Sep
22

සරු අස්වනු ගෙනෙයි කහවනු

 
473 Views
   
 

දේශීය කුළුබඩු සඳහා නිසි වටිනාකමක් ලබාදීමේ රජයේ වැඩ පිළිවෙළ මේ වනවිට යතාර්ථයක් වී ඇත. ඒ අනුව කහ සඳහා පවතින ඉල්ලුම සපුරාලමින් සහන මිල යටතේ පාරිභෝගික ජනතාවට ලබාදීමට කුළුබඩු මණ්ඩලය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. මෙරට වෙත කුළුබඩු ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබූවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවට අනුවයි. එම තීරණයත් සමග දිවයින පුරා කහ වගා කිරීමට ජනතාවගේ දැඩි උනන්දුවක් ඇතිවිය. 2020 වසරේදී හෙක්ටයාර 1,700ක් පමණ කහ වගා කෙරුණු අතර 2021 වසර වනවිට එය හෙක්ටයාර 3,000 ක් දක්වා වැඩි කිරීමට ද කටයුතු කර ඇත.

මෙම වර්ෂය අවසන් වනවිට එම කහ අස්වනු වෙළදපොලට පැමිණීමට නියමිතයි. අමුකහ මෙට්‍රික් ටොන් 60,000 ක අස්වැන්නක් මෙවර අපේක්ෂිතය. දේශීය පාරිභෝජනයට අවශ්‍ය වන්නේ වියළි කහ මෙට්‍රික් ටොන් 7,500ක් බව අපනයනය කෘෂිකර්ම දෙපාර්මේන්තුව පවසයි. මෙවර අස්වැන්නෙන් වියළි කහ මෙට්‍රික් ටොන් 8,000ක් ලබා ගැනීමට නියමිතයි.කහ ආනයනය කිරීම නතර කිරීමත් සමග වෙළඳපොළ තුළ මිළ සීඝ්‍රයෙන් ඉහළ යෑමක් සිදුවිය.ඒ හේතුවෙන් නීතිවිරෝධී ආකාරයෙන් මෙරට වෙත කහ රැගෙන ඒමට ජාවාරම්කරුවන් උත්සාහ කළද,ශ්‍රී ලංකා රේගුව හා නාවික හමුදාව මගින් එම කහ අත්අඩංගුවට පත් වූ අතර එම කහ තොගද වෙළෙඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

රේගු භාරයේ තිබූ කහ නිදහස් කොට ඒවා සඳහා සහතික ලබාගෙන මේ වන විට කුළුබඩු මණ්ඩලය හරහා ජනතාව වෙත ලබා දීමටද ක්‍රියාත්මක කරමින් සිටී.වෙළෙඳපොලේ දැනට පවතින මිලට වඩා අඩු අගයකට එනම්,කහ 100gm ක් රුපියල් 200 කට පමණ මිලකට මේ වනවිට කුළුබඩු මණ්ඩලයේ තිබෙන වෙළෙඳසැල් ,කජු සංස්ථාවේ වෙළෙඳසැල් සහ ඉදිරියේ දී සියලුම සතොස වෙළඳසැල් වලින් ද ලබාදීමට කටයුතු කර ඇත.තවද සමූපකාර සමිති වලටද ලබාදීමට කටයුතු කරමින් පවතී. නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් කහ තොග සියල්ල මිනිස් පරිභෝජනයට සුදුසුදැයි බලා පරීක්ෂණයකින් පසු ඒවාද වෙළෙඳපොල වෙත නිකුත් කරනු ඇත.

බත්තරමුල්ලේ පිහිටි කුළුබඩු මණ්ඩලය මගින් එකම ස්ථානයකින් සියලු කුළුබඩු පහසු මිළ ගණන් යටතේ ලබා ගැනීමට ජනතාවට අවස්ථාව උදාකර දී ඇත.ඉදිරියේදී මෙරට කුළුබඩු වැඩිවශයෙන් අපනයනයට ද පියවර ගෙන ඇත.
පාරිභෝගිකයාට වසවිස නැති හොඳ උසස් තත්ත්වයකින් යුතු කුළුබඩු පාරිභෝජනයට අවස්ථාව ලබදීමට සහ ගොවියාට හොඳ මිළක් ලබාදීමට බලාපොරොත්තු වන අතර,ව්‍යාපාරිකයන්ට ද සාධාරණීය මිලක් ලබාදීමට කටයුතු කරයි.කහ අස්වැන්න නෙලූ පසු තවත් සැලකිය යුතු මට්ටමකින් මිළ පහළ යනු ඇත.මේ අනුව කහ ඇතුළු සියලු කුළුබඩු සඳහා ඉදිරියේ දී සාර්ථක දේශීය සහ විදේශීය වෙළඳපොළක් ඇතිවේවි යන්න රජයේ අපේක්ෂාවයි. “සරු අස්වනු ගෙනෙයි කහවනු” (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්