May
31

සංචරණ සීමා කාලයේ වැඩි පිරිසක් මහ පාරේ

 
1212 Views
   
 

සංචරණ සීමා පනවා ඇති මේ කාලසීමාවේදී ද මහාමාර්ග වල විශාල පිරිසක් ගමන් ගන්නා බවත්, එලෙස ගමන් ගන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා අවශ්‍ය පිරිසදැයි විශේෂයෙන් සොයා බැලිය යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ලේකම් මහේෂ් බාලසූරිය මහතා පැවසීය.

 

එසේ නොවුණහොත් සංචරණ සීමා පැනවීමෙන් බලාපොරොත්තු වූ අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වනු ඇතැයි පැවසූ ඒ මහතා, වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

 

“මේ කාලය සංචරණ සීමා පනවා තිබෙන කාලයක්. නමුත් අත්‍යාවශ්‍ය සේවා මත පදනම්ව කියමින් සමහර කාර්යාල විවෘත්ත කරන්න ඉඩ දීලා තියෙනවා. මේ නිසා අපි මුලදි දැක්කට වඩා වැඩි පිරිසක් පාරවල් වල ගමන් ගන්නවා. මේ විදිහට අත්‍යාවශ්‍ය සේවා කියල ගමන් ගන්න අය අතර ඇතැම් විට ඔවුන්ගේ පවුල්වල අයත් ඉන්නවා. ඇතැම්විට අදාළ පුද්ගලයා නොමැතිව වෙනත් අය වාහනය පදවාගෙන යන අවස්ථා ආදිය වාර්තා වෙලා තිබෙනවා.

 

කොහොම උනත් මේ හරහා වෙනදට වඩා පිරිසක් නැවතත් පාරවල්වල එකතුවෙලා තිබෙන බව දකින්න තිබෙනවා. උදාහරණයක් විදිහට සෞඛ්‍ය සේවා ලේබල් අලවාගෙන, වෛද්‍යවරුන්ගේ ලේබල් අලවාගෙන පවුල්වල අය යනවා දකින්නට තිබෙනවා. මේ නිසා සාමාන්‍ය දවසක වගේ පිරිසක් මහාමාර්ගවල දකින්න ලැබෙනවා. කෝවිඩ් පාලනයට එවැනි සිදුවීම් හොඳ නැ’හැ.

 

කෝවිඩ් වසංගතය වේගයෙන් පැතිර යාම වැළැක්වීමටයි මේ විදිහට සංචරණ සීමා පනවා තිබෙන්නේ. මොකද එවිට රෝගීන් ආසාදනය වීම පාලනය කරන්න හැකියාව ලැබෙන නිසයි එවැනි සීමා යොදවා තිබෙන්නේ. මේ නිසා මේ ආකාරයට ගමන් ගන්නා අය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයක් ඇතිකරන්න ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදිය යුතුයි කියලා අපි හිතනවා. මොකද මේ විදිහට පාරට ඇවිත් තියෙන හැමෝම අත්‍යාවශ්‍ය සේවා කරන අයමද කියලා තහවුරු කරගත යුතුව තිබෙනවා.

 

ඒ වගේම සංවරණ සීමා කඩින් කඩ පැනවීම සුදුසු නැ’හැ කියලා අපි හිතනවා. මොකද නැවත එම සීමා ඉවත් කරන දිනයේදී සියලුදෙනාම මීමැස්සො ඉහිරුනා වගේ එක පොදියට ගමන් කරනවා.  මේ විදිහට විශාල වශයෙන් ජනතාව එකතු වීමෙන් අවදානම් තත්ත්වයකට යන්න පුළුවන්.

 

ඒ නිසා අපි බලාපොරොත්තු වන ඉලක්ක වලට යන්න අමාරුයි. ඒ මොකද මේ විදිහට විශාල පිරිසක් ගැවසෙන්න ගත් විට ඒ සමග ආසාදිතයනුත් පැමිණෙන්න පුළුවන්. එයින් විශාල පිරිසක් එකවර ආසාදනය වෙන්න තිබෙන ඉඩකඩත් වැඩි වෙනවා. ඒ වගේම හැදුනුම්පත් ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. එය පරීක්ෂා කරන්න විදිහක් නැහැ වගේම එම ක්‍රමවේදය ප්‍රායෝගික නැ’හැ. මේවා වැඩිය හිතන්නේ බලන්නේ නැතිව ගත්තු තීරණ.

 

ඒ නිසා අත්‍යාවශ්‍යම කාරණයකට පමණක් පුද්ගලයෙකුට නිවසින් බැහැර වීමට නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ඒ වගේම අත්‍යාවශ්‍ය බව පෙන්වමින් බොරුවට ගමන් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැතිවුණොත් මෙච්චර කල් රට වහගෙන හිටපු එකෙන් බලාපොරොත්තු වුණ අරමුණ ඉටුවෙන්නේ නැ’හැ.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්