Mar
17

උමාරියා කීබෝඩ් වීරයන්ගේ කනෙන් අල්ලා දෙහි කපයි

 
1772 Views
   
 

පසුගිය කාලයේදී ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රයට දායාද වූ රත්තරන් දායාදයක් ලෙස ‘‘උමාරියා’’ හඳුන්වන්න පුළුවනි. විවිධ ශෛලීන් වලින් ගීත ගැයීමේ සුවිශේෂී දක්‍ෂතාවයක් ඇති ‘‘උමාරියා’’ ගැන වැඩි දෙනෙකුගේ අවධානය යොමුවූ මොහොතක, ඇයගේ ‘‘මන්ඳ පමා’’ ගීතයද මේ දිනවල නිතර ඇහෙන මොහොතක, තවත් පමා නොවී, ඇය සමග අපි පිළිසඳරකට එක්වෙමු.

• උමාරියා කොහොමද ජීවිතේ?

ගොඩාක් හොඳින් ඉන්නවා. ධනාත්මකව හිතමින් ජීවිතයට මුහුණ දෙන බව කියන්න පුළුවනි. මගේ ඉදිරි ගමන තවත් ශක්තිමත්ව ගෙන යන්න තමයි මේ දිනවල ප්ලෑන් කරන්නෙ. ජීවිතේ සමහරවෙලාවට කටුක දේවලටත් මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේ කටුක දේවලට මුහුණ දුන්නාම කොහොමද එයින් එළියට යා යුත්තෙ කියලා හිතාගෙන අපි පෙරටත් වඩා ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්න ඕනෑ. බාධක එනකොට අපේ වැඩ ඔක්කෝම පැත්තකට දාලා ඒවා එක්ක හැප්පෙනවද? නැත්නම් අපට ගල් මුල් ගහන අයගෙ ගල් එකතු කරලා, ගෙවල් හදන්න ඕනෑද? කියලා අපි කල්පනා කළ යුතුයි.

• කටුක සිදුවීම්වලට ඒ වගේම ඔබගෙ ජීවිතයට අදාල නොවූ, සිදුවීම්වලට මුහුණ දෙන්න වුණාම ඔබ ජීවිතයට මුහුණ දෙන්නෙ මොන විදියටද?

අපේ පවුල් පසුබිම සහ ඒ ශක්තිමත් පදනම මට තියෙනවා. මගේ පවුලේ අය, මගේ යාළුවෝ වගේම ක්ෂේත්‍රයට ආ දවසේ ඉඳලාම මාත් එක්ක සිටි ප්‍රේක්‍ෂකාගාරය මට ඉන්නවා. එයාලා මාව හමුවෙලා නැතත්, එයාලා මගේ චරිතය මොනවගේද, මම මොනවගේද කියලා හොඳින්ම දන්නවා. ඒ වගේ මිනිස් හමුදාවක් මට තිබීම ගැන ලොකු සතුටක් තියෙන්නෙ. ඒක මට ලොකු ශක්තියක්. මොන විදියෙ හෝ කටුක සිදුවීම් වලට මුහුණ දුන්නත් එය මට නොදැනෙන්නෙ මට ආදරය කරන ලොකු මිනිස් පවුරක් මා වටා සිටීම නිසයි. ඒ අතින් මම හරි වාසනාවන්තයි.

• ‘‘උමාරියා’’ ඇත්තටම ඔබ කවුද? ඔබ ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?

කාටවත් කරදරයක් නැතුව, හැකි විදියට බොහෝ දෙනාට උදවු කරලා, සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. මගේ පාඩුවෙ ඉන්න කෙනෙක්.

• උමාරියා ජීවත් වෙද්දී, මොන විදියට ජීවත් වෙන්න ඕනෑය කියලද හිතන්නෙ?

වෘත්තීය ජීවිතේ සහ මගේ පුද්ගලික ජීවිතේ ගත්තොත්, ඒ අංශ දෙකේදීම ‘සතුටින්’ ජීවත්විය යුතුය කියන අරමුණ තමයි මට තියෙන්නෙ. මම කරන ‘‘සංගීතය’’ වෙතින් මම ලබන්නෙ සතුටක්. ඒ වගේම පුද්ගලික ජීවිතේදී මොන ප්‍රශ්න ආවත් හිත හදාගෙන සතුටින් ජීවත්වීම මගේ අරමුණයි. ‘‘සතුට’’ කියන දේ එක්ක තමයි මම කවදාහරි මැරෙන්නත් ඕනෑ.

• ජනප්‍රිය වූ තරමට විවිධ කටකතා, බොරු ප්‍රචාරය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදි කොහොමද ජීවිතයට මුහුණ දෙන්නෙ?

ජීවිතේ අපට අවශ්‍ය හොඳ දේ මිසක්, වැඩකට නැති දේ නෙවෙයි. ඇත්තටම අපට අදාල නැති අනවශ්‍ය දේ ගැන හිතන්නවත් ඕනෑ නැහැ. මොකද ඔය කියන බොරු දේ වලට මගේ අවධානය යොමු කරන්න ඕනෑ නැහැ.

• ඔබ, ගායන ක්ෂේත්‍රයේ ‘‘තරුවක්’’, ඔබ කොහොමද සමාජ මාධ්‍ය භාවිත කරන්නෙ?

මගේ සංගීතමය ජීවිතේ නිර්මාණ සහ ඒ කටයුතු ප්‍රචාරය කරවා ගැනීමට විතරයි සමාජ මාධ්‍ය ඔස්සේ මුල්තැන දෙන්නෙ. ඒ හැර මගේ පුද්ගලික ජීවිතේ පවුලේ ඡායාරූප පළ කරන්න මම කැමති නැහැ. මගේ පුද්ගලික ජීවිතයට උපරිම ගරු කරන කෙනෙක්. ඒ ජීවිතේ මට ලෝකයාට පෙන්වන්න ඕනෑ නැහැ.

• ලංකාවේ සමාජ මාධ්‍ය භාවිත කරන අයට ඔබට දෙන්න තියෙන පණිවුඩය මොකක්ද?

සමාජ මාධ්‍යයේ විකාශයත් එක්ක ‘‘කී-බෝඩ්’’ වීරයින් ටිකක් ආවා. එයාලා කෙනෙකුගෙ මූණට යමක් කියන්නෙ නැහැ. මඩ ගහන්න හදන්නෙ මුහුණට පිටුපසින් ඉඳලා. සමාජ මාධ්‍ය භාවිතයේදී හොඳ–නරක දෙකම තියෙනවා. ඕනෑම දෙයක හොඳ නරක තියෙනවනෙ. හැබැයි සමාජ මාධ්‍යයේදී, අපි නිතරම හොඳ දේ විතරක් භාවිත කිරීම වෙතින් ප්‍රකාශ වෙන්නෙ අපි දියුණු සමාජයක් කියන එකයි. හොඳ මිනිස්සු කියන එකයි. පුද්ගලික ජීවිතේ දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරියාම සිද්ධ වෙන්නෙ කී බෝඩ් වීරයින්ට තමුන්ව විවේචනය කරවන්න අවස්ථා ලබාදීමයි. අපේ රටේ සමාජ මාධ්‍ය ඔස්සේ හොඳට වඩා නරක තමයි වැඩි. ඒ නිසා හැමෝම හොඳ දේ වැඩිපුර කරනවා නම් හොඳයි. අපට මඩ ගහන්න බලාගෙන ඉන්න මානසික මට්ටමින් පහත් අය වෙනුවෙන් අපේ පුද්ගලික දේ පළ කිරීම කළ යුතු නැහැ.

• වෙනත් රටවල සමාජ මාධ්‍ය භාවිත කරන විදිය සසඳා බලද්දී, අපේ රටේ සමාජ මාධ්‍යයේ හැසිරීම මොනවගේ කියලද හිතන්නෙ?

පොදුවේ ගත්තොත්, සමාජ මාධ්‍ය ලෝකයට ආවාම, ‘‘කී බෝඩ්’’ වීරයින් එළියට ආවා. අපේ රටේ අපට සංස්කෘතියක් තියෙනවනෙ. ඒක මුල්කරගෙන කතා කළත්, රටේ ඕනෑම දෙයක් මට හිතෙන විදියට ඕනෑවට වඩා වැඩියි. මොන දේ කතා කළත් එහෙමයි. ඒ නිසා අපේ රටේ සමාජ මාධ්‍ය භාවිතය ප්‍රාථමික තත්ත්වයට වැටිලා. එහෙම වෙලා තියෙන්නෙ 2000 න් පසුව බිහිවූ තාරුණ්‍යයේ සමහර දෙනා නිසා කියලයි මට හිතෙන්නෙ. එයාලා තවම පොඩි ළමයි, ජීවිතේ අත්දැකීම් අඩුයි. තාවකාලික වින්ඳනයක් ගන්න, පහත් මානසික මට්ටමකින් සමාජ මාධ්‍ය භාවිතා කළ යුතු නැහැ.

• මොන විදියකින් හෝ හිත රිදුනාම ඔබ කොහොමද ඉක්මණටම එය සුවපත් කරගන්නෙ?

නිතරම ධනාත්මකව හිතන්න පුරුදු වූ කෙනෙක් නිසා කොහොම හරි හොඳ දේ වෙතින් එළියට එන කෙනෙක් මම. හිත රිදුමට දෙයක් වුණොත්, කාලයට ඉඩ දීලා, ඒ ගැන සසඳා බලා, කටයුතු කිරීමයි. ඒක අනවශ්‍ය දෙයක් නම්, මම කොහෙත්ම ඒ ගැන හිත හිතා කාලය ගෙවන්නෙ නැහැ.

• සිරස ‘‘ද වොයිස්’’ වැඩසටහනේ විනිශ්චයට එක්ව සිටින උමාරියා, ඒ ගැනත් ටිකක් කතා කරමු? එතැනදි ඔබ හැසිරෙන්නෙ හරියට ගෙදර වගේ? වොයිස් වැඩසටහනට එක්වීම වෙතින් ඔබ බලාපොරොත්තු වන්නෙ මොකක්ද?

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ‘‘වොයිස්’’ වගේ වේදිකාවක් ලංකාවට ආ එක ගැන මුලින්ම සතුටු වෙන්න ඕනෑ. අපේ රටේ දක්‍ෂතා ඇති අයගෙ හැකියාවන් එළියට දාන්න සිරස ගත් උත්සාහය ගැන මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෑ. වොයිස් විනිශ්චයේදී ඉන්නෙ ඇත්ත ජීවිතේ උමාරියා. එතැනදි මම කරන්නෙ බොරු රඟපෑමක් නෙවෙයි. මේ වගේ වේදිකාවක් වෙතින් ජාත්‍යන්තරයට යන්නෙ අපේ ශ්‍රී ලාංකිකයින්. මේ වැඩසටහනට ඉදිරිපත්වන අය පුදුම දක්‍ෂයින්. මගේ ටීම් එකට එන අය සියයට–සීයක්ම හොඳ නැති වෙන්න පුළුවන්. ඒත් දක්‍ෂතාවය මැන බලා එයාලට අවස්ථාවක් දෙන්න පුළුවන් නම් හොඳයි කියන තැන ඉඳලා මම විනිශ්චය දෙන්නෙ.

• කසුන් එක්ක උමාරියාට ගීතයක් ගයන්න හිතෙන්නෙ නැද්ද?

මීට කලින් කසුන් අයියා එක්ක ‘‘සෙනෙහෙ අම්මා’’ නමින් ගීතයක් කළා. ඔව්, ඇත්තටම කසුන් අයියා එක්ක අලුත් ගීතයක් කරන්න ඉන්නෙ.

• එතකොට මේ දිනවල උමාරියාගේ ‘‘සංගීත’’ කටයුතු මොනවගේද?

මගේ අලුත්ම ගීත ඇල්බමය ළඟදීම නිකුත් කරන්න මේ දිනවල කටයුතු කරගෙන යනවා. ඊට අමතරව තව අලුත් මියුසික් වීඩියෝ කීපයකුත් එන්න තියෙනවා. ඒවා එක්ක මේ දිනවල මම කාර්ය බහුලයි.

• ඔබ මේ විදියට කරන–කියන සියල්ල දිහා බලා සිටින ඔබගේ සැමියා මොනවද උමාරියාට කියන්නෙ?

එයා මා ගැන බොහෝම ආඩම්බරයි. කටුක සිදුවීම් අතරේ මම ඒවාට මුහුණ දෙන විදිය ගැන එයාට ආඩම්බරයි. එයාගේ ඒ සහයෝගය තියෙනවා. ඔව් එයා මා ගැන ආඩම්බර වෙනවා.

• චිත්‍ර අඳින, රහට කෑම හදන උමාරියා ළඟදී හදපු රසවත් කෑම මොනවද?

පසුගිය දිනවල එච්චර අත්හදා බැලීම් සහ අලුත් කෑම වට්ටෝරුවලට යන්න බැරිවුණා දිගටම කාර්ය බහුලවූ නිසා. අන්තිමට දවසක් උදේම අවදිවෙලා මගේ සැමියාගේ අම්මා එක්ක එකතුවෙලා රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා.

• එතකොට ශෂිකා එක්ක?

ශෂිකා අක්කි හරිම හොඳ ගුණයහපත් කෙනෙක්. මම හරිම ආදරෙයි ශෂිකා අක්කාට. කසුන් අයියාවයි – ශෂිකා අක්කාවයි මෙච්චර ළඟින් ඇසුරු කරන්න ලැබුණෙ ‘‘ද වොයිස්’’ නිසයි. ඒ දෙන්නා දැන් මට මගේම සහෝදරයින් වගෙයි.

• ‘‘ද වොයිස්’’ විනිශ්චයේදී අනිත් විනිශ්චයකරු විනිශ්චය දීමට පෙර, ඔබ ගිහින් ඔහුගෙ මනාපයේ ස්විචය ඔබනවා. ඇයි එහෙම කරන්නෙ?

ඒක එයාගෙන් අහල තමයි එහෙම කරන්නෙ, එහෙම නැතුව එයාගේ පුටුව හරවන්නෙ මගේ බලපෑමකට නෙවෙයි. අපි ඔක්කෝමලා මේ වැඩේ විනිශ්චය කරන්නෙ හරිම මිත්‍රශීලීවයි. ඒ වගේම හරිම සැහැල්ලුවෙන්.

සටහන, ඡායාරූප – සඳුන් ගමගේ

Courtesy – Saaravita

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්