Nov
20

“මේ දවස් වල චීන භාෂාව ඉගෙන ගන්නවා” – එමාෂා

 
1715 Views
   
 

මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන හිතුවක්කාරී ටෙලි නාට්යයේ රන්මිණි ගේ චරිතයට පණ පොවන ඇය දෙවනි ඉනිම ටෙලි නාට්යයේ සහේලි ලෙස ඔබ හදුනාගත් එමාෂා සෙනෙවිරත්නයි ඇය ගැන දැනගන්නට හදගැස්ම අපි ඇයට කතා කළා. 

කොහොමද මේ දවස්වල ජීවිතේ ?

කොවිඩ් හේතුවෙන් පහුගිය කාලේ නිවෙස් වලටම වෙලා හිටියා. දැන් ආයෙමත් වැඩ කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. එම නිසා ටිකක් කාර්යයබහුලයි. ජීවිතයේ හොදින් සතුටින් ගෙවෙනවා.

හිතුවක්කාරී ගැන කතා කරමු ? 

ස්වාධීන රූපවාහිනියේ සතියේ දිනවල රාත්රී 8.30ට විකාශය වන හිතුවක්කාරී ටෙලි නාට්යයේ ප්රධාන චරිතය වන රන්මිණිගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. මෙය අධිෂ්ඨානශීලී, අහිංසක තරුණියක් තමන්ගේ සිහිනය ඔස්සේ ගොස් ජීවිතය ජයගන්න ආකාරය වටා ගෙතුණු කුතුහලය පවුලේ ආදරය ගැන කතාවක්. අධ්යක්ෂණය ජී නන්දසේන මහත්මයාගේ. නිෂ්පාදනය කුෂාන් ටෙලි ෆිල්ම්ස් විසින්. තිර පිටපත මහේෂ් සත්සර මද්දුමආරච්චි. ශ්රියන්ත මෙන්ඩිස් මීනා කුමාරි, සාරංග දිසාසේකර, ශාන්ත ගාල්ලගේ, හර්ෂි රසංගා, අනුරාධ එදිරිසිංහ, සූර්යා දයාරුවන් ආදී ප්රවීණ සහ දක්ෂ රංගන ශිල්පීන් මෙය ටෙලිනාට්යය සඳහා රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

හිතුවක්කාරිට හොඳ ප්රතිචාර ලැබෙනවාද ? 

ඔව්. හිතුවටත් වඩා හොඳ ධනාත්මක ප්රතිචාර ලැබෙනවා.

ඔබ රංගන ක්ෂේත්රයට පිවිසුණේ කොහොමද ? 

මම මුලින්ම රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වලට සම්බන්ධ වුණා. එහෙම සිටින විට මට ටෙලි නාට්ය සඳහා ආරාධනා ලැබුනා. නමුත් ඒ වනවිට ටෙලිනාට්ය සඳහා සම්බන්ධ වෙන්න උනන්දුවක් තිබුණෙ නැහැ. අධ්යාපන කටයුතු සඳහා මුල් තැන දුන් නිසා. ඉන් පසුව නොහිතපු වෙලාවක 2018 වසරේ දී මට දෙවෙනි ඉනිම සඳහා ආරාධනා ලැබුණා. ඉතින් ඒකට සම්බන්ධ වුණා. දැන් අධ්යාපන කටයුතු අවසන් කරලාද තිබෙන්නේ. මම විද්යාවේදී කළමනාකරණ ගෞරව උපාධිය හදාරලා තිබෙනවා. ඒ වගේම මම ව්යාපාර පරිපාලනය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියත් අවසන් කළා. මේ දිනවල මම චීන භාෂාව ඉගෙන ගන්නවා. මම හරි ආසයි හැම වෙලාවෙම අලුතෙන් දෙයක් ඉගෙන ගන්න.

අධ්යාපනය ලැබූ ව්යාපාර ක්ෂේත්රයෙන්ම ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවද ? 

ඔව්. අනිවාර්යෙන්ම. මම දැනට පෞද්ගලිකව කරගෙන යන ව්යාපාරයක් තිබෙනවා. ඒකට මම ලඟදිම Hanzy’s Clothing.lk කියලා මගේම ඇඳුම් ව්යාපාරයක් එකතු කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒක කාලයක් සිට තිබුණු මගේ හීනයක්. ඊට අමතරව මම ආයතන කිහිපයක සන්නාම තානාපතිවරියක් ලෙස කටයුතු කරනවා.

රංගනයට පිවිසෙන විට පවුලේ අය කැමති වුණාද ? 

ඔව්. පවුලෙන් කිසිම අකමැත්තක් තිබුණෙ නැහැ .නමුත් මට කුඩා කාලයේ ලැබුණු අවස්ථා වලට නම් ගෙදරින් ඉඩක් ලැබුණේ නැහැ.

රංගන ශිල්පිනියක් වෙන්න කුඩා කාලයේ ඉඳන් හීනයක් තිබුණාද ?

කුඩා කාලයේ හීනයක් තිබුණා. නමුත් ඒක ලොකු වෙනකොට ටික ටික හිතින් ඉවත් වෙලා තිබුණේ. කාලයක් ගියාට පසුව කුඩා කාලයේ තිබුණු හීනය හැබෑ කරගන්න අවස්ථාව ලැබුණා.

පාසල් කාලයේ කලා කටයුතු වලට සම්බන්ධ වුණාද ? 

පන්සලේ English Day එකේ නාට්ය වලට සම්බන්ධ වෙලා තියෙනවා වගේම ගීත ගායනා කරලත් තිබෙනවා.

ප්රධාන චරිතයක් කරන්න ලැබුණු මෙම අවස්ථාවේ ඔබට ප්රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කරමු ? 

හිතුවක්කාරී ටෙලි නාට්යයේ අධ්යක්ෂකවරයාගේ සිට තේ හදන කෙනා දක්වාම හැමෝම හරිම හිතවත්. හොඳට වැඩ කරගෙන යන්න ප්රවීණයන්ගෙන් ඇතුළු සියලු දෙනාගෙන්ම විශාල සහයෝගයක් ලැබෙනවා. මේ වෙලාවේ ආදරෙන් ඒ හැමෝම මතක් කරනවා.

නවකයෙක් හැටියට මේ ක්ෂේත්රය තුළ ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද ? 

මම මේ ක්ෂේත්රයට ඇවිල්ලා දැන් අවුරුදු හතරක් වෙනවා. මම කිසිවෙක්ව අභිබවා යන්නවත්, තරඟ කරන්නවත් උත්සාහ කරන්නේ නැහැ. අද මම ඉන්න තත්වෙට වඩා හෙට මම ඉන්න තත්වෙ වැඩිදියුණු කර ගන්නයි මම උත්සාහ කරන්නේ. මම මාවම අභියෝගයක් කරගෙන තමයි ඉස්සරහට යන්නේ. සමහර අය ඉන්නවා ඊර්ෂ්යාව පදනම් කරගෙන තව කෙනෙක්ව පහතට දාන්න උත්සාහ කරන. මම හිතනවා ඒක හැම ක්ෂේත්රයකටම වගේ දක්නට ලැබෙන පොදු දෙයක් කියලා.

ඔබ රංගනය හදාරා තිබෙනවාද ? 

මම ආයතනයකට ගිහින් රංගනය හදාරලා නැහැ. ක්ෂේත්රයේ ප්රවීනයන්, දක්ෂයන් දිහා බලාගෙන මම ස්වයං අධ්යයනයක යෙදෙනවා.

ඔබ රංගනයේ දී තෝරා බේරා ගැනීම් කරනවාද ? 

ඔව්. මම තෝරා බේරාගෙන රඟපාන්නේ. මගේ පවුල් පරිසරය මව්පියන් ගැන හිතලා, මට සාධාරණයක් ඉෂ්ට කරන්න හැකියාවක් තිබෙන හොඳ චරිතයක් ලැබුණොත් මම භාර ගන්නවා.

වෘත්තීයමය රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවාද ? 

රංගනයේ නියැලෙන එක මට සතුටක්. මට ලැබෙන හොඳ නිර්මාණවලට ඉදිරියේදීත් අනිවාර්යෙන්ම සම්බන්ධ වෙනවා. රංගනය වෘත්තියක් ලෙස කරගෙන යන්න අදහසක් නැහැ.

රංගනය පැත්තෙන් තිබෙන ඉදිරි බලාපොරොත්තු මොනවාද ? 

මම හිතන්නේ ඕනෑම රංගන ශිල්පිනියක් හරිම කැමතියි තමන්ගෙ හැකියාවන් පෙන්නන්න පුළුවන් නිර්මාණ ලැබෙනවට. ඒ වගේම තමන්ගේ හැකියාවන් ඇගයීමට ලක් වෙනවට. ඒ විදිහේ අහිංසක බලාපොරොත්තු ගොන්නක් මටත් තිබෙනවා.

සිනමාවට පිවිසෙන්න අදහසක් තිබෙනවාද ? 

සිනමාවට පිවිසෙන්න අදහසක් තිබෙනවා. පසුගිය කාලයේ මට අවස්ථාවන් ලැබුනා. නමුත් මගේ අධ්යාපන කටයුතුත් සමග එම නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. කොවිඩ් වසංගතය නිසා සිනමාවට තිබෙන ඉඩ මේ කාලයේ ටිකක් අඩුවෙලා තිබෙනවා. ලෝකයේ සහ රටේ තත්ත්වය යහපත් අතට හැරුණාම ලැබෙන හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න මම බලාපොරොත්තුවෙන් සිටිනවා.

පවුලේ අය ගැනත් මතක් කරමු ?

මගේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. අම්මා නියෝජ්ය විදුහල්පතිවරියක්. තාත්තා ඉන්ජිනේරුවරයෙක්. මගේ සහෝදරියත් තිලිණ බෙන්. ඔහු Cinematographer කෙනෙක්. ඔහුත් මේ ක්ෂේත්රයට සම්බන්ධයි. ඒ අයගෙන් මට ලැබෙන රැකවරණය සහයෝගය අතිවිශාලයි. ඒ වගේම ඒක මට ගොඩක් වටිනවා.

ඉදිරියේදී ඔබව දකින්න පුළුවන් නිර්මාණ මොනවාද ? 

එකිනෙකට වෙනස් චරිත සහිත නිර්මාණ කිහිපයකම ඉදිරියේදී ප්රේක්ෂකයන්ට මාව දකින්න හැකියාව ලැබේවි.

ඉදිරි බලාපොරොත්තු මොනවාද ? 

සතුටින් යහපත් ජීවිතයක් ගත කරන එක තමයි මගේ බලාපොරොත්තුව.

 

කුෂාන්ති අනුරාධා බණ්ඩාරනායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්