පුරා දශක හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ ශ්‍රාවක සිත් පහන් කළ ගායිකාවක ලෙසත් නිවේදිකාවක ලෙසත් විනිසුරුවරියක් ලෙසත් ඇයව හඳුන්වා දිය හැකියි. මේ වන විට ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක සහ ඉන්දියානු ලක්නව් භාත්ඛණ්ඩ සංගීත විද්‍යාපීඨයේ සංගීත විශාරද උපාධිධාරිනියක්.
සෞන්දර්යයේ විවිධ ඉසව් සොයා යන ඇය, චරිතා ප්‍රියදර්ශනී පීරිස්. මේ ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්…
මේ දවස්වල ටිකක් කාර්බහුලයි නේද?
ඔව්. ටික කාලයක් අතරමඟ නැවතිලා තිබුණු සියලු වැඩකටයුතු දැන් නැවතත් ක්‍රමානුකූලව කරගෙන යනවා. කලායතනයේ වැඩකටයුතු එහෙමත් සිද්ධ වෙන්නේ ඔන්ලයින් ක්ලාස් හරහා. විදේශ ගත වෙලා ඉන්න ලාංකිකයන් වෙනුවෙනුත් වැඩසටහනක් කරගෙන යනවා. සංගීත ආශ්‍රමයේ වැඩකටයුතු සමඟ ටිකක් කාර්යබහුලයි.
සැරිසර ශිල්ප ශාලිකාව කියන්නේ බොහෝ කාලයක සිට දරුවන්ගේ හැකියාවන්ට නිසි තැන පෙන්වා දුන් කලායතනයක්. ඒ ගැනත් කතා කරමු?
මම සහ එඩ්වඩ් සංගීත ආශ්‍රමය පටන් අරගෙන දැන් අවුරුදු 35කට කිට්ටුයි. මේ කාලය ඇතුළත ආශ්‍රමය හරහා 1000කට එහා පිරිසක් බිහි වෙලා තියෙනවා. මේ වෙනකොට කලා ක්ෂේත්‍රයේ නමක් ගොඩනඟාගෙන සිටින කලාකරුවන් පිරිසකුත් මේ හරහා බිහි වෙලා ඉන්නවා. හිමාලි සයුරංගි, අංජුලා රාජපක්ෂ, ප්‍රියනාත් රත්නායක, පාලින්ද උඩවෙල අරච්චි, කෝකිල පවන්, වාද්‍ය ශිල්පී ශාලිත කියන්නේ ඒ අතරින් කිහිප දෙනෙක්. මේ වෙනකොට වයස් සීමාවකින් තොරවම කලායතනයට විශාල පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දවස්වල හැමෝම ඉන්නේ ගෙදරටම කොටු වෙලා හැමදෙයක් ගැනම කලකිරුණු ස්වභාවයකින්නේ. එහෙම අවස්ථාවක සෞන්දර්යාත්මකව යමක් කරන්න හැකිවීම ඇත්තෙන්ම අස්වැසිල්ලක්. ඒ දවස්වල දරුවන්ගේ දරුවොත් බලාගෙන හිටිය වැඩිහිටි පාර්ශ්වයත් අද ඔන්ලයින් ක්ලාස් හරහා අපේ වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා. පරම්පරා කිහිපයක් එක්කම බොහෝම හිතවත්ව කටයුතු කරන්න අවස්ථාව ලැබීම භාග්‍යයක්.
ඔබ මුලින්ම කලාවට පිවිසෙන්නේ නිවේදිකාවක් විදිහට. ඔබ හැදී වැඩුණු පරිසරය නිවේදිකාවක් වීමට මංපෙත් විවර කළාද?
ඒකත් එක හේතුවක්. මගේ තාත්තා ආරියදාස පීරිස් කියන්නේ ප්‍රවීණ නිවේදකයෙක්. ඒ වගේම තාත්තගේ සහෝදරයන් දෙදෙනා රංජිත් පීරිස් සහ ජයන්ත පීරිස් කියන්නෙත් ක්ෂේත්‍රයට ඍජුවම සම්බන්ධ වෙලා සිටි අය. මේ නිසා ප්‍රවීණ කලාකරුවන් විශාල ප්‍රමාණයක් නිතරම අපේ ගෙදරට ආවා ගියා. මම හිතනවා ඔවුන්ගේ ආභාසය සහ මා තුළ සැඟ වී තිබුණ දක්‍ෂතාව ඒ සඳහා හේතු වෙන්න ඇති. මට තදබල ආසාවක් තිබුණා ගුවන්විදුලි නිවේදිකාවක් වෙන්න. තාත්තාගේ දැඩි වි’රෝධය සහ අම්මාගේ දැඩි කැපවීම මධ්‍යයේ මම ගුවන්විදුලි නිවේදිකාවක් වෙනවා. ජයන්ත පීරිස් මහත්මයා සහ චිත්‍රා කුමාරි යාපා බණ්ඩාර මහත්මිය ඒ සඳහා මට සෑහෙන උදවු කළා. අපේ පවුලෙන් මුලින්ම නිවේදනයට පිවිසුණේ මම.
චරිතා ප්‍රියදර්ශනී ගායන ශිල්පිනියක් විදිහට අනන්‍යතාවක් තහවුරු කරගත් ගීත ගැනත් මතක් කරමු?
අපි ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු මුල් කාලේ විවිධ රැලි තිබුණා. රැල්ලට නොයා අපේම කියලා ගුණාත්මක නිර්මාණ කිහිපයක් කරන්න උත්සාහයක යෙදුණා. මගේ මුල්ම ගීතය අමරසේන කංකානම්ගේ මහත්මයා විසින් රචිත අත්තන මල් සේල ඇන්ද කියන ජන ගීතය. ඊළඟට 1987 දී සංසාරේ අපි කියන කැසට් පටයේ එන රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින් රචනා කළ විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කළ පන්සලේ පල්ලියේ කියන යුග ගීතයට එඩ්වඩ් සමඟ ගායනයෙන් සම්බන්ධ වුණා. ඒක මගේ ජීවිතයේ විශාල සන්ධිස්ථානයක් විදිහට තමයි මම දකින්නේ. රසිකයන් මාව හඳුනා ගන්නේ එම ගීතය හරහා. ඉන්පසුව හේමසිරි හල්පිට මහතා රචනා කළ සරත් ද අල්විස් සංගීතවත් කළ සෙනෙහසේ නවාතැනේ, ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ අහස් ගැබේ ගීතය ගායනා කරනවා. 87-88 කාල සීමාව තුළ මම ගායනා කළ තනි සහ යුග ගීත හරහා චරිතා ප්‍රියදර්ශනී ගායිකාවක් ලෙස අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට ගත් වෑයම සාර්ථක වුණා කියලා මම හිතනවා. ගායන ශිල්පිනියක් සහ නිවේදිකාවකටත් වඩා පොළොවේ පයගහලා ඉන්න ගැහැනියක් විදිහට ගොඩක් මිනිස්සු මට ආදරය කළා. එතැනදී මම ගායිකාවක්ද, නිවේදිකාවක්ද කියන එකට වඩා මිනිස්කම එක්ක මා වටා විශාල පිරිසක් එක් වුණා. ඒ තුළින් ළංවෙන ප්‍රේක්‍ෂකයන් තමා අදටත් නිර්මාණවලට ආදරය කරන්නේ.
ඔබට ආදරය කරන ප්‍රේක්‍ෂකයකුගෙන් ලැබුණු හොඳම සහ සංවේදීම ප්‍රතිචාරය පිළිබඳව මතකද?
හොඳට මතකයි. 91දී මම කුරුණෑගල පැත්තේ ප්‍රසංගයකට ගියා. ප්‍රසංගවලට සම්බන්ධ වෙන අය දන්නවා ඒවට ගියහම මුහුණ දෙන්න වෙන අපහසුතා ගැන. මම ඒ කාලේ තරුණයි. ඒ වගේම විවාහ වුණු මුල් කාලේ. ලස්සනට ඇඳලා පැලඳලා පවුම් 10ක විතර මාලෙකුත් දාගෙන තමයි යන්නේ. ඉතින් ප්‍රසංගය පටන් ගන්න ඔන්න මෙන්න වගේ තියෙද්දී මගේ පෙන්ඩන්ට් එක වැටෙනවා ගන්න අමාරු, අප්‍රසන්න, අපිරිසිදු තැනක. මම ගොඩක් දුක් වුණා. ඊළඟට ප්‍රසංග වේදිකාවට යන්න තිබුණෙත් මට. ඒ වෙලාවෙදි මගේ රසිකයෙක් එතැනට ඇවිත් කියනවා ඔබතුමිය දුක් නොවී ස්ටේජ් එකට යන්න, මම කොහොමහරි පෙන්ඩන්ට් එක අරන් දෙන්නම් කියලා. ඉතින් මට මගේ සහෝදරයෙක්වත් නොකරන උදව්වක් ඔහු කළා. අර අපිරිසුදු ස්ථානයෙන් පෙන්ඩන්ට් එක අරගෙන පිරිසුදු කරලා ආපහු මට ගෙනත් දුන්නා. ඔහු අපිට ගොඩක් ආදරය කරන කෙනෙක්. ටික කාලයක් යනකල් ඔහු සමඟ අපි කතා බහ කළා. ඊට පස්සේ ඔහු එක පාරටම නැති වෙලා ගියා. අදටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ ළමයා මට කොහේහරි ඉඳලා කතා කරනවා නම් කියලා. මට ඔහුට හරිහැටි ස්තූති කරන්නවත් තේරුණේ නැහැ. මම තාම ඔහුව හොයනවා.
නවක පරපුරට, ක්ෂේත්‍රයේ ප්‍රවීණ පිරිස ළඟින් ඇසුරු කිරීමට ලැබෙන අවස්ථාවන් සීමිතයි. නමුත් ඔබේ පරපුරේ අයට මේ අවස්ථාව හොඳින්ම ලැබුණා. මේ සම්බන්ධව ඔබේ අදහස?
මට ප්‍රවීණ කලාකරුවන් ඇසුරු කරන්න අවස්ථාව ලැබෙන්නේ මගේ මවුපියන් ඔවුන්ව ළඟින් ඇසුරු කළ නිසා. ඔවුන් කතා බහ කරන කියන දේවල් නිතරම අහන්න දකින්න ලැබුණා. අපිට ලොකු ආසාවක් තිබුණා ගීතයක් කළත් ප්‍රවීණයෙක් ලවා පද රචනාවක් කරගන්න, තනු නිර්මාණයක් කරගන්න, සංගීත අධ්‍යක්ෂණය කරගන්න. අපි ඔවුන්ට ආදරේ කළා. ගෞරව කළා. ඔවුන් දිහා බලලා ශක්තිමත් ගමනක් යන්න අඩිතාලම හදාගත්තා. ප්‍රවීණයන්ගෙන් නවකයන්ට ගන්න දේවල් තියෙනවා වගේම නවකයන්ගෙන් ප්‍රවීණයන්ට ගන්න දේවලුත් තියෙනවා. බැරි වෙන්න පුළුවන් වරදින්න පුළුවන්. නමුත් මේක බොහොම සුහදව යා යුතු ගමනක්.
එඩ්වඩ් ජයකොඩි මහත්මයා කියන්නේ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක්. ඔහුගේ දිවියට සවියක් වෙමින් එකම ගමනක් යන එක ගැන මොකද හිතෙන්නේ?
අපි එකිනෙකාව හඳුනා ගන්නේ මගේ පාසල් වියේ සිටමයි. දැන ඇඳුනුම්කම් මත 91 වසරේදී අපි විවාපත් වෙනවා. අවුරුදු 30කට ආසන්න කාලයක් එකම ක්ෂේත්‍රයක එකම විදියක ගමනක් යනවා. අපේ පුතා චන්දීප ජයකොඩි. දුව ශාරන්‍යා ජයකොඩි. ඔවුන් දෙදෙනාත් කලාවට සම්බන්ධ වෙලා ඉන්නවා. අවුරුදු 30ක් කියන්නෙත් ලේසි කාලයක් නෙමෙයි. එඩ්වඩ් තමයි අපේ ශක්තිය. විවාහය කියන්නේ නොගැළපීම් ගළපගෙන එකිනෙකාව රැක ගනිමින් ඉදිරියට යා යුතු ගමනක්. මම මගේ ජීවන ගමන පිළිබඳව හරිම තෘප්තිමත්.
(මව්බිම)