Apr
9

රඟපෑම මගේ හීනයක් – ‘මල් පිපෙන කාලේ’ ටෙලි නාට්‍යයේ පහන්

 
839 Views
   
Acting-is-my-dream---the-lights-of-the-teledrama-'Mal-Pipena-Kaale'  

පුංචි තිරයට කාලයෙන් කාලයට එකතුවන අලුත්ම මුහුණු අතරින් මේ වනවිට කතාබහකට ලක්වන චරිතයක් සමගින් මෙවර සඳැල්ලෙන් පුංචි කතා බහක් කරන්න හිතුවා. නමින් ඔහු නිමේෂ් එදිරිසිංහ.

නිමේෂ් ගැන අද කතාබහ කරන්නෙ ‘මල් පිපෙන කාලේ’ ටෙලි නිර්මාණය නිසා ඒ ගැන මුලින්ම කියමුද?

‘මල් පිපෙන කාලේ’  ටෙලි නිර්මාණයේ පහන්ගෙ චරිතය තමයි කතා බහට ලක්වෙලා තියෙන්නෙ. පහන් කියන්නෙ ගොඩාක් දඩබ්බර චරිතයක්, කලු චරිතයක් කිව්වොත් හරි.

මේ නිමේෂ්ගේ පළමු ටෙලි නිර්මාණ රංගනයද?

ඔව්. ඇත්තටම මේ මගේ හීනයක් සැබෑවීමක්. මොකද මම පොඩි කාලෙ ඉඳන්ම රඟපාන්න ගොඩාක් ආසයි. මගේ අම්මාගේත් ලොකු කැමැත්තක් තිබුණා. ඉතින් මේ ලැබුණු අවස්ථාවත් එක්ක අම්මගෙයි මගෙයි දෙන්නගෙම බලාපොරොත්තු ඉෂ්ට වුණා කියලා හිතෙනවා.

ඒ කියන්නෙ ‘මල් පිපෙන කාලේ’  ​ෙටලි නිර්මාණය හරහා නිමේෂ්ගේ ජීවිතේත් මල් පිපුණා?

ඔව්. පැහැදිලිවම මම හිතනවා. මගේ ජීවිතෙත් මල් පිපුණා කියලා. මොකද මගේ ජීවිතේ ලොකුම හීනෙ සැබෑවක් බවට පත්වුණේ,

ඉතින් පළමු අවස්ථාවෙම කලු චරිතයක් කිරීම අවදානම් කියලා හිතුණේ නැද්ද?

ඇත්තටම මේ චරිතය මුලින්ම ලැබෙද්දී මගේ ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. මොකද මට මුලින්ම කලු චරිතයක්  කිරීම සුදුසු නැහැ කියලා හිතුණෙ. කලු චරිත මිනිසුන්ට එතරම් ප්‍රියත් නැහැනෙ. නමුත් ලැබුණු අවස්ථාව නැති කරගන්න හිතුවෙත් නැහැ. මුලින් පොඩි චරිතයක් තිබුණත් චරිතය භාරගත්තා. මොකද හැමදේම එකවර ලැබෙන්නෙ නැහැනෙ. ටිකින් ටිකනෙ ගමනක් යන්න ඕනෑ. ඒ නිසා චරිතය භාරගත්තා. නමුත් නොහිතපු විදියට මට හොඳ ප්‍රතිචාර මේ වෙද්දි ලැබෙනවා. පහන් චරිතයට ගොඩාක් දෙනෙක් කැමැතියි. ම​ෙග් චරිතය කරගෙන යන්න මෙහි අධ්‍යක්ෂවරයා තුෂාර තෙන්නකෝන් මහත්මයගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් දැන් මේ නාට්‍යය එක්ක එකතුවෙලා ඉන්න පිරිසගෙන් කොහේ ගියත් හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. ඒ වගේම මේ චරිතෙට දැන් මමත් ගොඩක් කැමැතියි.

මීට පෙර රංගනය පිළිබඳ අත්දැකීම් තිබිලා තියෙනවාද?

ඇත්තටම නැහැ. මට පාසල් වේදිකාවෙවත් අත්දැකීම් තිබිලා නැහැ. මොකද අපේ පාසලේ නාට්‍ය තිබිලාත් නැහැ. ඒ නිසා රංගන කටයුතුවලට හුරුවෙන්න ටිකක් කල් ගියා. නමුත් අධ්‍යක්ෂවරයා ඇතුළු නාට්‍යය කණ්ඩායමේ පිරිසගෙන් ලැබෙන සහයත් එක්ක ගොඩාක් දේවල් හදාගෙන ගමනක් යනවා. මට ඇත්තටම මේ රංගනයට අවස්ථාව ලැබෙන්නෙත් අහම්බෙන් වගේ. මුලින්ම මම නරෙන්ද්‍ර හේරත් කියන මාගේ යාළුවා හරහා වෙනත් ටෙලිනාට්‍යයක තිර පරික්ෂණයකට තමයි සම්බන්ධ වෙන්නෙ. ඒ රාවණ තුන්වෙනි අදියරට. ඉතින් යාළුවා මුලින්ම එහි අධ්‍යක්ෂවරයාට මාව යොමු කළේ.

ඒ නිර්මාණයට මාව තෝරාගත්තත් කොවිඩ් ප්‍රශ්න නිසා එහි රූගත කිරීම් නැවැත්තුවා. පසුව තමයි මේ නාට්‍ය කළේ. ඉතින් මේ වෙනුවෙන් මාව සම්බන්ධ කරගත්තා.

මුලින්ම නිමේෂ් මේ ක්ෂේත්‍රයට එන්නෙ අවුරුදු කුමරා තරඟය හරහා නේද?

ඔව්. දෙරණ අවුරුදු කුමරා තරඟයෙන් 2021 වසරේ දෙවන ස්ථානය දිනාගන්න හැකිවුණා.

මේ තරඟයට සම්බන්ධ වු​ෙණත් රඟපෑමට තිබුණ උණ නිසාමද?

අනිවාර්්‍යයෙන්ම ඔව්. මොකද මුලින්ම කිව්වා වගේ මගේ හීනය වුණේ රංගනය. ඒ ආශාව ඉෂ්ට කරගන්න පුළුවන් එකම අවස්ථාව මේ තරඟය කියලා හිතුණා. ඒ බලාපොරොත්තුව එක්ක තමයි තරඟයට අයදුම් කළේ. ඒ වගේම මට ලොකු විශ්වාසයකුත් තිබුණා. මම මේ තරඟයෙන් ජයග්‍රහණය කරනවා කියලාත්.

පළමු ස්ථානයම ලබාගන්න තමයි හිතුවෙ. මොහොතකටවත් හිතුවෙ නැහැ මට බැරිවෙයි කියලා. මොකද දෙයක් කරන්න පුළුවන් කියලා එකම අරමුණක අධිෂ්ඨානයක ඉන්නවනම් මම හිතන්නේ ඒ දේ අපිට ගොඩාක් පහසුවෙන් ජයගන්න පුළුවන්. පළමු ස්ථානයම දිනාගන්නවා කියලා ඒ වෙනුවෙන් වැඩ කළ නිසාම මට දෙවැනි ස්ථානය හරි ගන්න හැකිවුණා. මම හැමදේම ගැන කොහොමත් ධනාත්මකව හිතන කෙනෙක්.

ඉතින් අවුරුදු කුමාරයෙක් වෙනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයිනෙ. ශරීරයේ හැඩය පවා පවත්වාගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් මොනවද කළේ?

ඔව් ඇත්තටම රංගන ශිල්පියෙක් වෙන්නත් රූපය ලස්සනට තියන්න ඕන. ශරීරයේ හැඩය ගැන හිතන්න ඕනෑ. ඉතින් මමත් ඒ හැමදේම ගැන හිතනවා. ඒ වෙනුවෙන් මම කරන්නේ ජිම් යන එක තමයි. කැම බීම වුනත් පාලනය කරනවා. විලාසිතා කරනවා මට ගැළපෙන විදියට  ඉතින් මම මේ තරඟයට සම්බන්ධ වෙන්න පෙරත් ශරීරය ඒ හැඩතල ගැන හිතුවා. දැනටත් ඒ හැමදේම ගැන හිතනවා.

මේ ගමන යන්න ශක්තියක් වෙලා ඉන්නෙ කව්ද?

අම්මා, තාත්තා මට ලොකු ශක්තියක් වෙලා හැමදේටම ළඟින් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ පෙම්වතිය. ඇය මම අවුරුදු කුමරා තරඟයට සම්බන්ධ​ වෙද්දිත් ගොඩක් දේවල්වලට උදව් කළා.

සමහරු ඒ වගේ තරඟවලට සම්බන්ධ වෙනවට කැමැති නැහැනෙ. නමුත් ඇය මට කිව්වේ ඔයා කොහොමහරි ජයග්‍රහණය කරන්න ඕනැ කියන දේ. ඉතින් ඒ ශක්තිය මගේ ගමනට ලොකු ආශීර්වාදයක්, මට තියෙන්නෙ ඇයගෙ විශ්වාසයත් රැකගෙන ඉදිරි ගමනක් ලස්සනට යන්න. මේ වෙද්දි මියුසික් වීඩියෝ කිහිපයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. තවත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් මේ හැමදේම එක්ක කලා ක්ෂේත්‍රයේ හිමින් ගමනක් යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

වෘත්තීය වශයෙන්ම කලාව කරන්නද කැමැති.

ඇත්තටම මම කලාවට ගොඩාක් කැමැතියි. පාසල් යන කාලෙදීනම් මට හැකියාවක් තිබුණෙ සංගිතයට සහ චිත්‍ර වලට. ඒවත් එක්ක එකතුවෙලා හිටියෙ. මොකද මට යම්තාක් දුරට ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් මම කලාව කරන්න කැමැති නම් විනෝදාංශයක් විදියට. කලාව විනෝදාංශයක් විදියට කරගෙන වෘත්තිය වශයෙන් මගේම ව්‍යාපාරයක් කරගෙන යන්න තමයි කැමැති. දැනටමත් මම මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒවත් එක්ක තමයි කලාවට යොමුවෙලා ඉන්නේ. ඉදිරියේදී හොඳ නිර්මාණ හරහා දකින්න ලැබෙයි. මට මේ අවස්ථාව ලබා දුන්නු හැමදෙනාටම ස්තුති කරන්නත් කැමැතියි. විශේෂයෙම් දෙරණ නාළිකාවෙ ලක්සිරි සර්ව ආදරයෙන් මතක් කරනවා. මේ අවස්ථාව ලබාදීම ගැන.

ධනු විජේරත්න

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්