එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා හමු වූ ජනාධිපතිවරයා වැදගත් සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ලෝක අවධානයට ලක් වන අදහස් කිහිපයක් ද ජනාධිපතිවරයා පළ කර තිබේ. ඉන් ප්‍රධාන කාරණය වන්නේ දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීමය. කිසියම් රාජ්‍යයක පවතින දේශපාලන ගැටලු දේශීය යන්ත්‍රණයක් ඔස්සේ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම වඩාත් යථාර්ථවාදි ක්‍රමය බව ජනාධිපතිවරයා විශ්වාස කරයි. දෙමළ ඩයස්පෝරාව අන්තර්ජාතික වශයෙන් විවිධ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදෙන අතර, ඒවායින් වැඩි හරියක් රටට අහිතකර දේවල් බව පැහැදිලිය. සාකච්ඡා මාර්ගයකට ප්‍රවේශ වුව හොත් අනවබෝධය මෙන්ම නොමනා ක්‍රියාමාර්ග ද නවතා ගත හැකිය.
ත්‍ර ස්තවාදය හා අන්තවාදය පරාජය කිරීමත්, සුළු ජාතීන්ට යුක්තිය ඉටු කිරීමත් යනු පැහැදිලිව වටහා ගත යුතු දේශපාලන කාරණා දෙකකි. අන්තවාදය ගැන අදහස් දක්වන ජනාධිපතිවරයා එය ලෝකයට අභියෝගයක් ලෙස පවතින බැවින් ලෝක නායකයන්ගේ දැඩි අවධානය ඒ කෙරෙහි යොමු කළ යුතු බව කියා ඇත. මෙය ලෝකයේ බලවත් රටවල නායකයන්ගේ විශේෂ අවධානයට ලක් විය යුතු කාරණයකි. අන්තවාදය ගොඩනැඟීමට හා එම ව්‍යාපාර ශක්තිමත් වීමට ඇති අවස්ථා නැති කළ යුතුය. ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම්වලට සංවාදය සඳහා ආරාධනා කිරීමත් මේ සම්බන්ධයෙන් ඇති පිළිගත හැකි විසඳුමකි. සාකච්ඡාවෙන් සුහදතාව ගොඩනැඟෙයි; වැරැදි වැටහීම් දුරු වෙයි. ඒ මඟින් ගැටලුවල යථාර්ථය වටහා ගත හැකිය.
අප මුලින් සඳහන් කළ පරිදි එක්සත් ජාතීන්ගේ මහ සමුළුව යනු දියුණු වෙමින් පවතින රටවලට කදිම අවස්ථාවකි. ඒ රටවල නායකයන් ඉන් ඉහළම ප්‍රතිඵල නෙළා ගැනීමට ක්‍රියා කළ යුතුය. විශේෂයෙන් රාජ්‍ය නායකයන් හමු වී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට මෙහිදී අවස්ථාව උදා වෙයි. පසුගිය 19 දා කුවේට් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාට හැකි විය. වසර පනස් ගණනක් පුරා විහිදී ගිය දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙහිදී යළි සිහිපත් කෙරුණු අතර, ක්වේටයේ නව රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන් වෙත සලසා දීමට වැඩසටහනක් නිර්මාණය වී ඇත. රටවල් විවෘත කළ පසු එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය දෙකම එකඟතාව පළ කර ඇත. අපේ විදේශ අමාත්‍යවරයා තුර්කි නායකයන් සමඟ වෙළෙඳ ගනුදෙනු ගැන සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකාව කිසිදු රාජ්‍යයකින් ආධාර ඉල්ලා සිටින්නේ නැත. විදේශ ණය ගැනීම ද සීමා කිරීමට රජය තීන්දු කර තිබේ. ශ්‍රී ලංකාව හැම විටම අපේක්ෂා කරන්නේ ප්‍රාග්ධන සහයෝගය හෙවත් ආයෝජන ලබා ගැනීමටය.
මෙවර එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සපිරි අවධානය යොමු වී ඇත්තේ කොවිඩ් ලෝක වසංගතය හා ඊට විසඳුම් සපයා ගැනීම කෙරෙහිය. අර්බුදයෙන් ගොඩ යා හැකි උපාය මාර්ග සෙවීම, එකිනෙක රටවල සාර්ථක අත්දැකීම් හුවමාරු කර ගැනීම, දිළිදු රටවලට සහයෝගය දීම ඇතුළු කරුණු ගණනාවක් මහ සමුළුවේදී සංවාදයට ගැනෙනු ඇත. වසංගතයෙන් මිදිය හැකි විද්‍යාත්මක උපාය මාර්ගය ලෙස සැලකෙන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත ය. එන්නත්කරණය අතින් ලෝකයේ ඉදිරි තැනක ශ්‍රී ලංකාව පසු වෙයි. මුළු ජනගහනයෙන් සියයට එකකට මේ වන විටත් එන්නත් මාත්‍රා දෙකම දී ඇත. මෙබඳු තත්ත්වයක් පවතින්නේ අමෙරිකාව, ජපානය, එංගලන්තය වැනි දියුණු රටවල පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ එන්නත්කරණය ආදර්ශවත් වැඩසටහනක් ලෙස හඳුන්වා ඇත. එය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද අනුමත කර තිබේ. ලෝකය සමඟ සාර්ථක ගනුදෙනුවකින් තොරව කිසිදු රාජ්‍යයකට ඉදිරියට යෑමේ හැකියාවක් නැත. ජනාධිපතිවරයා එය හොඳින් වටහා ගෙන ක්‍රියා කරනු පෙනෙයි.