May
14

සැමට අයිස්ක්‍රීම් ?

 
1880 Views
   
 

මේ මොහොත වන විට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන, ව්‍යවස්ථාව ගැන හා විපක්ෂ නායක පදවිය ගැන ද විවිධ සංවාද අසන්න දකින්න ලැබේ. මහජන මතය ගැන ද අගමැතිවරයාගේ අතීතය ගැන ද විවිධ සංවාද මතු වන බව පෙනෙයි. එහෙත් අප පවතින යථාර්ථයට මුහුණ දිය යුතුය. ඊට අනුව පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහ අතුරින් සුදුසුම රාජ්‍යතාන්ත්‍රිකයා අගමැතිවරයා ලෙස පත් කළ යුතුය. මේ පත් වීම අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වී ඇති අතර, අමෙරිකාව හා ඉන්දියාව මේ වන විටත් සුබවාදී ප්‍රතිචාර දක්වා ඇත. අපගේ ප්‍රධාන ගැටලුව ආර්ථික අර්බුදය වන අතර, අන්තර්ජාතික සහයෝගයකින් තොරව එය විසඳා ගත නොහැකිය. එම යථාර්ථයට අනුව බැලුව හොත් අගමැති පදවියට සුදුසුම තැනැත්තා පත් කර තිබේ.

සියලු දෙනාම සතුටු කිරීමට නම්, අයිස්ක්‍රීම් දිය යුතු යැයි ජන වහරේ කතාවක් තිබේ. අද වන විට එයද ගැලපෙන්නේ නැත. මන්ද කිව හොත් රටෙන් භාගයක් පමණ මේ වන විට දියවැඩියාකාරයන් බැවිනි. දියවැඩියාකාරයා අයිස්ක්‍රීම්වලට කෙළ හලන්නේ වුව එය ප්‍රතික්ෂේප කරයි. අගමැතිවරයාගේ පත් වීම ගැන ද විවිධ චෝදනා හා විවේචන එල්ල වන්න පටන්ගෙන තිබේ. ඒවායින් බොහොමයක් තම තමන්ගේ න්‍යාය පත්‍රවලට අනුව ඉදිරිපත් වන අතර, රටට අවශ්‍ය න්‍යාය පත්‍රයට අදාළ නැත. එබැවින් විවේචන හා චෝදනා නොසලකා හැර වැඩට බැසීම ඉතා වැදගත්ය. සමහරුන් උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ ප්‍රජාව කුලප්පු කිරීමට උත්සුක වන බවක් ද පෙනෙයි. එහෙත් එය පහසු නැත. නූතන පරම්පරාව දැනුම්වත්භාවයකින් යුතුව ලෝකය දෙස බලයි.

උද්ඝෝෂණයේ යෙදෙන තරුණ පරපුරට ද කරුණු දෙකක් සිහිපත් කළ යුතුව තිබේ. පළමු කාරණය වන්නේ ඔවුන්ගේ විරෝධතාවල ප්‍රතිඵල සෙමෙන් වුව ලැබෙමින් පවතින බවය. දැන් සිදුවන දේශපාලන වෙනසට පාදක වූයේ තරුණ විරෝධතා බව අප පිළිගත යුතුය. දෙවන කාරණය වන්නේ රට අරාජිකත්වයට යා නොදී ඔවුන්ගේ ඉලක්ක ජය ගත යුතු බවය. ඇතැම් විට එක් පියවරක් පසුපසට ගැනීම ද තවත් විටෙක පියවර දෙකක් ඉදිරියට තැබීම ද උපායමාර්ගිකව සාර්ථක ක්‍රමවේදයකි. මේ මොහොතේ නව අගමැතිවරයාට ද, නව කැබිනට් මණ්ඩලයට ද යම් කාලයක් දීම සුදුසු වෙයි. වික්‍රමසිංහ මහතා තරුණ පරම්පරාවේ තේරීම නොවන්නට පුළුවන. එහෙත් තරුණ පරම්පරාවේ මාර්ග සිතියමට අවශ්‍ය පසුතලය ඔහු ලවා සකස් කරවා ගත හැකිය.

කුමක් වුව නව අගමැතිවරයා හමුවේ ඇති අභියෝගය ඉතා බරපතළය. තව අතකින් ඉතා සංකීර්ණය. ඔහු පළමුව ජනතාවගේ මූලික අවශ්‍යතා සපිරීමට සමත් විය යුතුය. දෙවනුව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනාධිපතිවරයාට සහයෝගය දැක්විය යුතුය. අවසන් ලෙස ඔහු ජනතා විශ්වාසය ද ගොඩනඟා ගත යුතුය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්