අලුත විවාහ වූ ඔවුන් දෙදෙනා පුත්තලමේ පදිංචි යුවලකි. සැමියා රැකියාව කරන්නෙ යුද හමුදාවේ වූ අතර උතුරු පළාතේ සේවය කරන නිසා නිතරම නිවසට එන්න ලැබුනේ නැත.
බිරිඳ දෙමව්පියන්ට බාරදී ඔහුට රැකියාවට යාමට සිදුවිය. තම ලේලිය හොඳින් බලාගත් දෙමහල්ලන් ඇයට වෙනස්කම් සිදු නොකල අතර නැන්දා ලේලි අරගලයක්ද නොවීය.
පියා හේන් ගොවිතැනේ නිරතවූ අතර මව ගෘහණියක වූවාය. ලේලිය ඇඟලුම්හලක සේවයේ නිරතවිය. නැන්දණිය ලේලියට තම දියණියට මෙන් ඉමහත් ආදරයක් දැක්වූවා මෙන්ම දෙදෙනා නිදා ගත්තේ එක ළඟය.
මාමණ්ඩිය වෙනම කාමරයක නිදා ගත්තේය. පවුලේ සමගිය කාටත් රහසක් නොවූ අතර ඔවුන්ගේ සමගිය ගමට ආදර්ශයක් විය. පුතා නිවාඩුවට පැමිණෙන්නේ මාස 03කට වරකි.
අඩුපාඩු අගහිඟකම් නොවීමට ඔහු වගබලාගත් අතර තමා ළඟ නොසිටියත් බිරිඳට අඩුපාඩු කළෙත් නැත. මෙලෙස එක් දිනක් රාත්රී නින්දෙන් අවදිවූ ගෘහ මූලිකයා යාන්තම් එළිය ඇති කුප්පි ලාම්පු එළිය දිගේ පැමිණියේ දෙදෙනා නිදන කාමරයටයි.
“මොකද චම්පා ඔයා ඔලුවෙ ඉඳන් පොරවගෙන කවදාවත් නැතුව? නැගිටින්න.”
එසේ කියමින් පෙරවනයෙන් අදින්නට වූ අතර “මෙන්න හොරෙක් අම්මේ තාත්තේ” යැයි කියමින් ලේලිය බෙරිහන් දෙන්නට විය.
එළියට ගොස් සිටි නැන්දණිය දුව ආවේ බියෙන් ගැහෙමිණි. මේ අතර වැඩේ වැරදුන බව දැනගත් මාමා තම කාමරයට පැන ගත්තේ දෙවියන් බුදුන් සිහි කරමිනි.
“අනේ අම්මේ කවුද මිනිහෙක් මොනවද කියලා මගේ රෙද්දෙන් ඇද්දනේ. මගෙ පපුව තාමත් ගැහෙනව.” නැන්දණිය බදාගත් ඇය අඬන්නට වූවාය.
කාරණය තේරුම්ගත් නැන්දණිය “ඔයා බය නැතුිව නිදාගන්න දුවේ. හීනයක් වෙන්න ඇති. “
බිය නැති කිරීමට පැවසුවත් ලේලිය පිළිගත්තේ නැත.
“චම්පා නැගිටින්න කියනවත් ඇහුණ අම්මෙ. හීනයක් නම් වෙන්න බෑ”
“ඔයා කලබල නැතුව පන්සිල් අරගෙන නිදාගන්න. මමත් ළඟ ඉන්නවනෙ.”
පසුවදා උදේ පිබිදුණ නැන්දණිය සැමියාට දෙස් දෙවොල් තියන්නට වූවාය. ඉන්පසුව කිසිම දිනක ඔහු ඒ කාමරයට රිංගුවේ නැත.
සාමය සමගිය තවදුරටත් ගෙන යාමට හැකිවූයේ අනූනවයෙන් බේරුණ බැවිනි. සිද්ධිය පුතාට රහසක් ලෙස තබාගැනීමට ඇය සමත් වුනත් ලේලිය ගම පුරා එය ගිනි තියන්නට වූවාය.
ඉන්පසුව පියාගේ හැටි දැනගත් කවුරුත් ඔහු දෙස බැලුවේ සමච්චලයටයි. “කිරි කලේට ගොම දැම්ම වගේ වැඩක් තමයි වුණේ” නැන්දණිය කීවාය.