මසකට දෙකකට වරක් ගමේ නෑදෑ මිතුරන්, පවුලේ උදවිය හෝ එක්ව සිනමාහලකින් ලද රෑපමය රසය නිවසේ ආලින්දයට රැගෙන ආ කලාගාරය බවට පත්වූ ජෝන් ලොගී බෙයාඩ් නිර්මාණය කළ රූපවාහිනිය තුළින් ඊටම අනන්‍ය වූ නාට්‍යමය කලා නිමැවුමක් ලෙස ටෙලිනාට්‍ය කලාව මෙරට ආරම්භ වූයේ 80 දශකයේදීය. එහිදී පුරෝගාමී නිර්මාණකරුවකු වූ ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ දිමුතු මුතු මෙරට ප්‍රථම ටෙලිනාට්‍ය ලෙස සැලකෙන අතර එහි දෙවැනි දිගහැරුමේ සිට එක්ව අදටත් ශ්‍රී ලාංකික කලා රසික ආදරය නොඅඩුව ලබන ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් නම් ඇගේ කතාව මෙවර හදසර My story තුළින් ඔබේ දෝතට පිළිගැන්වෙයි.
මම ඉපදුණේ මොරටුවෙ. මගේ තාත්තා පියදාස තෙන්නකෝන්. අම්මා ශ්‍රියානි තෙන්නකෝන්. පාසල් ගියේ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයට. මම පාසලේදී නර්තනයට සහ ක්‍රීඩාවට වැඩි වශයෙන් යොමුවෙලා හිටියා. ඒ වගේම මම චිත්‍රා කුමාරි කළුබෝවිල, වජිරා චිත්‍රසේන සහ රැජිණි සෙල්වනායගම් යන ප්‍රවීණයන් යටතේ නර්තනය හැදෑරුවා. ඒ හැදැරීම් මගේ සාර්ථක රංගන ජීවිතයට ඉමහත් ආශිර්වාදයක් වූ බව මම බොහොම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.* නිල්මිණි හදසර My story වෙත තම කතාව දිගහැරීම ඇරඹුවේ එලෙසිනි.
නිල්මිණි පාසල් වියේදී ඉතා සුන්දර දඟකාර යුවතියක් වූවාය. ඇයට වයස අවුරුදු 13ක් පමණ කාලයේදී හදිසියේම ඇගේ පියා ජීවිතයෙන් සමුගැනීම මුළු පවුලටම ඇතිකළේ පිරවිය නොහැකි අඩුවකි. මගේ තාත්තා දේශපාලන කටයුතුවලට සම්බන්ධවෙලා හිටියා ප්‍රබල විදිහට. මට මතකයි සිරිමාවෝ මැතිනිය තාත්තට කතා කළේ තෙන්නෙ කියලා. ගොඩක් වෙලාවට එතුමිය හමුවන්න තාත්තා මාවත් අරගෙන ගියා. තාත්තා දේශපාලනය නිසා ගත කළේ ඉතා අවිවේකී කාර්බහුල ජීවිතයක්. අදටත් දේශපාලනය මට එතරම් ප්‍රිය නොවන මාතෘකාවක් වන්නේ එය මා කුඩා කල සිට අත්දුටු නිසාමයි. කලාකරුවකු ලෙස මා පෞද්ගලිකව අසීරු තත්ත්වයන්ට පත්වූ විට මට රටේ පාලනාධිකාරියෙන් උදව් ලැබුණා. ඒ සියල්ල මා කලාකාරියක ලෙස කළ සේවය නිසාම පමණයි. මගේ උත්සාහය කැපවීම මත පමණයි මා ජීවිතයේ සියල්ල ලබාගත්තේ.
නිල්මිණි තෙන්නකෝන් යනු මෙරට ටෙලිනාට්‍ය කලාව තුළ දශක කිහිපයක් එක ලෙසම තම ජනප්‍රියත්වය රඳවාගත් ශිල්පිනියකි. අනූව දශකයේ ඇය රංගන දායකත්වය ලබාදුන් දූ දරුවෝ හි ඇය මැවූ දීප්ති චරිතය අදටද ප්‍රේක්ෂක ජනතා ආකර්ෂණය නොමඳව හිමි චරිතයකි. ඉන් ඈ අසීමිත ජනතා ආදරයක් හිමිකර ගත්තාය. ඉස්සර පාසල ළඟ මාව එක්ක යන්න එනකල් මම හිටිය තැන තිබුණේ සිනමා ශාලාවක්. විවිධ මාදිලියේ කටවුට්, බැනර්, පෝස්ටර් මට නිරන්තරයෙන් දකින්න ලැබුණා. එක දවසක් මට හරිම අපූරු කටවුට් එකක් දකින්න ලැබුණා. චිත්‍රපටය තමයි චණ්ඩි ශ්‍යාමා. එදා මට පුදුමාකාර කැමැත්තක් ඇතිවුණා ඒක බලන්න. ඉස්සර අපිව සිනමාශාලාවලට රුගෙන ගියේ නැතිම තරම්. ඉතින් මම අයියට කිව්වා මේක නම් ළමයින්ට බලන්න පුළුවන් එකක්. මට බලන්න ඕන කියලා. මට මතකයි අපි චිත්‍රපටය බලන්න ගිය වෙලාවේ ඉදිරියට යන්න ඕන කියලා මම ඇඬුවා. චිත්‍රපටය පටන් ගත්තාම ඉදිරියට ගිහින් හිටගෙන බැලුවා. කට්ටිය කෑගහන විට මම ටිකක් පහතට නැවෙනවා. ආයෙ උඩට ඉස්සෙනවා. කොහොමහරි ගෙදර එන්න එළියට එද්දි මමත් චණ්ඩියෙක්. ඒ විදියටම අයියාට පහර දුන්නා. ඇය සිය මතයන් අවදි කළේ එලෙසය. අද වනවිට ඔහුද සිය ජීවිතයෙන් සමුගෙන ගොසිනි.
චණ්ඩි ශ්‍යාමා නැරඹීමෙන් පසු යළි ඇගේ හිත ගියේ සබීතා චිත්‍රපටයටය. යොවුන් වියේ පසුවූ ඇගේ සිත නිරායාසයෙන්ම එයට ඇදී ගිය තරම් කෙසේද යත්, පාසලෙන් අනතුරුව පැවැත්වුණු තූර්යවාදක කණ්ඩායමේ පුහුණුවීම් සඳහා රැඳුණු දිනයක යෙහෙළියන් සමඟ එක්ව ගොස් ඇය සිනමාහලේදී සබීතා නරඹන්නටද වූවාය. සිනමාවට දැඩි ආකර්ෂණයක් ඇතිවීමට තරම් එම චිත්‍රපටය ඇගේ හදවතටම දැනුණි.
මගේ යාළුවෝ කව්වා මටත් රඟපාන්න යන්න නිල්මිණි කියලා. එක යාළුවෙක් දවසක් මට ගෙනත් දුන්නා සිහින පත්තරය. ඒකෙ තිබුණා ලස්සන ලස්සන මුහුණු සොයනවා කියලා. ඉතින් අපි ස්ටූඩියෝවකට ගිහින් පින්තූර අරන් එකට තැපැල් කළා. මාසයකට විතර පසුව ජයග්‍රාහකයා ගැන පුවත්පතේ පළ වුණා. මම ප්‍රථම ස්ථානය ලැබුවා. එවකට එහි කර්තෘවරයා වුණේ චන්ද්‍රරත්න මාපිටිගම මහතා. ජයග්‍රහණය කරන කෙනාට පුවත්පත් කවරයකට පෙනී ඉන්න සහ පින්තූර කතාවකට පෙනී සිටීමේ අවස්ථාව හිමිවුණා. ගෙදරින් මට අවසරය ලැබුණා. ඉතින් රංගනය ගැන ටික ටික හිතට දැනෙන්න ගත්තා. මාලනී ෆොන්සේකා, සබීතා පෙරේරා, අනුෂ්කා මැදිවක කියන රංගන ශිල්පිනියන් මට ගොඩක් බලපෑවා. පසුව මට ඔරෙක්ස් වෙළෙඳ දැන්වීමට පෙනී ඉන්න ලැබුණා. පාසල් වියේදීම සමරු සටහනක් ගන්න ගිහින් සුමනා අමරසිංහ මහත්මියව මට හමුවුණා. එතනදි ඇය මගෙන් ඇහුවා එයාලගෙ චිත්‍රපටයට එන්න කැමතිද කියලා. ඒ අනුව හිත හොඳ කොල්ලා චිත්‍රපටයේ ගීතයකට නර්තනයේ යෙදෙන්න මට අවස්ථාව ලැබුණා බන්දු සමරසිංහ සමඟ. ඒ නර්තනයට යොදාගත්ත ඇඳුම් සියල්ල තාමත් මගේ ළඟ සුරුකිව තියෙනවා. හර්බට් රංජිත් පීරිස්ගේ හිරු සඳු හමුවේ නාට්‍යයට අවස්ථාව ලැබුණා. දිමුතු මුතුවලින් ආරම්භ කරලා මේ දක්වා ටෙලිනාට්‍ය 80කට වැඩියෙන් මම රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ අතරින් විශාල ප්‍රමාණයක් ප්‍රධාන චරිත. දූ දරුවෝ තමයි මුලින්ම වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබාගත් නාට්‍යය. දිය සුළිය, ගිරිකුල, හැන්ඳෑව, අම්මා, මායා රංගන, හිම වරුසා, දෙවැනි කැමැත්ත වගේ නාට්‍ය නිසා මට සම්මාන දිනාගන්න ලැබුණා. ඒ වගේම මම ඩී.බී. නිහාල්සිංහගේ කෙළි මඬල චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් හොඳම නැගී එන නිළිය සම්මානය මට ලැබුණා. එයත් බොහෝ කතාබහට ලක්වූවක්. කෙසේ වුවත් මට සිනමාව අතහැරුණු වග නම් කිව යුතුමයි. අදටත් සිනමා රසිකයන්ගේ නොමඳ ආදරය හිමිවන ප්‍රමුඛ සිනමා නිර්මාණ රුසක් මට ලැබුණු ඒවා. ඒත් මගේ අධික කාර්යබහුලත්වය නිසා මට ඒ නිර්මාණවලට රෑගත කිරීම් වෙනුවෙන් දින ලබාදීමේ ගැටලුවක් ආවා. සමහර අධ්‍යක්ෂවරුන් මා සමඟ අමනාප වූ අවස්ථාත් තිබුණා. නමුත් මට සිනමාවේ ගොඩක් අවස්ථා මඟහැරුණා.* නිල්මිණිට ඒ ගැන නම් සිත තුළ යම් වේදනාවක් පවතින බව දැනේ.
එමෙන්ම යොවුන් වියේ ඇරඹි ආදර කතාව තුළ ආදරණීයම චරිත නිරෑපණයකට යාම තුළද තමන්ට රංගන අවස්ථා රුසක් අතහැරුණු වග ඇය පවසයි. එමෙන්ම අධික ජනප්‍රියත්වයක් හිමිවීම තුළ තම පෞද්ගලික ජීවිතය තුළ පවා බොහෝ තීරණ ඍජුවම ගැනීමට තමන්ට නොහැකි වූ බව ඇය පවසයි. දීප්ති චරිතය තුළින් ඇය ලැබූ රසික ආකර්ෂණය තුළ ඇයට බොහෝ සෙයින් කටකතාවලින් සිත රිදවා ගන්නට සිදුවූ අවස්ථාද තිබේ. සුන්දර බෝපත් ඇල්ල අසල කළ රෑගත කිරීමේදී ඇතිවූ සිදුවීම තවත් එවන් එක් නිදසුනකි. පසුව පුවත් මැවුණේ විවිධ සිරස්තල යොදමිනි. දීප්තිට මධු මල් පිපෙයි යනු එවන් එක් සිරස්තලයකි. ඒ දවස්වල මධූගෙයි මගෙයි සම්බන්ධයට එයාගෙ ගෙදරින් අවසර ලැබිලා තිබුණේ. නමුත් මගේ ගෙදරින් අවසර ලැබී තිබුණේ නැහැ. දිගින් දිගටම මාධ්‍ය, රසික ජනතාව ඒ ගැන කතා කළා. විවාහය පවා ඉක්මන් වෙන්න එම සිදුවීම හේතු වුණා. ජීවිතය හරි පුදුමයි. කාලයකදී ආදරෙන් අපි ළංකර ගන්න දේවල් කාලයකදී අපිට අහිමි වෙනවා. ඒක තේරුම් අරන් ජීවිතය ඉදිරියට රැගෙන යාමයි අපි කළ යුතු. මම ගොඩක් දේවල් දරාගත්තා. මගේ දියණිය ශ්වේතා දැන් ලොකුයි. ලොකු කැපකිරීමක් කරලා මම එයාව ඒ තත්ත්වයට ගේන්න ගොඩක් මහන්සි වුණා. කැපකිරීම් කළා. අද කවුරු කොහොම මාධ්‍ය ඉස්සරහ ඒ දේවල් ගැන කතා කළත් මම සහ මගේ හෘද සාක්ෂිය ඒ සියල්ල නිවැරදිව දන්නවා. ඉතින් සොබාදහමේ නීතිය තුළ ඒ හැමදෙයක්ම නිවැරදිව තීරණය වෙනවා.
කාලය කෙමෙන් කෙමෙන් ඉගිල යද්දී ඇය රංගනය තුළ මෙන්ම ස්වකීය ව්‍යාපාර තුළද සාර්ථකත්වයට ළඟා වූවාය. ක්ෂේත්‍රයේ නවකයන්ට නිරන්තරව අතහිත දෙන ඔවුන්ව අගයන නිල්මිණිට රසික ජනතාව සේම ක්ෂේත්‍රයේ අයද ආදරය දක්වති. ඇය මීට වසර 15කට පෙර දරුණු රිය අනතුරකට මුහුණපෑවාය. දරුණු ලෙස තුවාල ලැබූ ඇය මාස කිහිපයක් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබුවාය. ඒ කාලේ මම ජීවිතය ඉගෙන ගත්තා. මම රෝහලට රුගෙන යන විට හඬමින් කිව්වේ එකම දෙයයි. ඒ මම මැරෙන්නට දෙන්න එපා කියලා. මොකද මගේ ශ්වේතාට එතකොට වයස අවුරුදු පහයි. එයා කොහොමද මම නැතිව ඉන්නේ. ඒක හරිම දරුණු වේදනාවක්. පසුගිය මාර්තු 14 වැනිදාට මම ඒ අනතුරට මුහුණදීලා වසර 15ක් සම්පූර්ණ වුණා. මම එදත් කතා කළා රෝහලේ කාර්ය මණ්ඩලයට. ඇත්තටම එදා ඔවුන් දෙවිවරුන් වගේ මාව බලාගත්තා. ඒ වගේම මගේ හිතාදර කලාකරුවන් රසික රසිකාවියන් මට ආශිර්වාද කළා. උදව් කළා. සියලුම ආගමික නායකයන්, පූජකවරුන් විශාල පිරිසක් මට ආශිර්වාද කළා. ඒ අනතුරත් එක්ක මට කොතරම් මිනිසුන් ආදරය කරනවාද කියලා මට දැනුණා.* නිල්මිණි පවසන්නේ හෘදයාංගමවය.
ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට හතරකින් ඇය අප හමුවෙනු ඇත. කදිරදේව, තාත්තා සහ සඳ දඩයම ඇතුළු චිත්‍රපට ඒ අතර වේ. එමෙන්ම ඉදිරියේදී ටෙලිනාට්‍ය 16කින්ද රූපවාහිනී තිරයෙන් ඇය චරිත නිරූපණය කරමින් අප ආලින්දයට පැමිණෙනු ඇත. තම එකම දියණිය සමඟ ජීවිතය ගත කරන දිරිය මවක වන ආදරණීය නිල්මිණි, ඔබේ හෙට දවසේ සියලු පැතුම් සඵල වේවායි හදසර අපි සුබ පැතුම් එක් කරන්නෙමු.
මොනිකා සේරසිංහ