Oct
12

රටේ ආර්ථිකය කොයිබට ද?

 
583 Views
   
 

වසංගතය ආරම්භ වීමත් සමඟම රටේ විවිධ අංශ පීඩාවට පත් වී තිබූ අතර, ඒ අනුව රජයේ විවිධ අංශ සඳහා සහන ලබා දී තිබිණි. රජය සක්‍රීය එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ආර්ථික පිළිසරණක් අවශ්‍ය ජනතාව වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය ආධාර ලබා දීම (රුපියල් 5000 හා රුපියල් 2000 දීමනා) වෛද්‍ය උපකරණ සඳහා බදු නිදහස් කිරීම, පීසීආර් ප්‍රතිදේහ පරික්ෂා කිරීම් සඳහා වියදම් කිරීම, සෞඛ්‍ය සේවා පහසුකම් වර්ධනය, ජනතාව දැනුවත් කිරීම යනාදී වැඩසටහන් සඳහා රජය රුපියල් බිලියන 209ක් තරම් විශාල මුදලක් වැය කර තිබේ.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව ‘සෞභාග්‍යය කොවිඩ් පුනරුද සහන’ ප්‍රති මූල්‍ය පහසුකම් යටතේ රුපියල් බිලියන 165.5ක් එනම් දළ දේශීය නිෂ්පාදිතයේ අගයක් ලෙස සියයට 1.1ක් වැය කර ඇත. රජයට මූල්‍ය පහසුකම් සැපයීමට රුපියල් බිලියන 2002ක් ද, පොලී පිරිවැය අඩු කිරීම සඳහා පෞද්ගලික අංශය වෙත රුපියල් බිලියන 365ක ඉතිරියක් ද, පොලී පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය අංශය වෙත ඉතිරි කිරීම් රුපියල් බිලියන 313ක් ද, ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හරහා ණය ආපසු ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමට බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන වෙත ගෙවිය යුතු ප්‍රාග්ධනය රුපියල් බිලියන 780ක් වශයෙන් මුදල් යොදවා තිබේ. ලබා දී තිබූ මෙම සහන නිසා කුඩා හා මධ්‍ය පරිමාණ බොහෝ කර්මාන්ත ව්‍යාපාරිකයන් නැවත වතාවක් යථා තත්ත්වයට පත්ව තිබේ.

ආර්ථිකය කඩා වැටෙන විට අපට කළ යුතු වන්නේ මෙම කඩා වැටීම නතර කර ස්ථායිතාව ගොඩනැඟීමයි. හොඳ ස්ථාවරයක් ගොඩනඟා ශක්තිමත් අත්තිවාරමක් දැමීමෙන් ඉදිරියේදී ගිලා බැසීමට ඉඩ නොදිය හැකිය. ඉන් පසුව පහසුවෙන්ම නැවත වතාවක් ගොඩනැඟීය හැකිය. මෙහිදී ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සාර්ව ආර්ථික ස්ථායිතාව ඉලක්ක කර ගනිමින් කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් උපාය සකස් කර තිබීම වැදගත් වේ. රටේ ඉදිරි මාස හයක කාල පරිච්ඡේදය තුළ සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සඳහා ඉලක්ක හා වැඩසටහන්, නිසි ණය සේවාකරන අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා කෙටි කාලීන ක්‍රියාමාර්ග සකස් කර තිබේ.

ලංකාවේ බැංකු මේ වන තෙක් ශක්තිමත්ව පවත්වාගෙන යන බව පෙනෙන්නට තිබේ. මේ අතරම සමහර බැංකු හා මුල්‍ය අංශවල විශාල ද්‍රවශීලතාවක් පවතින බව ද දැකිය හැකිය. මෙම වාර්තාව විසින් යම් ගැටලු කීපයක් පිළිබඳ ද පෙන්වා දෙයි. බැංකු අංශ තුළ පවතින විදේශ මුදල් ද්‍රවශීලතා ගැටලු, වසංගතය නිසා බලපෑම්ට ලක්වූ ණය ගැතියන් සඳහා ණය ආපසු ගෙවීමේ සහන කාලය දීර්ඝ කිරීම සහ වසංගතයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ දී ඇති විය හැකි ගැටලු මෙහිදී ප්‍රධානය.

බැංකු ක්‍රමය මඟින් රජය සතු ව්‍යාපාර හා ව්‍යවසායකයන් වෙත ලබා දී ඇති ණය ඉහළ යාම (විශේෂයෙන් තෙල් සංස්ථාව ලංකා බැංකුව හා මහජන බැංකුවලින් ලබා ගත් ණය), තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව ඇතුළු මෙහෙයුම් කටයුතු සඳහා ඔරොත්තු දීමේ හැකියාව සඳහා විය හැකි බාධා යනාදී අංශවල වැදගත්කම හඳුනාගෙන ඇත. පසුගිය වසර කිහිපය තුළ දී බැංකු, බැංකු නොවන අංශවල පවතින ගැටලු ද හඳුනාගෙන තිබේ. මෙහිදී බැංකු හා මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන් මන්දගාමී වීම, කඩා වැටුණු මූල්‍ය සමාගම් නැවත ගොඩනැඟීම, කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ගේ ගැටලු විසඳීම, බැංකු, නොවන අංශයන්ගේ පවත්නා ව්‍යුහාත්මක සහ ව්‍යාපාර ආකෘතිවල පවතින ගැටලු විසදීම හා ඒ සම්බන්ධව නියාමන රාමුවක් ඇති කිරීම යනාදී ගැටලු කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත්ය.

මෙන්න බලන්න තවත් ගොසිප්