May
30

‘මං ගෙදර එද්දි එයා නෑ, එයා ගෙදර එද්දී මං නෑ’ – මවකගේ සංවේදී කතාව

 
173 Views
   
 
ඒ ආරංචිය ඇහුන ගමන් එයා පුදුම වුනේවත් නෑ…
ගැහැනු දරුවෙකු තරුණ වියට පා තැබීමත් සමග ඇයගේ අනාගත සැමියා සම්බන්ධයෙන් විවිධ වූ හීන දකින්නීය. එවැනි අයෙකු සමග විවාහ වීමෙන් පසුව ඇයගේ ඊළග බලාපොරොත්තුව දරු සුරතල් බැලීමය… එවැනි අවස්ථාවක ඇයගේ සැමියා තම සමීපයේ සිටිය යුතු යැයි ද ඇය සිතයි. ඒ ඇයට කුඩා දෙයකින් වූවත් සතුටක් ලබන්න හැකි නිසාය. එහෙත් අප ගත කරන මේ ධනවාදී ආර්ථික ක්‍රමය තුළ මෙය එතරම් සාර්ථක නොවේ. මෙවැනි සමාජ ක්‍රමයක ජීවත් වන අම්මා කෙනෙකු විසින් සමාජ මාධ්‍ය තුළ ඉතා අපූරු සටහනක් තබා තිබුණේ මෙලෙසින්ය.
ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තම  එයා මාව බදාගෙන සතුටින් කෑගැහුවෙවත් , මාව වඩාගෙන කැරකුනේවත් නෑ . අඩුම තරමේ ඒ ආරංචිය ඇහුන ගමන් එයා පුදුම වුනේවත් නෑ. මං එයාට කෝල් කරනකොට එයා වැඩ ගොඩක හිරවෙලා හිටියේ. අපි උපරිම තත්පර තිහක්වත් කතා කරන්න නැතුව ඇති .
එයාගෙ රස්සාවෙයි මගෙ රස්සාවෙයි වෙලාවල් කොච්චර ගැලපෙනවද කියනවනම් එක ගෙදර ඉඳලත් එදා දවසම අපි මුණගැහුනේ නෑ. එයා  වැඩ ඇරිලා ගෙදර එනකොට මං වැඩට ගිහින්.ඉතින් අපි දෙන්නගෙ වැදගත් දවස සාමාන්‍ය දවසක් වගේ ඔහේ ගෙවිලා ගිය එක ගැන මං හිටියේ පුංචි දුකකින්.
බන්ඩියට මාස දෙකක් වගේ වෙනකොට මට කිසිම දෙයක් උයන්න බැරි උනා. උයන තැනකවත් ඉන්න බෑ. කෑම සුවඳ වෙනුවට මට දැනුනේ පුදුමාකාර ගඳක්. ඒ ගඳ දැනුනු ගමන් වමනේ යනවා. ඉතින් එයා පාන්දරින්ම නැඟිටලා කාමරේ දොරත් වහලා මං ඇහැරෙන්න කලින් උයලා ඉවර කරනවා. සමහර දවස්වලට මං වැඩ ඇරිලා ගෙදර එන්න කලින් එයා ඇවිත් දඩි බිඩියේ මොනාහරි හදලා තියෙනවා. උදේට ඩියුටි යන්න කලින්, නැත්නම් වැඩ ඇරිලා ගෙදර ආවම මහන්සියට බොන්න එයා හදලා තිබුන අනෝදා බීම වීදුරුව, කොමඩු බීම වීදුරුව ඒ මාස නමය පුරාවටම කවදාවත් මඟහැරිලා නැහැ. 
ප්‍රෙග්නන්ට් කාලෙට බන්ඩි අම්මලාට දොළ දුක් එනවනේ. උපතින්ම බඩජාරියෙක් වුනු මටත් දොළ දුක් නොසෑහෙන්න ආවා. එක එක දවසට   එක එක දොළ දුක්. සමහර දේවල් දොළ දුක් කීවට මගෙ පෙරේතකමට ඇතිවුනු ආසාවල් වගේ. ගොඩාක් වෙලාවට මට මොනාහරි දෙයක් කන්න ආසා හිතුනොත් කියන්නත් කලින් එයා මට ඒවා ගෙනත් දීලත් ඉවරයි. ඉස්සො එහෙම ප්‍රෙග්නන්ට් කාලෙට කන්න එපා කියනවනේ අපෙ අම්මලා. ඒත් මට වැඩියෙන්ම කන්න හිතුනෙ ඒවා. ඉතින් අපේ ඩොක්ටර්ගෙන් අහලා , අම්මලට හොරෙන් සීමාවක් ඇතිව කන්න ඒවා හදලා දුන්නා. 
බන්ඩියට මාස හත අටක් වෙද්දී පැය දොළහ පැය දහ අට ඩියුටි කරලා නිදිමරලා ගෙදර එනකොට මගෙ කකුල් දෙක හරියට අලියෙක්ගෙ කකුල් වගේ වෙලා. සපත්තු දාගන්න බැරි තරමට ඉදිමිලා. ගොඩක් දවස්වලට රෑට නිදාගන්නත් බැරි තරම් කකුල් කැක්කුම. පහුවදා උදේට කකුල් දෙක බිම තියලා ඇවිදින්න පුළුවන් වෙන්නේ එයාගෙ කකුල් මසාජ් කිරිල්ලෙ පිහිටෙන්. 
වෝඩ් එක බිසී වෙනකොට මට සමහර දවස්වලට ක්ලිනික් යන්න නිවාඩු හම්බවෙන්නේ නෑ . අඩුම තරමේ වරුවක්වත් නෑ. සමහර වෙලාවට එදා උදේ වෙනකම් ෂුවර් නෑ යන්න පුළුවන් වෙයිද කියලා. ක්ලිනික් යන්න මගෙ සූදානම එහෙම උනත්,  සතියකට කලින් ඉඳලම ක්ලිනික් යන්න කියලා එයා නිවාඩු අනුමත කරගෙනත් ඉවරයි.
 
සමහර දවස් වලට එයා වැඩ ඇරිලා ගෙදර එද්දී රෑ දොළහත් පහුවෙනවා. ඊට පහුවදාට ආයෙත් පාන්දර පහට විතර ගෙදරින් යනවා. තවත් දවස් වලට මං ගෙදර ඉද්දි එයා ගෙදර නෑ. එයා ගෙදර ඉද්දි මං ගෙදර නෑ. ඒ දේවල් කොහොම උනත් මගේ ජීවිතයේ ගෙවුනු අවුරුදු ගානටම ඒ මාස නමය, එයා මට කවදාවත් අමතක නොවන ලස්සන මතක ටිකක් ඉතුරු කලා. ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත පලවෙනි දවස සාමාන්‍ය දවසක් වුනු එක ගැන මං දුකෙන් හිටියත් සම්පූර්ණ මාස නමයෙම හැම දවසක්ම එයා මට විශේෂ දවසක් කළා සමහර දවස් වලට ළඟින් නොහිටියත්. 
හැමදාම උදේට නැඟිටිද්දියි, රෑට නිඳාගද්දියි තාත්තා අම්මාගෙ බන්ඩියට කිස් එකක් දෙන එක බන්ඩියේ ඉද්දි දැකලද කොහෙද අවුරුදු තුනට ලං වුන පුතත් අම්මට එහෙම කරනවා.
හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ වැදගත්ම කාලයක් තමයි එයා අම්මෙක් හරි තාත්තෙක් හරි වෙන්න සූදානමින් ඉන්න කාලේ. ඉතින් බන්ඩි අම්මෙක්ට ඒ දවස් ටික සුන්දර මතක පිරුණු කාලයක් කරන්න පුළුවන් ආදරණීය ස්වාමිපුරුෂයෙක්ට විතරමයි. ළඟින් ඉන්න බැරි අවස්ථා තිබුනත් ඔහුගේ සෙනෙහස ඇයට  දැනෙන්න දෙන්න පුළුවන්නම් ඒත් ඇති හොඳටම.
පින්තූරය – බොඳ වෙලා තිබුනත් මේ ෆොටෝ එකට මං ගොඩක් ආදරෙයි. මේ වෙලාවේ මට දැනුනේ මං හරියට අයිස් කන්දක් අස්සේ හිරවෙලා ඉන්නවා වගේ. එච්චරටම සීතලයි, ඒ වගේම බයයි. ඒ බය නැතිවෙලා සැහැල්ලුවක් දැනුනේ හබියා පිටිපස්සේ ඉඳන් මගේ උරහිස් දෙක මසාජ් කරපු නිසයි.
බුද්ධි ජයවීර
මෙන්න බලන්න තවත් ගොසිප්