ඉස්කෝලෙ ගිය කාලෙ කිව්වමත් හිතට දැනෙන්නෙ මාරම සතුටක්. ඒක අමතක කරන්නට බැරි කාලයක්. හැමෝගෙම ජීවිත ඒ තරමට සුන්දරයි. ඒ සුන්දරත්වය අපිත් උපරිමයෙන්ම වින්දා.වොල්ගා ඇයගේ පාසල් කාලය ගැන ඒ විදියට කතා කරද්දී මට මතක් වුණේ අපේ ජීවිතවලට බද්ධ වෙලාම තියෙන අපූරු ගීතයක්. සමනළ රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවානම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ.
ඒ ලස්සනම කාලෙ ආයෙත් විඳින්න ආස වුණත් සැබෑවටම ඒ දේ විඳින්න අපිට පුළුවන්කමක් නැහැ. නමුත් ඒ අතීතය මතක් කරගෙන හිතින් සතුටු වෙන්න අපිට පුළුවන්. ඒ නිසාමයි අපි අලුත් අවුරුද්දෙ සුන්දරම විශේෂාංගයක් සඳැල්ලට එකතු කරන්න හිතුවෙ. ඉතින් මෙවර ඉස්කෝලෙ ගිය කාලේ විශේෂාංගයෙන් එකතුවෙන්න තාරුණ්‍යයේ හඳ බැඳගත් ආදරණීය රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනී.
මම ඉස්කෝල දෙකකට ගියා. ඒ කඳාන සෙබස්තියන් විද්‍යාලයටත් මොරටුව වේල්ස් කුමාරි විදුහලටත්. ජීවිතේ වැඩි කාලයක් ගත වුණේ කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලේ. මොකද මම O/L දක්වා ඉගෙන ගත්තෙ ඒ විදුහලෙන්. A/L කරන්න තමයි වේල්ස් කුමාරි විදුහලට ගියේ.
ඉතින් ඒ පාසල් දෙකත් එක්කම මම බොහොම සමීපව ගණුදෙනු කළා. ඒ කාලෙදිත් ළමා වැඩසටහන්වලට සම්බන්ධ වෙලා හිටියා. ඒ විවිධ නාළිකාවල රන්සිත් යාය, දේදුණු හැන්දෑව, අතුරු මිතුරු වගේ වැඩසටහන් කිහිපයකම නිවේදනයෙන් සම්බන්ධ වෙලා හිටපු නිසා ගොඩක් ළමයි මාව දන්නවා. පාසලෙත් යම්කිසි කලා කටයුත්තක් සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මම එතන හිටියා. ඒ නිසා පාසලේ පොඩි ජනප්‍රියත්වයකුත් තිබුණා.
නමුත් මම පාසල ඇතුළේ රංගනයට නම් සම්බන්ධ වෙලා නැහැ. නිවේදනයෙන් සහ නර්ථනයෙන් තමයි පාසල් වේදිකාවෙ යම් දක්ෂතාවයක් දැක්වුවේ. නිවේදන අංශයෙන් ගුරුවරුන්ගෙන් යාළුවන්ගෙන් හොඳ ප්‍රතිචාර තිබුණා. ගොඩක් දුරට කලා උළෙලවල් සාහිත්‍ය දින නිවේදනය කරන්න සහභාගි වුණා. ඒ වගේම කඳාන සෙබස්තියන් විදුහලේ බටහිර තූර්ය වාදක කණ්ඩායමෙත් වේල්ස් කුමාරි විදුහලේ අපරදිග තූර්යවාදක කණ්ඩායමේත් හිටියා.. කලාව පැත්තට ඒ විදියේ නැඹුරුවක් තිබුණත් වෙනත් කිසිදු අංශයකට මගේ සහභාගිත්වයක් තිබුණෙ නැහැ. විශේෂයෙන් ක්‍රීඩා පැත්තට ඒ අංශයට කිසිදු දක්ෂතාවයක් තිබුණෙත් නැහැ. ඒ කොහොමත් මම දාඩිය දාගෙන මහන්සිවෙලා දෙයක් කරන්න කැමතිත් නැහැ. ඉතින් ස්පෝට්මීට් කාලෙ එහෙම අපි මොනවත් කළේ නැහැ. නමුත් යාළුවො එක්ක එකතුවෙලා ඒ කාලෙදී පිස්සු වැඩ කරන්න නම් ගොඩක් කැමතියි.
ඒ කාලෙනම් ඉතින් ඇත්තටම මාරම සුන්දරයි. ඇයි ඉතින් පන්තිවල උගන්වන්නෙත් නෑනෙ. සෙල්ලමම තමයි. ඒ නිදහසේ ඉන්නවා.
ඉතින් අපේ යාළුවෝ සෙට් එකකුත් හිටියා පිස්සු නටන්න අපි ඔක්කොම එකම නිවාසයක නොවුණත් ඉන්නෙ එක නිවාසයක. හැම නිවාසයකම යාළුවො ඉන්නවනෙ ඉතින් හැම එකකටම යනවා. ඒ කාලෙ නිවාසවලට හට් ගහනවා. එහෙමනෙ. අපි ක්‍රීඩා නොකළත් ඒවාට උපරිමයෙන්ම උදව් කරනවා. මගෙ යාළුවො තමයි කමාලි, අරුණි, මදුෂානි, ගයනි, මයුමිකා ඒ ඒක පාසලක අනිත් පාසලේ හිටියෙ යොනාලි, නදීශා, රංගිකා, රමින්තා, සෙව්වන්දි, නිමන්තිකා මේ කණ්‍ඩායම් දෙක එක්ක එකතුවෙලා තමයි හැමදේම කළේ. ඒ එකතුවෙන් කරපු හොඳ වැඩ චණ්ඩි වැඩ ජල්තර වැඩ හැමදේම තිබුණා.
පන්තියේ ඉන්න බෑ කියලා හිතුණොත් පීරියඩ් කට් කරපු අවස්ථා තිබුණා. ගොඩක්ම කොමර්ස් පීරියට් එක තමයි කට් කළේ. ඒ කට් කරලා නැටුම් කාමරේ තමයි හිටියේ. ඒ වගේම ඉස්කෝලෙ වෙලාවෙ ඔනෑ තරම්. හොරෙන් කාලා තියෙනවා. හැමෝම උදේට දවල්ට බත් අරගෙන ආවත් ඒවා කළින් කාලා ඉවරයි. මට මතක විදියට ඒ කාලෙ මම එක දවසක් මගේ අතින් කෑම කාලා නැහැ. මගෙ යාළුවන්ගෙන් කමාලි නැත්නම් අරුණිට කියලා තමයි මම බත් කවා ගත්තේ.
ඒ වගේම අපේ සමහර වෙලාවට බෞද්ධ සහ කතෝලික අය හිටපු නිසා කතෝලික අය මොනවා හරි එයාලගේ ආගමික කටයුත්තකට හරි ගිහින් එද්දි ඒ අයගේ කෑම ඔක්කොම අපි කාලා තියෙන්නෙ. ඒ සිදුවීම ගොඩාක් වුණා. ගුරුවරු උගන්නද්දිත් අපිට කෑම කන්න හිතුණොත් කනවා. විශේෂයෙන්ම අපි ඉස්කෝලෙ දී අච්චාරු හදාගෙන කන එක කළා. අඹ, වෙරළු වගේ අච්චාරු කන්න මාරම ආසයි. ඉතින් ඒවා අපි ගෙවල්වලින් අරගෙන ගිහින් හදාගෙන කනවා. ඒ එක වතාවක දී අපේ ටීචර් කෙනෙකුට අහුවුණා. අපි පන්තිය පිටිපස්සෙ අඹ තියාගෙන ඒවා කපලා අච්චාරුවකුත් හදාගෙන හිටියා. උගන්වන වෙලාවෙදි. ඉතින් ඒ අවස්ථාව තමයි ටීච දැක්කේ. අපි කොහොමත් වැදගත්කමට වැරදි පිළිගන්න ළමයිනෙ. ඒ නිසා එදා ඒ වැරැද්ද පිළි අරගෙන පුංචි දඬුවමකුත් වින්දා. ඒ කාලෙ වින්ද මතකයේ තියෙන ලොකුම දඬුවම තමයි අපි ඉස්කෝලෙදී එක වතාවක් පන්ති දෙකක ගහගෙන චණ්ඩි වැඩක් කළා. ඒ අපේ පන්තිය ළඟ ටැප් එකක් තියෙනවා. ඒ ටැප් එකට වෙනත් පන්තියක ළමයි එනවා. අත හෝදන්න. ඒකෙන් අත හේදුවම අපේ පන්තිය ළඟ අපිරිසිදු වෙනවා. ඉතින් ඒ දේ කරන්න එපා කියලා අපි ඒ ළමයින්ට දෙපාරක් විතර කිව්වා. ඒත් ඇහුවෙ නැහැ. ඊට පස්සෙ අපි ගිහින් ගැහුවා. ඒ ගහද්දි රණ්ඩු වෙද්දි අපේ එක යාළුවෙක් වැටිලා එහෙම සිද්ධී ගොඩයි. ඉතින් වලිය ලොකුවටම ගිහින් අපි ප්‍රින්සිපල්ටත් අහුවෙලා. ඔෆිස් එකට එක්කන් ගිහින් එතන ලොකු වෙලාවක් හිටවලාත් තිබුණා. ප්‍රින්සිපල්ගෙන් දඬුවම් වින්දත් අපිට ඕන වුණ දේ නම් සිද්ධ වුණා. මොකද අපි ගැහුවට පස්සෙ ඒ ළමයි ආයෙත් අත් හෝදන්න අපේ පන්තියට ආවෙ නැහැ. අපිට බය වුණා. ඒ වගේ චණ්ඩි වැඩ තමයි තිබුණෙ. ඇත්තටම ඒ කාලෙ දඟලලා හිනාවෙලා චණ්‍ඩි වැඩ කරලා පිස්සු නටන්න තමයි අපි හැමෝටම ඕනෑ වුණේ.
ඒ කාලෙ ලව් කරන්න එහෙම අපි කාටවත් ඕනෑ වුණේ නැහැ. පාසල් ප්‍රේමය කියන දේ ඒ කාලවල ගොඩාක් දෙනෙක්ට තියෙන දෙයක්නෙ. නමුත් මගේ ජීවිතේ ප්‍රේමය කියන දේ හරි අඩුවක් තිබුණෙ. ඒ කාලෙ ඉතින් අමතර පන්තිවලට එහෙම සහභාගි වුණාම පිරිමි ළමයි ඒ වගේ ඉන්නවා. ඒ අයගෙන් ලියුම් හම්බ වෙනවා. ආදර යෝජනා ලැබෙනවා. ඒවා තිබුණා. මටත් මගේ යාළුවන්ටත් ඒවා තිබුණා. ඉතින් අපිට ඒවත් එක්ක චොක්ලට් එහෙමත් ලැබිලා තියෙනවා. ඒවා කාලා ලියුම් අරගෙන එහෙම පැත්තකට වෙලා හිටියත් ඒවාට ප්‍රතිචාර දක්වන්න නම් ගිහින් නැහැ. අපි කොහොමත් පිරිමි ළමයි එක්ක කතා කළත් ඒ කාලෙ හරි බයෙන් කතා කරන්නෙ. මොකද යුනිෆෝම් ඇඳගෙන කතා කරන්න හරිම බයයි. කඳාන සෙබස්තියන් කියන්නෙ විනය උපරිමයෙන් තිබුණු ඉස්කෝලයක්. සිස්ටර් ගොඩාක් සැරයි. ඉතින් අපි හරි බයයි. ඒ කාලෙ
ඒ වගේම අපි කොච්චර පිස්සු වැඩ කළත් හොඳට ඉගෙන ගන්න ඕන කියන දේත් ඔළුවෙ තිබුණා. කොහොම ඒ හැමදේම අපේ කට්ටිය කර ගත්තා. මගේ යාළුවෝ කියන හැමෝම ඒ අයගෙ ජීවිත ලස්සනට හදාගෙන දියුණු කරගෙන අද වෙද්දී විවාහ වෙලා දරුවොත් හදාගෙන සතුටින් ජීවත් වෙනවා. කාටවත් වැරදිලා නැහැ. ඉතින් මේ හැමදේම එක්ක එදා ගැනත් අද ගැනත් සතුටුවෙන්න පුළුවන්.
ධනු විජේරත්න