Jun
7

කොළඹ බලවත්තු ගාල්ලට ගිහින් ඇස්ට්‍රා සෙනිකා දෙවැනි මාත්‍රාව ගනියි (Photo)

 
1867 Views
   
 

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී ලබාදීම අද (07) දිනයේ දී ද සිදුවෙමින් පැවතිණ. මේ සඳහා බස්නාහිර පළාතේ ලියාපදිංචිය සහිත වාහන සිය ගණනක් පැමිණ තිබූ අතර විශාල පිරිසක් එන්නත් ලබාගැනීම සඳහා පෝළිමේ සිටියහ.

එන්නත් ලබාගැනීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පොලිස් නිලධාරින් කිහිප දෙනකු ද පැමිණ සිටි අතර වැඩි පිරිසක් ව්‍යාපාරිකයෝ සහ වෛද්‍ය පවුල්වලට සම්බන්ධ ඥාතින් බව ඔවුන්ගේ කතා බහෙන් පැහැදිලි විය. පැමිණ සිටි පිරිස අතරින් බොහෝ දෙනකු කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන විට පළමු එන්නත ලබාගෙන ඇති කාඩ්පත පෙන්වා ඇතුළුවන බවයි.

දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක දී ‍පළාත් අතර මෙලෙස සුපිරි වාහන ගමන් කිරීම පිළිබඳ අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ එම පුද්ගලයන් පැමිණ ඇත්තේ මීට පෙර එන්නත් කරන ලද පත්‍රිකාව පෙන්වා දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා ගාල්ලට යන බව පවසමින් යැයි හබරාදුව පොලිස් ස්ථානයෙන් දැනුම් දුන් බවයි.

මෙම එන්නත් කිරීම සිදුකරන ලද්දේ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි මහතාගේ මෙහෙයවීමෙනි.

මේ සම්බන්ධව අප ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් විමසූ විට හෙතෙම මෙසේ පැවසීය, “ගාල්ලට ලැබුණු එන්නත් වලින් අපි එන්නත් ලබාදුන්නේ දෙවැනි මාත්‍රාව දීමටත් ඉතුරු කරගෙන. ඒ නිසා අපිට තොග ඉතිරි වුණා. රටේ ඕනෑම තැනක ඉන්න පුද්ගලයකුට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත්තනම් දෙවැනි මාත්‍රාව ගැනීමේ හිමිකමක් තියෙනවා. අපිට ඒ අය පදිංචි කොතැනට ද මොන පළාතෙ ද මොනවද කරන්නේ කියලා අදාළ නැහැ. අපිට කතා කරලා ආවොත් අපි ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත්තු අයට එන්නත ලබාදෙනවා. ඒක ඔවුන්ගේ හිමිකමක්. මේ එන්නත් අපි හොර පාරේ යැව්වේ නැහැ. සල්ලිවලට විකුණලා නෑ. ඊයේ අපි 1000කට විතර එන්නත් දුන්නා. අදත් මේ එන්නත් දෙනවා. අපි ළඟ ප්‍රමාණවත් තොග තිබෙනවා.”

කෙසේවුවද ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා නොගත් බොහෝ පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින අතර ඔවුන්ට එන්නත ලබාගත හැකිදැයි විමසීම් කිරීමේදී දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් පවසා ඇත්තේ එන්නත් විද අවසන් බවයි. මෙම එන්නත් කිරීමේ වැඩසටහන පිළිබඳ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවසූයේ මෙවැනි එන්නත් කිරීමක් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිසේත්ම දැනුම්වත්ව නැති බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත් සියල්ල අවසන් වී ඇතිබව පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැන සිටි බවත් ගාල්ලේ එම එන්නතේ අතිරික්ත තොග ඉතිරිව තිබෙන බව කිසිසේත්ම නොදන්නා බවත් එම ප්‍රකාශකයා කීවේය.

සිරංගිකා ලොකුකරවිට (ada.lk)

 

1

 

2

 

3

 

4

 

5

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්