූ සාරංගට ඒ භූමිකාව දැනෙන්නෙ කොහොම ද?

කෙටියෙන්ම කිව්වොත් ඒක සුන්දර වෙනසක්. කාලයක් තිස්සේ හිතේ තිබුණු ආශාවක්, බලාපොරොත්තුවක් ඉටුවීමක් විදියටයි මම එය දකින්නෙ. ඒක මගේ විතරක් නෙවෙයි. අපේ පවුලේ අයගෙ වගේම දිනක්ෂිගෙ පවුලේ හැමෝගෙම හිත්වල තිබුණු බලාපොරොත්තුවක්. දූ පැටියෙක් අපට ඉන්නෙ. ඒක හරිම සුන්දර දෙයක්. වෙනදාට වඩා වගකීම් වැඩිවෙලා කියලා මට හිතෙනවා.

ඒ කියන්නෙ ගෙදර වැඩක් පැවරිලා තියෙනව ද?

එහෙම දෙයක් කියලා කියන්න බැහැ. දරුවකු ලැබුණාම සමහර විට බොහෝ පවුල්වල අය ජීවිතයේ වෙනසක් කර ගන්න හදනවා. ඉතින් එහෙම වුණාම ඒක බොහෝ වෙලාවට අසාර්ථක වෙන්න පුළුවනි. අපි දෙන්නට එහෙම අවශ්‍ය වුණේ නැහැ. ඒ කියන්නෙ ඔයාට මේක බාරයි, ඔයා ඒ වැඩ කොටස කරන්නම ඕනෑය කියල අපි වර්ග කරන්න බෙදා ගන්න ගියේ නැහැ. ඒ අවශ්‍ය වෙලාවට දරුවට අපෙන් ඉටුවිය යුතු අවශ්‍යතා ටික කරනවා. ඒත් එක්කම දිනක්ෂි පවුලේ අයගෙන් වගේම මගේ පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නෙ. ඒ හැමෝම දරුවට ආදරෙයි. මොකද එයාලගෙ පරම්පරාවේ පළමු මිණිබිරිය නිසා දුව බලා කියා ගන්නත් ඒ නිසා ගොඩාක් කට්ටිය ඉන්න බව කියන්න පුළුවනි. ඒ අතින් බැලුවාමත් අපේ ජීවිතවලට ඒ සියලු දේ පහසුවක් වෙලා.

සැමියාගේ භූමිකාව ගැනත් කියමු ?

මෙහෙමයි, කසාඳ බැන්දාය, දරුවෝ ලැබුණාය කියලා අපි දෙන්නට එහෙම ලොකු වෙනසක් කරගන්න අවශ්‍ය වුණේ නැහැ. වගකීම් දරනවා. ඒවා තියෙන බව ඇත්ත. ඒත් ඒවා එහෙමයි කියලා අපි දෙන්නට අපි දෙන්නව නැති කර ගන්න, ඈත් කර ගන්න ඕනෑ වුණේ නැහැ. දිනක්ෂි වෙලාවකට ඇහුවාම ඔයා මට ද වඩා ආදරේ? බබාට ද? කියලා? මම කියන්නෙ ඔයාට කියලයි. ඒක එහෙම වෙන්න ඕනෑ. දරුවොත් දකින්න ඕනැ ලොකුම දේ විය යුත්තේ මම විශ්වාස කරන විදියට අම්මා-තාත්තාගේ බැඳීම සහ ආදරයයි. අම්මයි-තාත්තයි සතුටින් නම් දරුවොත් සතුටින්. පෙර පරිදි අපි දෙන්නගෙ ජීවිතේ විඳවන්නෙ නැතුව විඳින්න ඕනෑ. එන අභියෝගවලට පවා මුහුණ දීලා හොඳම දේ දරුවට දෙන්න තමයි අපි දෙන්නා උත්සාහ කරන්නෙ.

බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි ‘සාරංග-දිනක්ෂි’ සෝෂල් මීඩියා, නැතිනම් සමාජ මාධ්‍යයේ නිතර සක්‍රීය චරිත කියලා? නිතරම ඇක්ටිව් කියල? ඇයි ඒ? එහෙම විය යුතුම ද?

සෝෂල් මීඩියා කියන්නෙ අද ලංකාවේ විතරක් නෙවෙයි. ලෝකයේම තියෙන ප්‍රවනතාවයක්. ඒ ප්‍රවනතාවය ගැන අපි කලින් දැක්කා. අපේ රසික ප්‍රේක්ෂකාගාරය අමතන්න තියෙන හොඳ තෝතැන්නක්. එතැනදී අපිට තමයි කොන්ට්‍රෝල් එක තියෙන්නෙ. අනෙකුත් ජනමාධ්‍යවලදී අපට එහෙම කරන්න බැහැනෙ. ඒ නිසා තම තමුන් තමුන් වෙනුවෙන් කරගෙන යන සමාජ මාධ්‍ය භාවිතයේ දී කොන්ට්‍රෝල් එක තමුන් අතේ. අපට කැමැති දේ අපට අවශ්‍ය වෙලාවට තියෙන රෙගුලාසි සහ රීතිවලට යටත්ව පළ කරන්න පුළුවනි. නීති විරෝධි සමාජ විරෝධී නොවී එය භාවිතා කිරීම කාගෙත් වගකීමක්. බොහෝ වෙලාවට අපේ ආදරණීය රසිකයන් අපි යන එන තැන් අඳින පළඳින විදිය, කන බොන විදිය ගැන දැන ගන්න කැමැතියි. ඉතින් ඔය ප්‍රශ්න ටිකම තමයි බොහෝ වෙලාවට අපෙන් අනෙකුත් මාධ්‍ය අහන්නෙත්. ඒ නිසා නිතර සෝෂල් මීඩියා එකේ අපි අපේ දේ අන්තර්ජාල පිටු ඔස්සේ ඒවා ප්‍රකාශය කිරීම ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි.

සාරංග, වඩා කැමැති, සාරංග ගෙන් මොන වගේ මාතෘකා යටතේ ප්‍රශ්න අහනවාට ද?

කැමැති ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකට නිදහස තියෙනවනෙ. ඕනෑම ප්‍රශ්නයක් අහන්නෙ ප්‍රේක්ෂකයන් අපි ගැන දැන ගන්න කැමැති නිසානෙ. ඒ නිසා කැමැති දෙයක් අහන්න පුළුවන් වගේම ඒකට මට කැමැති පිළිතුරක් දෙන්නත් පුළුවන්. ඒ නිසා මගෙන් මේ මේ ප්‍රශ්න අහන්න කියලා කවුරුවත් කොටු කරන්න බැහැ. නමුත් කලාව ගැන සහ මම දායකවන නිර්මාණ ගැන වැඩිපුර කතා කරන්න කැමැතියි.

හිතුවක්කාරි නාට්‍යයේ ‘ධනා’ වගේ චණ්ඩිකම් සාරංග සැබෑ ජවිතයේදී කාටහරි පෙන්වලා තියෙනවද? කියලා ඇහුවොත්?

සැබෑ ජීවිතයේදී මම එහෙම නැහැ. හැබැයි ටිකක් විතර කට කාරයි. චණ්ඩිකම් පෙන්වලා නැහැ. ඒ වගේ අත්දැකීම් සැබෑ ජීවිතයේදී මට නැහැ. සැබෑ ජීවිතයේදී පරිශීලනය කරලා තියෙන දේ සහ විවිධ චරිත ඔස්සේ උකහා ගත් යම් යම් දේ සමග අපි ළඟ තියෙන දේ යොදාගෙන තමයි බොහෝ විට අපි චරිතවලට ප්‍රවේශවෙන්නෙ.

අද දිනක්ෂි ඔබගෙ බිරිඳ, අද ඔබට ඇය ගැන දැනෙන්නෙ මොන විදියටද?

එයා ජීවිතය ගත කරන විදිය සහ හිතන විදියට මම කැමැතියි. බොහෝ වෙලාවට මාත් එයාගෙන් යම් යම් දේ ජීවිතයට ඉගෙන ගන්නවා. බොහෝ වෙලාවට ඇය සෑම විටකදීම වගේ අව්‍යාජ චරිතයක්. ඇය ගැන මට දැනෙන්නෙ ඒ විදියටයි. කසාඳ බඳින්නට පෙර හිටපු ඒ විදියට හැසිරුණු කෙනාව තමයි අදත්.

ඒ දිනක්ෂිනෙ, සාරංගත් සැබෑ ජීවිතයේ විවෘත චරිතයක්ද?

මට හිතෙන විදියට ජීවිතයේ ලබන සහ ලැබූ අත්දැකීම් එක්ක ඉස්සරට වඩා මම විවෘත වෙලා කියලා මට හිතෙනවා. සමහර වෙලාවට ඒක මගේ රසික රසිකාවියන්ට දරාගන්න බැහැ වගේ දෙයක් මට දැනිලා තියෙනවා. මොකද එයාලා බොහෝ විට මා දිහා බලලා තියෙන්නෙ මම රඟපෑ චරිත වෙතින්. ඒ වගේම ඒ කාලයේදි මා ගැන එයාලා දැකපු විදිය එක්ක එයාලා එහෙම හිතනවා ඇති. ඉතින් ඒක මගේ ප්‍රශ්නයකුත් නෙවෙයි. මොකද මාව මැනිය යුතු විදිය ගැන මම එයාලට කියලා නැහැ. වයසින් මුහුකුරා යාමත් සමඟ මට දැන් තේරෙන විදියට ලැබූ අත්දැකීම් සියල්ල එක්ක මම පෙරට වඩා ගොඩාක් විවෘත කෙනෙක් වෙන්න ඇති. අර ඔබ මුලින්ම අහපු ප්‍රශ්නයට, එනම් මම පෙරට වඩා ලස්සන වෙලාය, කියන දේට හේතුවත්, මේ ස්වභාවය වෙන්න ඇති.

සඳුන් ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්