Apr
29

පාරෙ යද්දි කට්ටිය මට ‘සුදු චූටි’ කියලා කතා කරනවා

 
2056 Views
   
 

මේ දිනවල බොහෝ දෙනා ඇය අමතන්නේ, ‘සෙනාලි’ යන ඇයගේ සැබෑ නාමයෙන් නම් නොවෙයි. ‘‘සුදු චූටි’’ යන නාමයෙන්. ඒ නම ඇයට දැම්මෙ ‘‘සරා’’. දන්නවනෙ මේ ‘‘සුදු චූටි’’ කවුද කියලා? ‘‘සුදු චූටි’’ අපට මේ දිනවල හමුවන්නෙ ‘‘නාඩගම්කාරයො’’ එක්කයි. මේ චරිතය නිසාම ඇය පසුගියදා පැවති ‘‘සුමති’’ සම්මාන උළෙලේ දී ජනප්‍රියතම ටෙලි නිළිය ලෙස සම්මාන පවා ලබා ගත්තාය. එම උළෙලේ දී දක්ෂතම නිළිය ලෙස ‘‘සමනලී’’ සම්මාන ලබද්දී, ජනප්‍රිය නිළිය වූ ‘‘සෙනාලි’’ ට ඒ අත්දැකීම මොන වගේ වෙන්නට ඇතිද? මේ කතා බහ ඒ ගැනයි.

• කොහොමද නාඩගම්කාරයෝ?

මගේ රංගන ජීවිතයේ දී මට ලැබුණු, හොඳ සහ වාසනාවන්ත චරිතයක් කියන්න පුළුවන්. මගේ ප්‍රථම චිත්‍රපටය වූ සිරිපැරකුම් නිර්මාණයේදීත් මට මෙවැනි ප්‍රේක්ෂක ආදරයත් – ආකර්ශනයත් ලැබුණා. ඉතින් ඊට පසුව කළ නිර්මාණ ජනප්‍රිය වුණාට, හිතාගන්නවත් බැරි විදියේ ආදරයක් මේ චරිතය සහ නාඩගම්කාරයෝ එක්ක ලැබුණා. ආයෙත් මම මුල ඉඳන් මගේ කලා ජීවිතය ඇරඹුවා වගේ හැඟීමක් මට දැනෙන්නෙ.

• ‘‘පාඨලි’’ නොහොත් සුදු චූටි? ඒ නම් දෙකෙන් වඩා කැමති?

‘‘සුදු චූටි’’ සරා දීපු නමක්. ඒකට ප්‍රේක්ෂකයින් වැඩි කැමැත්තක් තියෙන නිසා මගෙත් වැඩි කැමැත්තක් තියෙනවා. අද පාරේ බැහැලා යනකොට මට කතා කරන්නෙ සුදු චූටි කියලා.

• ‘‘ගෙදර’’ කතා කරන්නෙ මොන නමින්ද?

විශේෂ නමක් නැහැ. පවුලේ අය කතා කරන්නෙ ‘‘කෝෂිලා’’ කියලා. අම්මි තාත්ති මට කතා කරන්නෙ පුතා කියලා.

• සම්පූර්ණ නම –

වන්නිආරච්චිගේ සෙනාලි කෝෂිලා ෆොන්සේකා

• ‘‘සෙනාලි’’ තේරුම?

ලියන්ගේ සේනාවේ අධිපතිනිය. ඒ නම හැදෙන්නත් විශේෂ කාරනාවක් තියෙනවා. අම්මා සෙනානි. ඒකෙන් සෙනා අරගෙන, තාත්තා උපාලි නිසා ‘ලි’ අරගෙන, සෙනාලි කියලා නම දාගෙන.

• පසුගියදා ඔබ සහ සමනලී, එකම වේදිකාවේ සම්මාන ලැබුවා. ඒ අත්දැකීම ඔබට දැනුනෙ කොහොමද?

කලින් කිව්වා වගේ ‘‘සිරිපැරකුම්’’ නිසා ජනප්‍රිය සම්මානය ලබා ගත්තා. නමුත් මෙවැනි විදියේ ප්‍රේක්ෂකයින්ගේ ලොකු කැමැත්තක් ඇතිව, ලැබූ සම්මානයක්. ඒක මටයි සජිත (සරා) අයියටයි ලැබිය යුතුමයි කියලා ප්‍රේක්ෂකාගාරය විශ්වාස කළ දෙයක්. ඒක වෙනමම හැඟීමක්. එවැනි විදියෙ සම්මානයක් ලබන්නට වේදිකාවට එන විට මට පුදුම සතුටක් තිබුණෙ. මම හිතුවෙ නැහැ එය මට ලැබේවි කියලා. ඒ අතරේ නිර්දේශ නාම පළ කළ දිනයේදි තමයි මම දැනගත්තෙ ‘‘සමනලී’’ අක්කි හොඳම නිළියට නිර්දේශ වෙලා තියෙනවා කියලා. ඒ නිසා ඒ වෙලාවෙ මම හිතුවෙ මම මේ සම්මානය නොගත්තත්, ‘‘සමනලී’’ අක්කා ගත්තොත් හොඳයි කියලා. ඒකත් එක්ක එදා සම්මාන උළෙලේදි හොඳම නිළියගේ නම ගැන කියද්දි මට ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ ඇය ගැන. ඒක ෆොන්සේකා පවුල ගන්නවාට වඩා ඇයගේ දක්ෂතාවයට තැනක් ලැබීම ගැන සතුටින් හිටියෙ. ඇයට එය ලැබුණාම ලොකු සතුටක් ලැබුවා.

• ‘‘සමනලී’’ මෙතෙක් රඟපෑ චරිත අතරින්, ඔබ වඩා කැමති?

එකක් කියලා තෝරා ගන්න බැහැ. ‘‘ආකාශ කුසුම්’’ චිත්‍රපටයේ කළ චරිතයට හරි ආසයි. ඇයගේ ශෛලිය වෙනස්, ඇය තෝරා ගත්ත චරිත වෙනස්. ප්‍රේමය නම් සහ සූස්ති නිර්මාණවලත් හරි අපූරුවට කළා. ඒ වගේම මට ලොකු සතුටක් දැනෙන්නෙ, මම රූගත කිරීම්වලට ගිහින් සිටියදී, ඇයව අගය කරද්දි සහ වර්ණනා කරද්දි. ඒක හරියට මම ගැන හොඳ කිව්වා වගේ මට දැනෙන්නෙ.

• ‘සමනලී’ ගැන සොනාලිට මුල්ම මතකය එන්නෙ කොහොමද?

අපේ පවුලෙදි සොයුරු සොයුරියන් 23ක් ඉන්නවා. මම තමයි 23 වැනියා. අන්තිමයා. ඉතින් මට ඒ ඔක්කෝගෙන්ම ලොකු ආදරයක් – රැකවරණයක් ලැබුණා. එක එක වයස්වල අය. ලොකු සෙට් එක සහ පොඩි සෙට් එක කණ්ඩායම් දෙකක්. සමනලි අක්කා ඇතුළත් වුණේ ලොකු කණ්ඩායමට. එතකොට එයාලා ලොකු අක්කලනෙ. ඉතින් අපට එයාලා කෙරෙහි ඇති ගරුත්වය බය එක්ක, කතා කරන්න ගියේ නැහැ. හැබැයි විශේෂ දිනවලදි ආච්චිලාගෙ ගෙදරට එකතු වුණාම ඒ සිදුවීම් අමතක නොවන සිදුවීම් බවට පත්වුණා. ඒ වගේම, මම වයසින් වැඩෙද්දි, සමනලි අක්කි ක්ෂේත්‍රයට ඇවිත් ඉවරයි. ඒ නිසා එයාලගෙ ගෙදර යද්දි ඇයගෙ කාමරයට ගිහින් ඇයව බලන්න ආසා කළා. නිළියකගෙ කාමරය කොයි වගේද කියලා බැලීමේ ආසාව එදා මට තිබුණෙ. ඉතින් මම ඇයගෙ කාමරයට ගිහින් එබිකම් කරලා බැලුවා.

• සමනලීට වගේ ඔයාටත් ගීත ගයන්න පුළුවන්ද?

එච්චර දක්ෂ නැහැ. ගයන්න පුළුවන්. ඒත් ඇය වගේ ගායිකාවක ලෙස ගයන්න දක්ෂතාවයක් මට නැහැ.

• අර මුලින් කිව්ව කණ්ඩායම් දෙකේ ලොක්කා කවුද? වැඩිමලා?

පිරිමි ළමුන්ගෙන් නම් සුරංග අයියා. ගැහැණු ළමුන්ගෙන් මනෝරි අක්කා. හැබැයි අපි අතර කිසිම භේදයක් තිබුණෙ නැහැ.

• මේ 23 දෙනා එකතුවෙලා සංචාර එහෙම ගිහින් නැද්ද?

ඇත්තම කිව්වොත් අපි එකතු වෙන, ට්‍රිප් යන, ඔය ඔක්කෝම වුණේ ආච්චිගෙ මරණයට පෙරයි. ඉන්පසුව මම එංගලන්තයට ගියා. ඒ වන විට මම ඉතා කුඩායි. හැබැයි කුඩා කාලයේදි අපි ට්‍රිප් ගිය හැටි, එකතු වූ හැටි අදත් මතකයි. එක වතාවක් ලොකු නැන්දාගෙ උපන් දිනයට අපිව ට්‍රිප් එකක් එක්කගෙන ගියා. එදා පුංචි වයසේ හිටිය මට ඒ අවස්ථාව ගෙන දුන්නෙ ලොකු සතුටක්.

• දැන් සෙනාලිගෙ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නෙ කොහොමද?

සරලව – සාමාන්‍ය විදිහට ගෙවෙනවා. සම්මාන ගත්ත කියා කියලා සාමාන්‍ය ජීවිතය වෙනස් කර ගන්න මම කැමති නැහැ. අපේ ලොකු නැන්දාගේ සිට සියලු දෙනා ඒ විදියයි. ඒක අපේ පවුලෙන් ආ පුරුද්දක් වෙන්න ඇති. මේ දිනවල නාඩගම්කාරයෝ එක්ක දිගටම වැඩ. අම්මා එක්ක සාමාන්‍ය විදියට ජීවිතය ගෙවනවා. මේ දිනවල මම දායක වූ ‘‘කබඩි’’ (හර්ෂ උඩකන්දගෙ) චිත්‍රපටය තිරගත වෙනවා.

• ‘‘කබඩි’’ චරිතය ගැනත් කියමු?

දමිළ සහ තෙලිඟු සිනමාවේ ගිල්ලි සහ ඕක්කාඩු කියන නිර්මාණවල ප්‍රති නිෂ්පාදනයක්. ඒ අත්දැකීම මට හරි වෙනස්. වාණිජ විදියෙ චිත්‍රපටයකට ප්‍රථම වරට දායක වන්නෙ. ඒ වෙනස නිසාමයි ඒ චිත්‍රපටයට දායක වුණේ. මගේ චරිතයේ ලොකු වෙනසක් නැහැ. හැබැයි ප්‍රේක්ෂකයාට මේ චිත්‍රපටය ලොකු වෙනසක්.

• ‘‘සරා’’ සහ මාෂන් අතරින් ඔබ වඩා කැමති කාටද?

එහෙම තෝරන්න බැහැ. වෙනස් චරිත දෙකක්. සජිත සහ කෝකිල කියන්නෙ මම බොහෝම ආදරය කරන දෙන්නෙක්. හොඳ මනුස්සකමක් වගේම කරට – කර දක්ෂතාවයක් තියෙන දෙන්නෙක්. සරාට මාෂන් නැතුවත් බැහැ. මාෂන්ට සරා නැතුවත් බැහැ. සාමාන්‍ය ජීවිතේ ගත්තොත් ඒ දෙන්නා ඉතා ගුණ යහපත්. නළුවෝ කියලා හිතාගෙන ලොකුවට හිතන සමහර චරිත අතරේ මේ දෙන්නා ඉතා සරල, ඉතා නිහතමානී දෙන්නෙක්. ක්ෂේත්‍රයේ අපට වගේම ඔවුනට ආදරය කරන අයටත් – ආදරය ගෞරවය දක්වන දෙන්නෙක්. මේ දෙන්නාගෙන් එක්කෙනෙකුට කැමති වෙන්න බැහැ. ‘‘මාෂන් සහ සරාව’’ සහ ඒ චරිත කරන කෝකිල සහ සජිත දෙන්නටම මම කැමැතියි.

• සෙනාලිගෙ ‘‘ආදරය’’ කොහොමද ගලා යන්නෙ?

අපට අපේ ජීවිතයේ සිදුවන දේ ගැන නිශ්චිතව කියන්න බැහැ. වෙන්න තියෙන වෙලාවට ජීවිතේ සියල්ල සිදුවේවි. ‘‘ආදරය’’ වෙලාවට ජීවිතයට ඒවි. ජීවිතය ගැන ආදරය ගැන මම හිතන්නෙ ඒ විදියටයි.

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
හැඩගැන්වීම්: හරූන් ෂයිදීන්

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්