May
7

රට ගොඩගන්න සාමූහික ප්‍රයත්නයකට සූදානම් ද?

 
848 Views
   
 

මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ කථාවෙන් අප කාගේත් ඇස් ඇරෙන බව කිව යුතුය. එලෙසම එම කථාවෙන් රටේ අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන බව ද සඳහන් කළ යුතුය. එම කථාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුතුය. පළමු කොටසින් කියැවෙන්නේ අපේ ආර්ථිකය පිළිබඳ ඇත්ත කතාවය. ආර්ථිකය ගැන පුරසාරම් කීමෙන් පලක් නැත. ජනතාව හමුවේ ඇත්ත පෙන්වා දිය යුතුය. ආර්ථිකය පිළිබඳ කරුණු සඟවන විට ජනතාව මුළා වෙති. එය සුදුසු දෙයක් නොවේ. දෙවන කොටසින් කියැවෙන්නේ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ගත යුතු උපායමාර්ගයන් ගැනය. දැනටම ඒවා ක්‍රියාත්මක වන්නට පටන් ගෙන තිබේ.

ශ්‍රී ලංකාව විදේශ ණය ලබා ගැනීම සඳහා පෙලැඹී ඇත්තේ එක්දහස් නවසිය පනස් ගණන්වල සිටය. එදා ණය ගෙවීම සඳහා දීර්ඝ කාලයක් ලබා දී තිබූ අතර පොලිය ද අදට වඩා බෙහෙවින් අඩුය. එහෙත් මුල් කාලයේ සිටම විදේශ ණය සම්බන්ධයෙන් සාර්ථක කළමනාකරණයක් නොවූ බව පෙනෙයි. 1977න් පසු විදේශ ණය ගැනීම වැඩි වී ඇත. පසු කාලයේදී ණය හා පොලී ගෙවීම සඳහා ද නැවත ණය ලබා ගෙන ඇත. එය මෑතක් වනතුරුම සිදු වී ඇත. ඉදිරියටත් එය කරන්නට සිදු වනු ඇත. ණය හා ආධාර නැතිව රට ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් නැත. කවුරුන් ආණ්ඩු බලය ලබාගත්ත ද ආපසු ණය හා ආධාර ගැනීමට සිදු වනු ඇත. යථාර්ථය එයයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට ආර්ථික අර්බුදය මාසයකින් දෙකකින් නිමාවට පත් වන්නේ නැත. අර්බුදය විසඳීමට තවත් වසර දෙකක කාලයක් වත් ගත වනු ඇත. එම කාලය තුළ යම් කැපවීමක් කිරීමට රටේ සියලු පුරවැසියන් සූදානම් විය යුතුය. මේ වන විට ජගත් මූල්‍යායතන කිහියක් සමඟ සාකච්ඡා පැවැත්වෙයි. ඒ හැරෙන්නට මිත්‍ර රාජ්‍යයන් අපට සහයෝගය දැක්වීම සඳහා ඉදිරිපත්ව සිටී. ඉන්දියාව, චීනය, අමෙරිකාව හා බංග්ලාදේශය ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය. මිත්‍ර රටවල සහයෝගය ද මෙහිලා තීරණාත්මක සාධකයක් බව පෙන්වා දිය යුතුය. අමෙරිකාව ඩො.මි. 400ක මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා එකඟ වී ඇත. අපේ විදේශ ප්‍රතිපත්තියට අනුව ඕනෑම රටකින් ණය හා ආධාර ලබා ගැනීමේ හැකියාව පවතී.

ගෙවී ගිය වසරේ වැඩ වර්ජන විසි ගණනක් පවත්වා ඇති බව ද එයින් වැඩ කරන පැය ලක්ෂ ගණනක් රටට අහිමි වූ බව ද කියති. ආයෝජන කලාපවල ඇතැම් කර්මාන්තකරුවන් තම ව්‍යාපාර රැගෙන බංග්ලාදේශයට පිලිපීනයට, නේපාලයට යන ප්‍රවණතාවක් මතු වී ඇති බව ද කියැවේ. වර්ජන, දේශපාලන ආරවුල් හා විදුලිය කැපීම වැනි හේතු සාධක නිසා විදේශ ආයොජකයන් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන්නට පුළුවන. මේවා වෙනස් විය යුතුය.

ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න කොට රට අගාධයක් වෙත ගෙන යනවා ද? නැත හොත් සාමූහික ප්‍රයත්නයක් ඔස්සේ රට යථා තත්ත්වයට ගන්නවා ද? යන්න අප අපගේම හෘදය සාක්ෂියට තට්ටු කොට විමසා බැලිය යුතුය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්