Mar
21

ගමෙන් කොළඹට ආවෙ නර්තනයට – ‘මොනාලිසා’ චිත්‍රපටයේ ‘කල්පනා’

 
443 Views
   
Came-to-Colombo-from-village-to-dance---'Kalpana'-from-'Mona-Lisa'  

‘‘මම මේ ක්ෂේත්‍රයට එක් රැයකින්, එක් මොහොතකින් ආ කෙනෙක් නොවෙයි. ජාතික තරුණ සේවා සභාව යටතේ 2017 දී පූර්ණකාලීනව රංගනය ගැන හැදෑරුවා. ඉස්පස්සෙ තරුණසේවා සභාවේ නාට්‍යවලම රඟපෑවා. වේදිකා නාට්‍යවලදි ‘තටු’ නාට්‍යයෙන් කරලියට ආවේ. සිනමා ක්ෂේත්‍රයේදී මුලින්ම රඟපෑවේ ‘තිත්ත ඇත්ත’ චිත්‍රපටයේ. ‘මොනාලිසා’ චිත්‍රපටය මම රඟපෑ චිත්‍රපට අතරින් දෙවැනියට තිරගත වන නිර්මාණයයි. මෙහි චරිතය වෙනුවෙන් බොහෝ හැදෑරීම් වෙහෙස මහන්සිවීම් වෙලා තමයි මොනාලිසා චිත්‍රපටයේ කල්පනා වුණේ.’’ මේ විදියට කියන මධුෂානි ප්‍රදීපා වික්‍රමසිංහ එක්ක අපි පිළිසඳරකට එක්වෙමු. 

තිත්ත ඇත්තට පසුව රඟපෑ චිත්‍රපට මොනවද?

හිතුමතේ ජීවිතේ කතුරු මිතුරු, ආදරෙයි ජානු, චිත්‍රපටවල රඟපෑවා. ඒ චිත්‍රපට තුනම එන්න තියෙන ඒවා. ඒ අතරට ‘එදත් දිනුම්-අදත් දිනුම්’ චිත්‍රපටයත් එන්න තියෙනවා. මොනාලිසා කියන්නේ මම රඟපෑ අන්තිම චිත්‍රපටයයි.

මොනාලිසා, ගැන කියමු?

මේකෙ මගේ නම කල්පනා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්. කල්පනා කියන්නෙ ගෙන්දගම් පොළවේ හමුවන චරිතයක්. මැදවච්චියේ ඉඳලා ඇය කොළඹට ආවේ නර්තනය අරමුණු කරගෙන. සාමාන්‍ය සමාජයේදී මේ විදියට අරමුණු කරගෙන එන අය මේ චිත්‍රපටය නැරඹීම වැදගත්. මැදවච්චියේ ඉඳලා ආපු කල්පනා අසම්මත ප්‍රේමයක පැටලෙනවා. ඒ එක්කම ඇතිවන ආරවුල් කීපයක් මත එයාගේ අතින් මරණයක් සිදුවෙනවා. කාන්තාවක් විදියට සහ පෙම්වතියක ලෙස ඇයට එය දරාගත නොහැකි දෙයක් වෙනවා. ඒ නිසා ඇය සියදිවි නසා ගන්න හදනවා. අන්න එතැනදි මොහොතකට පෙරදී ඇයට තවත් චරිතයක් හමුවෙනවා. එයාගෙ නම මධුවන්ත. ඔහුව හමුවීමෙන් පසුව තමයි හරියටම කතාව පටන් ගන්නෙ.

‘මොනාලිසා’ ගැන මධුෂානි දන්නෙ මොනවාද?

ලෝකප්‍රකට චිත්‍රශිල්පියකු විසින් නිර්මාණය කළ චිත්‍රයක්. ඩාවින්චි නමැති මහා චිත්‍රශිල්පියාගෙ මේ චිත්‍රය දිහා බලන සමහර අය කියන්නෙ ඒ ඉන්නෙ ගැබිණි කාන්තාවක් කියලා. තවත් සමහර අය කියන්නේ ඒ ඉන්නේ වෛශ්‍යාවක් කියලා. තවත් අය කියන්නේ ඒ ඉන්නෙ ලියනාඩෝ ඩාවින්චිගේ පෙම්වතියක් කියලා. ඇත්තටම මේ චිත්‍රයට හරියටම කවුද මේ ඉන්නේ කියන එක අදටත් අභිරහසක්.

‘කල්පනා’ සහ මධුෂානි ගත්තොත් කොහොමද සසඳන්න පුළුවන්?

දෙන්නම සාමාන්‍ය ගැහැනු ළමයින් දෙන්නෙක්.

චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑමට ඔබව තෝරා ගන්න හේතුව?

මම ප්‍රධාන චරිතය කරන හතරවැනි චිත්‍රපටය. අධ්‍යක්ෂවරයා මේ පිටපත මට දුන්නා. ඔහුට තිරයට අලුත් මුහුණක් අවශ්‍යවූ නිසා සහ මේක ‘බර’ චරිතයක්. රංගනය හදාරා තිබූ කෙනෙක් ඔහුට ඕනෑ වුණේ. ඒ නිසා තමයි මම මොනාලිසා වුණේ.

ඔබ කිව්වනේ කල්පනා සහ ඔබ එක වගේ කියලා? කොහොමද එහෙම වෙන්නෙ?

අපි දෙන්නා එක වගේ වෙන්නෙ නර්තනය නිසා. ඇයත් කොළඹ ආවේ නර්තනයට. මාත් කොළඹ ආවෙ නර්තනයට. එතැනින් එහාට තමයි අපි දෙන්නා වෙනස් වෙන්නෙ. කල්පනාව කොළඹ ආවාම අරමුණ අමතක වෙනවා. මම තවම ඉන්නෙ මගේ අරමුණ එක්ක.

මොකක්ද ඔබගේ අරමුණ?

දක්ෂ රංගන ශිල්පිනියක ලෙස සිනමාවේ සහ වේදිකාවේ රැඳී සිටීමට.

මොනාලිසා චිත්‍රපටය මධුෂානිට දැනෙන්නෙ මොනවගේ චිත්‍රපටයක් විදියටද?

මේක පවුලේ චිත්‍රපටයක්. නමුත් වඩාත් වැටහෙන්නෙ සමාජය එක්ක ගැටුණු අයට කියලයි මගේ අදහස.

කොහොමද ප්‍රතිචාර? මේ චරිතයට?

දැනට ලැබෙන ප්‍රතිචාර ප්‍රශස්ත මට්ටමේ තියෙන බව කියන්න පුළුවනි. මට ලැබෙන්නෙ ධනාත්මක ප්‍රතිචාර. චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනා කිව්වෙ තමුන්ගෙ ජීවිතේ  කතාව වගේ දැනුණා කියලයි.

සමහර වෙලාවට සමහර විචාරකයින් කියන්නෙ අද අපේ සිනමාවට ප්‍රතාපවත් චරිත නැහැ කියායි. මධුෂානි ඒ ගැන හිතන්නෙ කොහොමද?

මම හිතන විදිහට එහෙම ගැටළුවක් නැහැ. සිනමාවට පමණක් සීමා නොවූ මාධ්‍යයක් බිහිවී තිබිමයි. යූ-ටියුබ් ඇතුළු බොහෝදේ තිබෙනවා. ඒ නිසා ප්‍රතාපවත් චරිතවලට වඩා මිනිස්සු බලන්නෙ නිර්මාණයේ වෙනසක්. ඒකයි ඕකට හේතුව.

මධුෂානිගෙ සිංහල සිනමාවේ කැමැතිම නළු-නිළි යුවළ කවුද?

ස්වර්ණා මල්ලවආරච්චි සහ රවීන්ද්‍ර රන්දෙනිය.

ඔබ මෙතෙක් නැරඹූ විශිෂ්ටතම ලාංකීය චිත්‍රපටය මොකක්ද?

දඩයම සහ වැලිකතර.

මධුෂානි හොඳ රසිකාවියක්ද?

ඔව්. වේදිකා නාට්‍ය වගේම හොඳ චිත්‍රපට රසිකාවියක්.

රංගනය මධුෂානිගෙ වෘත්තියද?

මම වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක්. සැලෝන් එකක් කරන්නෙ නැහැ. බොහෝ විට මගෙන් වෙන්නෙ මනාලියන් හැඩගැන්වීමයි.

මේ වනවිට කොපමණ සංඛ්‍යාවක් මනාලියන් ලෙස හැඩගන්වා තියෙනවද?

මේ වෘත්තියට ආවේ ළඟදී. ඒ නිසා සීමිත පිරිසක් තමයි හැඩ ගන්වලා තියෙන්නේ.

‘මධුෂානි’ මනාලියක් වෙන්නෙ කවදාද?

දැනට තවම දිනයක් කාලවකවානුවක් ගැන හිතලා නැහැ.

මනාලයෙක් ඉන්නවා? 

නැහැ.

කොහොමද මධුෂානිට මධුෂානි ගැන හිතෙන්නේ?

මම මා ගැන තෘප්තිමත්. මම මගේ උපාධියෙ වැඩත් කරගෙන යන ගමන් මේ ඔක්කෝම කරන්නෙ. උපාධියට කරන්නෙ ප්‍රාසාංගික කලාව. කැලණිය සරසවියේ උපාධිය හදාරන්නෙ. සිනමා නිළියක ලෙස මගේ තිබූ හීනය සාර්ථක වුණා. ක්ෂේත්‍රයෙත් මට හොඳ ඉල්ලුමක් තියෙන්නෙ. ඉතින් ඉගෙනීම් කරන අතරෙ මේ සියල්ල කිරීම සතුටටම හේතුවක්.

 වෙන තව මොනවද මධුෂානිට කියන්න තියෙන්නේ?

මට අද මේ ගමන එන්න මගේ පාසැල් ජීවිතයේ සිට මේ ක්ෂේත්‍රයේ සිටි සියලුම ගුරුවරුන්ට මගේ ප්‍රණාමය පුදකරන අතර, අධ්‍යක්ෂවරු සහ මා එක්ක වැඩ කළ සහෝදර නළු නිළි සියලු දෙනාට මගේ ගෞරවය හිමිවෙනවා.

සඳුන් ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්