May
25

මේ රට හදන්නම බැරිද ?

 
642 Views
   
 

විරෝධතා කොපමණ පැවතිය ද ඒවා නිසා තෙල් ලැබෙන්නේ නැත. ගෑස් ලැබෙන්නේ ද නැත. ඒවායින් සිදු වන්නේ රටට ලැබීමට නියමිත ඩොලර් ටිකත් අහිමි වීම පමණි. මිනිස්සු දැන් ඕනෑම දෙයකට පාරවල් හරස් කරති. එය එක්තරා මෝස්තරයක් බවට පත් වී ඇත. පසුගිය දින දෙක තුන තුළ ප්‍රධාන මාර්ග කිහිපයක් හරස් කොට ගමනාගමනයට බාධා සිදු කළහ. මංගල උත්සවයක මනාල යුවළ නැකතට අනුව රැගෙන යෑමට පැමිණි මංගල රථය උද්ඝෝෂකයන් විසින් ආපසු හරවා යවන ලදී. සදාචාරයක්, ශික්ෂණයක්, අනුකම්පාවක් උද්ඝෝෂකයන් අතර ඇත්තේම නැත. ගිලන් රථයකට ඉන්ධන ලබා දීමට ද උද්ඝෝෂකයෝ විරුද්ධ වෙති. අපේ සමාජය ගමන් කරමින් සිටින්නේ ඉතා නරක තැනකටය. මේවා නිවැරදි කර ගැනීමට අපොහොසත් වුවහොත් රට ගොඩ නැගීම බොරුය.

තෙල් සැපයීම යාන්තමට පිළිවෙළක් වෙද්දි බෙදා හැරීම අවුල් වී ඇත. බෙදා හැරීම අවුල් කර ඇතැයි කීම වඩා නිවැරැදිය. පිරවුම්හල් අසල පවත්නා නොසන්සුන්තා හා ගුටිකෙළි දෙස බලන විට හැඟෙන්නේ මේ රට කිසි දිනෙක හදන්නට බැරි බවය. සමහරු පිරවුම්හල්වල සේවකයන්ට තර්ජනය කරති. තව සමහරු බවුසර් හරවා යවති. තවත් සමහරු තෙල් බවුසර්වලට ගිනි තබන්නට සූදානම් වෙති. සමාජය පසුවන්නේ එකිනෙකා මරා ගන්නා තැනෙක යැයි කිව හැකිය. පොලිසිය ඇතුළු සමස්ත ආරක්ෂක අංශ මෙහිදී අසරණය. ඔවුන්ට මේවා පාලනය කළ හැකි වුව ඊට ඉඩක් නැත. මානව හිමිකම් ඊට හරස් වී ඇත. දැන් පොලිසිය පවතින්නේ කුඩුකාරයාටත් මහත්තයා කියමින් ඔහුට ආයාචනා කළ යුතු තැනෙකය.

අප නිරන්තරයෙන්ම පෙන්වා දෙන ලෙස අර්බුදයෙන් ගොඩ යෑම සඳහා පාලකයන් වෙතින් මෙන්ම ජනතාව වෙතින් ද යම් වැඩ කොටසක් ඉටු විය යුතුය. සාමුහික කැපවීමකින් තොරව අර්බුදය ජය ගත හැකි වෙනත් මාර්ගයක් නැත. ඕස්ට්‍රේලියාව සඳහා නව අගමැතිවරයකු පත් වී ඇති අතර ජාතිය ඇමතූ නව අගමැතිවරයා කියා සිටියේ අපි සියලු භේද අමතක කොට රට ගොඩ නගමු යන්නය. ශ්‍රී ලංකාවේ මෙන් ආර්ථික අර්බුදයක් ඕස්ට්‍රේලියාවේ නැත. එය සැලකෙන්නේ ධනවත් රාජ්‍යයක් හැටියටය. එහෙත් නව අගමැතිවරයාගේ ප්‍රවේශය ඉතා වැදගත්ය. ජාතියක් ලෙස සාමුහිකව අභියෝග ජය ගත යුතුය යන අදහස ඔහු විශ්වාස කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ද එබඳු යෝජනාවක් කර ඇත. එහෙත් සමහර පාර්ශ්ව වෙතින් ඊට සාර්ථක ප්‍රතිචාර ලැබී නැත.

අගමැතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ පළමු ප්‍රයත්නය වී ඇත්තේ රටේ පවතින මූලික ගැටලු ටික ජාත්‍යන්තර සහයෝගය මත විසඳා ගැනීමය. ඒ හැර වෙනත් විකල්පයක් අපට නැත. ආණ්ඩුවේ උත්සාහය සාර්ථක බව මේ වන විටත් සනාථ වී ඇත. මෙහි දෙවන පියවර වන්නේ ජනතාවට සහන ලබා දෙන නව අයවැයක් ඉදිරිපත් කිරීම හා රජයේ ආදායම් මාර්ග ශක්තිමත් කර ගැනීමය. ඒ දෙකම කළ හැක්කේ පාර්ලිමේන්තුවේ හා ජනතාවගේ ද සහයෝගය ඒ සඳහා ලැබුණහොත් පමණි. පක්ෂ නායකයන් කඹ අදින්නට පටන් ගතහොත් වැඩසටහන් සියල්ල අවුල් වනු ඇත. පොදු ජනතාව නීතිය අතට ගෙන ආර්ථිකය හසුරවන තැනකට ගියහොත් එයින් ද සැලසුම් අවුල් වනු ඇත. අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අතුරේ යනවා බඳු අභියෝගාත්මක ගමනක යෙදී සිටිති.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්