ජනාධිපතිවරයා සෑම රාජ්ය ආයතනයකටම ගොස් සේවකයන් හමු වී සාකච්ඡා කිරීමට අදහස් කරගෙන සිටී. මේ වන විටද ආයතන කිහිපයකට ගොස් සේවකයන් සමඟ සාකච්ඡා කිරීමට රාජ්ය නායකයා පියවර ගෙන ඇත. එය සාධනීය ලක්ෂණයකි. රටේ නායකයාගේ අධීක්ෂණය හා නිරන්තර අවධානය පවතින විට උසස් නිලධාරීන්ට සිය රාජකාරිය හරියට කරන්නට සිදු වේ.
තව පැත්තකින් බලන විට සේවක ප්රජාවගේ නොවිසඳුණු ගැටලු පවතී. ඒවා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් ඍජු විසඳුම් සොයාගත හැකිය. සේවකයන්ගේ තත්ත්වය සෑම විටම ආයතනයක දියුණුවට බලපායි. රජයේ උසස් නිලධාරීන් එය වටහාගත යුතුය. දේශපාලනයට නොව වැඩකිරීමේ හැකියාවට අනුව උසස්වීම් දිය යුතුය. අපගේ අත්දැකීම අනුව පළාත් සභාවලට අයත් රාජ්ය ආයතන කටයුතු කරන්නේ එක විදිහකටය. මධ්යම රජයට අයත් රාජ්ය ආයතන කටයුතු කරන්නේ තවත් විදිහකටය.
මේ ආයතන අතර නිසි සම්බන්ධයක් නැත. සාමාන්ය ජනතාව මේ දෙපාර්ශ්වයටම අයත් කන්තෝරුවලට ගොස් රස්තියාදු වෙති. ඕක අපට අයිති නැතැ‘යි පළාත් සභාවලට අයත් ආයතනවල ලොක්කෝ කියති. ඕක අපට නෙමෙයි පළාත්සභාවට යැයි මධ්යම රජයට අයත් ආයතනවල ලොක්කෝ කියති. ජනතාව අතරමංය. සියලු ආයතන තිබිය යුත්තේ මහජනයාට සේවය කිරීම සඳහාය. පළාත් සභාවලට අයත් ආයතන මෙන්ම මධ්යම රජයට අයත් ආයතන ද මනා සම්බන්ධීකරණයක් සහිතව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ජනාධිපතිවරයා කොවිඩ් සමයේදීම මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලයට ගියේය. එම ආයතනය මහජනයාගේ දැඩි අප්රසාදයට ලක් වූ ස්ථානයක් ව පැවැති අතර, කොමිස් කාක්කෝ එහි සිටියහ. ජනාධිපතිවරයාගේ අධීක්ෂණයත් සමඟ කොමිස් කාක්කන් දකින්නට නැත. එහි සේවයට අදාළව පැවැති ප්රමාදය ද බොහෝ සෙයින් අඩු වී ඇත. එම ආයතනය මුළුමනින්ම සකස් වී නැතත් යම් සහනදායී තත්ත්වයක් එහි දැකිය හැකිය. ජනාධිපතිවරයා තවත් වරක් හෝ දෙකක් හෝ එම ආයතනයට ගිය හොත් එය මහජන සේවය සඳහා කැප වුණු ස්ථානයක් බවට පරිවර්තනය කරගත හැකිය යන්න අපගේ පිළිගැනීමය.
අධීක්ෂණය, උපදේශනය, පසු විපරම් ඉහළ සිට පහළට ගලා යා යුතුය. රාජ්ය නායකයා එය වටහා ගෙන තිබේ. රජය ආරම්භ කළ බොහෝ සංවර්ධන වැඩසටහන්වලට රාජ්ය සේවකයන්ගේ පූර්ණ සහයෝගය ලැබෙන්නේ නැත. හරිත කෘෂිකර්මය, කාබනික පොහොර භාවිතය, රාජ්ය නිලධාරීන්ගේ මැදිහත් වීම පැවැතියේ නම්, මීට වඩා සාර්ථක වනු ඇත. මේ සියල්ල සමාලෝචනය කරමින් ඉදිරි වැඩසටහන් සඳහා රාජ්ය සේවකයන්ගේ සහයෝගය ගැනීම වඩා වැදගත්ය.