May
24

නැෂනල් එක ඇන්දාම සමහරු හිතන්නෙ බයියෙක් කියලා

 
839 Views
   
Some-people-think-that-wearing-the-National-is-a-coward  

ශ්‍රී ලාංකීය කලා කෙත අස්වැද්දුම ට තම උපන් හඬ පෞරුෂයෙන් ,රංගන හැකියාවෙන්, නර්තන හැකියාවෙන් මතකයක් සනිටුහන් කළ ජේෂ්ඨ කලාකරුවෙකු  ලෙස ඔහුව ගෞරවයෙන් හඳුන්වා දිය හැක. ”රෝහණ බැද්දගේ ” නම් මේ සොඳුරු වූ රංගධරයා සමඟ මෙවර රහස් පිටුව සරසන්නට අපි අදහස්  කළෙමු.

මෙවර සිංහල අලුත් අවුරුද්දේ දී  ඔබතුමාව රූප පෙට්ටියෙන්  අපිට දකින්නට ලැබුණේ නැහැ …?

මරණය අබියසට ම ගොස් නැවත පැමිණීමකිනුයි  මම දැන් සිටින්නේ .කොවිඞ් රෝගයට ගොදුරු වෙලා රෝගය උත්සන්න වෙනකොට තවත් රෝග ගණනාවක්ම පසුපස්සෙන් ජීවිතයට බලපෑම් එල්ල කරන්න ගත්තා ….ඒ සියල්ල සමඟ සටන් කර දැන් යම්තාක් දුරට සුවයක් ලබමින් සිටිනවා ..

ජීවිතය නැවත ලැබීම හාස්කමක් වගේ ද ?

ඔව් මම හිතනවා. ආදරණීයයන් ගේ ආශිර්වාදයෙන් මම නැවත ජීවිතේ ලැබුවා කියලා. ඒ වගේමයි මම තදබල විදියට විශ්වාස කරනවා ධර්මයේ හැසිරෙන කෙනෙක් ව ධර්මය විසින් අනිවාර්යයෙන් ම ආරක්ෂා කරන බව .තද බල බෞද්ධයෙකු වන මම ඒ නියායට අනුව  අදත් ආරක්ෂිතව ජීවත් වෙනවා.

අද වන විට ජීවිතේ ගැන ඔබට මොකද හිතෙන්නෙ ?

කෙටියෙන්ම කිව්වොත් පිළිතුරු ලියලා ඉවර කරන්න බැරි ප්‍රශ්න පත්තරයක් විදියටයි මට ජීවිතේ දැනෙන්නේ. මැරෙනකම්ම ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුතුයි. සමහරවිට අප මියදෙන්නෙ  විසදුමක් නැති ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලත් වෙන්න පුළුවන් .

ජීවිතය ගැන ඔබ සතුටින් ඉන්නේ?

බොහොම සතුටින්. ඇලීම් ගැටීම්, බැඳීම් අවම  කරගෙන සියල්ල අතහැරලා මම බොහෝම සතුටින් ඉදිරියේදී මා යා යුතුම ගමනට සූදානමින් ඉන්නවා .

ඔබ එවැනි ආභාෂයක් ලැබුවේ ?

මගේ ආදරණීය මෑණියන් ගෙන්. ඇය වයස අවුරුදු අනූ නමයක් ජීවත් වුණා .ඇය මිය දෙන කොට අපිට කිව්වේ ,”

මා මිය දෙන වෙලාවට ළඟට ඇවිත් හිතට බැඳීමක් ඇති කරන්නැතුව මම යන ගමන සතුටින් යන්න, මට උදව් කරන්න. මම සියල්ල අත්හැරලා සතුටින් යන්න සූදානම්” කියනදේ විතරයි. මමත් අද එතැන ඉන්නවා.

නිරෝගි කම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යමක් කරනවා දැන් ?

නිරෝගී කම ලෝකයේ  තියෙන උතුම්ම ලාභය බව රෝගී වෙනකොට වඩ වඩාත් ම වැටහෙනවා. පුද්ගලයෙකුගේ  නිරෝගී කමට කායික, මානසික නිරෝගීතාව යන දෙකම අත්‍යවශ්‍යයි .ශරීර කූඩුව නිරෝගීව තබා ගැනීමට නිවැරදි  ආහාර රටාවකට හුරු වෙලා ඉන්නවා. අධ්‍යාත්මික සුවය වෙනුවෙන් මනසේ නිරෝගි කම ඉතා වැදගත් වැදගත් නේ. ඒ වෙනුවෙන් භාවනාව දින චරියාවේ කොටසක් කරගෙන ඉන්නවා ….නිරතුරුවම මෛත්‍රී භාවනාව වඩනවා. නමුත් ලෙඩ වීම වයසට යාම කියන පොදු ධර්මතාවය අපට වලක්වන්න  බැහැ .

විනෝදාංශ විදියට ඔබ මොනවද කරන්නේ?

ධර්ම පොත් පත් කියවීම අදටත් බොහොම සතුටින් කරන දෙයක්. දැනුත් ධම්පදය කියවමින් හිටියේ..

 

කැමැතිම ඇඳුම?

ලෝකයේ කොහේ ගියත් මම අදින්නේ ආර්ය සිංහල ඇඳුම ශ්‍රී ලාංකික අනන්‍යතාවය වෙනුවෙන් අපේ කම වෙනුවෙන් නැෂනල් එක අඳින්න මම පුරුදු වුණා ..ආර්ය සිංහල ඇඳුම ඇන්දහම සමහරු මාව දකින්නේ මුකුත්ම නොදන්න ගොඬේ බයියෙක් විදිහට .නමුත් මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගෙන කකුල් දෙකටම කලිසම් ඇඳ වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක් ….ගුරුවරයෙක් ,සංගීතවේදියෙක් ,නර්තනාචාර්ය වරයෙක් ,කලා කරුවෙක් ,හිත හොඳ මිනිහෙක්.

ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ ?

ගැමි පරිසරය සුන්දරත්වය උපරිමයෙන්ම විඳපු මම ජන සංගීතය හදාරනු ලැබුවේ කුඩා අවදියේදීම. සංගීත, නර්තන ශිල්පියෙකු ලෙස විවිධ දක්ෂතා තිබුණු මම කලාවට සම්බන්ධ වෙන්නේ අහම්බෙන් .

ඔබේ පළමු වෘත්තිය?

මා වෘත්තියෙන් නර්තන ආචාර්යවරයෙකු ලෙසටයි වැඩ කරනු ලැබුවේ . අද වන විට ලෝකයේ හැම තැනකම වාගේ මාගේ ඉගෙන ගත්ත ආචාර්යවරු, මහාචාර්යවරු ඉන්නවා.

ගුරුවරයෙක් ,නළුවෙක් නොවුනානම් ?

එහෙම නොවුනා නම් මගේ තාත්තා වගේ ම  බොහොම දක්ෂ ගොවි මහත්තයෙක් වෙන්න තිබුණා. අදටත් උදැල්ල දෑ කැත්ත  මගේ අතට හොඳට හුරුයි .

ඔබට දැනුනු ආකාරයට කලා ලෝකෙ ඔබ වඩාත්ම ජනාදරයට පාත්‍ර වන්නේ ?

සංගීත දිවියේ හැරවුම් ලක්ෂයක් වුණේ” මගේ   රත්තරන් හෙලේනා ” සින්දුව ජනතාව අතරට යාම .රංගන දිවියේ ලොකු ප්‍රසිද්ධියක් පළිගු මැණිකේ  ටෙලි නාට්‍ය විකාශය වන කාලයේදී  මට ලැබුණා. මාමයි බෑනයි ෂො එකටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබුණා  කියලයි මට නම් හිතෙන්නේ .

කලාව නිසා කලකිරුණු අවස්ථාත්  තිබුණා ද?

සතුටුයි වගේම දුකත් කලාව තුළ රැඳිලා තිබුණා. බොහෝම මහන්සිවෙලා ප්‍රසංග පවත්වලා සංවිධායකවරුන්ගෙන් මුදල් නොලැබී හිස් අතින් ගෙදර ආපු අවස්ථා ඕනෑ තරම් තිබුණා….

වාසනාව ලැබීම ගැන ඔබ විශ්වාස කරනවාද ?

ඔව් ….ඇතැම් කලා නිර්මාණයන්ට නොසිතන ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන විට වාසනාවක්  මා සතුව තිබුණා කියලා මම විශ්වාස කළා .

ආදරයෙන් ම එකතු කරපු දේවල් මොනවාද?

ගායනය, නර්තනය, කලාව වෙනුවෙන් දේශීය වගේම විදේශ රටවල දී මා ඇගයීමට ලක්වෙලා තියෙනවා .ඒ වෙනුවෙන් ලැබුණු සම්මාන තුන්සිය පනහකට ආසන්න ප්‍රමාණයක් මා සතු ව තිබෙනවා .ඒ සියල්ල සමරුවක් ලෙස උදේ සවස දැකීම සිතට පුංචි සතුටක් ….

ප්‍රේක්ෂක ආදරය කොයි විදිහට ද ඔබට ලැබුණේ ?

කලා ලෝකයේ ලබපු  ජනප්‍රියත්වය නිසාම දේශීය වගේ ම විදේශීය ප්‍රේක්ෂක ආදරයක් නොඅඩුව ලැබුවා …ආදරය ලබනවා වගේම ජනප්‍රියත්වය නිසා  ඊර්ෂ්‍යාවට ලක් වුණු අවස්ථා ත් තිබුණා .

ආදරේ කියන දේ ඔබට හිතට දැනෙන්නෙ කොහොමද ?

බැඳීම් සමුදායක් සමග ජීවිතය වෙහෙසට පත් කරන, දුකට පත්කරන දෙයක් විදිහටයි මම ආදරය  දකින්නේ . කෙටියෙන්ම කිව්වොත් ආදරය කියන්නේ තෘෂ්ණාවක් .

පුනර්භවය ගැන ඔබ විශ්වාස කරනවාද ?

ඔව් . නැවත ඉපදීමක් තියෙනවා කියලා මම නිරතුරුව ම විශ්වාස කරනවා .නැවත ඉපදෙන්නේ නැහැයි කියලා හිතුවොත් කරන්න බැරි අපරාධයක් නැහැ. ඒ නිසා බෞද්ධයකු විදිහට ආත්ම තෘප්තියකින් වැඩ කරගන්න මම පුරුදු වෙලා ඉන්නේ …..

සතුටින් ජීවත් වෙන්න  මිනිසෙකුට තිබිය යුත්තේ මොනවාද?

මෙත්තා, කරුණා ,මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන් ගෙන් ජීවත්විය හැකිනම්   ජීවිතය අපි හිතනවාටත් වඩා සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් ….ජීවිතයේ බැඳීම් අඩු වෙනකොට ,ජීවිතය අත හරින කොටත් ඒ නිරාමිස සතුට නිරන්තරයෙන් ම දැනෙනවා ….

අසුන්තා එදිරිසූරිය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්