තේජා ඉද්දමල්ගොඩ යනු මෙරට වෙළෙඳ ප්‍රචාරණ සහ දැන්වීම් ක්‍ෂේත්‍රයේ සිටින දැවැන්ත චරිතයකි. මේ වන විට ඔහු අතින්, ඔහුගේ නිර්මාණශීලි දායකත්වයෙන් නිර්මාණය වූ වෙළෙඳ දැන්වීම් සහ නිර්මාණ 500කට වඩා වැඩිය. සිංගර්, මන්චි ඇතුළු දිවයිනේ සුප්‍රකට වෙළෙඳ ආයතන වෙනුවෙන් දැන්වීම් බොහොමයක් නිර්මාණය වී ඇත්තේ ඔහුගෙනි. වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ මාධ්‍යයට ඒමට පෙර, ‘තේජා’ යනු සංගීත ක්‍ෂේත්‍රයේ කටයුතු කළ අයෙකි. ක්ලැරන්ස් විජේවර්ධනයන් යටතේ සංගීතය හදාරා ඇති ‘තේජා’ මේ වන විට නිර්මාණය කර ඇති ගීත 200ක් පමණ වේ. ඒවායෙහි සංගීත මෙන්ම පද රචනය ද ඔහුගේම වීම විශේෂත්වයකි. ශිහාන්ගෙ මිහිරාවියේ, අමිලා නදීශානිගෙ ඔබ දන්නවාද දන්නෙ නෑ ඇතුළු සුපර් ස්ටාර් තරු රැසකගේ මුල්ම ගීතයේ රචනය බොහෝ විට ඔහුගේය. ඊට අමතරව ඇනස්ලි මාලේවන, මරියසෙල්, කීර්ති පැස්කුවෙල් ඇතුළු ප්‍රවීණයින් රැසකට ද ගී නිර්මාණය කළ ඔහු, කලා පරපුරකින් පැවත එන අයෙකි. ජෝතිපාලයන් සිනමා ක්‍ෂේත්‍රයට හඳුන්වා දුන් සිරිල් පී. අබේරත්න, මේ තේජා ඉද්දමල්ගොඩගේ සීයාය. මේ දක්‍ෂතාවයන්ට අමතරව තේජා චිත්‍ර ශිල්පියෙකි. එමෙන්ම මාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කළ චරිතයකි. එලෙසින් වූ තේජා ඉද්දමල්ගොඩ ගැන කතා වන්නේ මේ දිනවල ඉතා සාර්ථකව තිරගත කෙරෙන ‘ආශාවරී’ චිත්‍රපටය නිසාය. ‘ආශාවරී’ ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය වේ. අදියුරු හඬ විශේෂාංගය වෙනුවෙන් ආශාවරී සෑදූ විදිහ ගැන තේජා අද අපට කියාවි.
ආශාවරී’ පටන් ගත්ත විදිහ?
“මේ චිත්‍රපටය හදන්න මම පටන් ගත්තෙ මීට අවුරුදු තුනකට විතර පෙරදි. එතකොට රටේ තිබුණේ හොඳ සිනමා පරිසරයක්. සිනමාහල් එකසිය ගණනක් තිබුණා. නමුත් මේ චිත්‍රපටය නිම කරලා සංස්කරණ කටයුතු කළ කාලයේදී තමයි පාස්කු බෝම්බය පුපුරා ගියේ. ඊළඟට කොරෝනා වසංගතය ආවා. අන්තිමට චිත්‍රපටය පටන් ගත්ත තැනින් නෙවෙයි අපිට ඉවර කරන්න සිද්ධ වුණේ.”
මනෝරත්නයන් අසනීප වීම
“චිත්‍රපටයේ වැඩ පටන් අරගෙන දින 14ක් විතර රූගත කිරීම් කරගෙන යද්දි තමයි මනෝ අයියා අසනීප වුණේ. ඉතින් එයා සනීප වෙලා එනකල් මම රූගත කිරීම් කල් දැමුවා. මාස හතරක් ඒ විදිහට අපි මනෝ අයියා සුව වෙනකල් බලාගෙන සිටියෙ. එයාට සනීප වෙනවා කියන ස්ථිර බලාපොරොත්තුව අපට තිබුණා. ‘මනෝ අයියෙ ඔයාට සනීප වෙනකල් ඉඳලා තමයි මම ආයෙත් රූගත කිරීම් පටන් ගන්නෙ’ කියලා මම එයාට කිව්වා. ඒ කිව්වා වගේම මනෝ අයියාව සනීප කරගන්න අපට පුළුවන් වුණා. හැබැයි මට කතාව වෙනස් කරන්න සිද්ධ වුණා. මනෝ අයියාව ඒ තියෙන තත්ත්වය අනුව තියාගෙන තමයි අපි ආයෙත් රූගත කිරීම් පටන් ගත්තෙ.”
ලස්සනම – ලස්සන ගීත
ආශාවරී චිත්‍රපටයේ ගීත රූගත කළ හැටි කියන්නම්. කොහොමටත් එදා චිත්‍රපටයේ රූගත කිරීම් මුලින්ම ආරම්භ කළේ ගීතයකින්. ගීත ඔක්කෝම 4ක් ඇතුළත්. ඒවා ලිව්වෙ කැලුම් ශ්‍රීමාල් සහ නන්දන වික්‍රමගේ. ඒවායෙහි තනු නිර්මාණය කළේ මම. ආශාවරී චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය සුරේෂ් මාලියද්දගෙ. චිත්‍රපටයක රූගත කිරීම් කරද්දී සාමාන්‍යයෙන් සංගීත අධ්‍යක්‍ෂවරයා දර්ශන තලයට එන්නෙ නැහැ. නමුත් මම සුරේෂ් මාලියද්ද මහතාගෙන් දින ඉල්ලාගෙන එයාව දියතලාවට එක්කගෙන ගියා. එහෙම ගියේ දර්ශන රූගත කිරීම් දැකලා එයාට හොඳ හැඟීමක් ගන්න පුළුවන් නිසයි. අපි ඒ ගීත දර්ශන රූගත කළ ප්‍රදේශ ඔහිය, ඉදල්ගස්හින්න, දියතලාව ගත්තොත් පුදුමාකාර ලස්සනයි. හරියට පිටරටක වගෙයි. ඒ වගේම හරිම සීතලයි. සුරේෂ් සති දෙකක් විතර එහි හිටියා. ඒ සිටීම නිසාම හොඳම දෙයක් මට සුරේෂ්ගෙන් ගන්න පුළුවන් වුණා. පළවැනියටම චිත්‍රපටයේ මම ෂූට් කරන්න පටන් ගත්තෙ හේමාල් සහ ඉෂංකා පෙනී සිටි ගීත ජවනිකාවක්. ඉෂංකා මේ චිත්‍රපටය සමග මුලින්ම කරලියට එන්නෙ. ඉතින් එ් නිසා මට එයාගේ ධාරිතාව මැන ගන්න ඕනෑ වුණා. ඒ නිසා තමයි මුලින්ම ගීත ජවනිකාවකට ගියේ. ඉෂංකා ඒ වැඩේ හේමාල් එක්ක හරියටම කළාම මගේ ඔළුවට දැනුණෙ ලොකු සැහැල්ලුවක්. එදා අපි උදේ ඉඳලා සීන් හතරක් විතර ෂූට් කළා. ඒ දවසම යොදා ගත්තෙ ඒ වෙනුවෙන්.”
අසීරුම අවස්ථාව
“මේ චිත්‍රපටයට මම ගත්ත සෙසු පිරිස ඔක්කෝම වගේ ප්‍රවීණයින්. ඉතින් ඒ අය අබිබවා ගිහින් යමක් කරන්න මට ඕනෑ වුණේ නැහැ. මේ ප්‍රවීණ පිරිසකින් මට අධ්‍යක්‍ෂණය කරද්දී අපහසුවක් දැනුණෙ නැහැ. කැමරා අධ්‍යක්‍ෂ රුවන් කොස්තාට මම කිව්වේ ‘අපි ඉන්නෙ ලස්සන රටක, සුන්දර ලෝකයක. අපි ඒ සුන්දර ලෝකය මිනිස්සුන්ට පෙන්වමු’ කියලයි. මේ චිත්‍රපටයෙන් මට සම්භාව්‍ය වැඩක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. සිනමාව දාලා ගිය රටක, නැවත මිනිස්සු ගෙන්වීම මගේ අභිප්‍රායයි. ඒ වෙනුවෙන් මම කළේ ආකර්ෂණීය චිත්‍රපටයක්. ඒ විදිහට රූගත කරද්දී මට අසීරුම අවස්ථාව වුණේ හේමාල් හමුදා නිලධාරියකු ලෙස කළ දර්ශන පෙළයි. මොකද ඉස්සර වගේ හමුදාවේ නිලධාරීන් එක්ක රූගත කිරීම් අද කරන්න දෙන්නෙ නැහැ. එයාලගෙ පූර්ණ අනුග්‍රහය නැතුව අපට එය කරන්නත් බැහැ. දියතලාව හමුදා කඳවුරට ගිහින් දින තුනක විතර පුහුණුවකට අපි හේමාල්ව බාර දුන්නා. හේමාල් බැජ් එක පවා හරියටයම පළඳිනවා ද කියන දේ හමුදා නිලධාරීන් අකුරට සොයා බැලුවා. අපි ඒ දර්ශන පෙළ හරි පරිස්සමින් කළේ. ඒ වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය අරගෙන පෙර සූදානම් වෙන්න අපට සිදු වුණා. දියතලාවේ හමුදා ආයතනයේ බ්‍රිගේඩියර්වරු ඇතුළු සියලුම නිලධාරීන් අපට ලබා දුන් සහයෝගය ඉතාම ඉහළයි. ඒ ගැන පුදුම ගෞරවයක් අපට තියෙන්නෙ. ඒ දර්ශන පෙළ හැර අපිට වඩාත් දුෂ්කර වුණේ වැස්ස. ඒත් ඒ වැසි කාලගුණය අදාළව අපි දර්ශන කරන්න පෙළැඹුණා.”
කෝච්චිය හැප්පෙන දර්ශනය
“දීර්ඝ වේලාවක් අපිට රූගත කරන්න සිද්ධ වුණු දර්ශන පෙළ වන්නෙ දුම්රිය දෙකක් හැප්පෙන අවස්ථාවයි. ඒ දර්ශනය වෙනුවෙන් කොළඹ සිට දුම්රියක් අපිට ගේන්න සිද්ධ වුණා. ඒ වෙනුවෙන් ලොකු ගාණක් වියදම් ගියා. කෝච්චි අටක් දවසකට ඒ බිංගෙය ඔස්සේ ධාවනය වෙනවා. ඉතින් ඒ වෙලාවන්ට අවහිර නොවන විදිහට වේලාව අරගෙන අපි ඒ දර්ශන රූගත කළා. ඔන්න ඒ දර්ශනය රූගත කරලා ආවාට පස්සෙ තමයි මට කෝල් එකක් ආවේ මනෝ අයියට අසනීප වුණා කියලා.”
කතාවට මුල් වූ හේතුව
මගේ සංචාරක බංගලාවක් දියතලාවෙ තියෙනවා. ඔන්න ඔතැනට යන එන එක් අවස්ථාවකදී පුහුණුවීම්වල යෙදී සිටි හමුදා නිලධාරීන් පිරිසක් මම දුටුවා. ඒ හමුදා පුහුණුව අධ්‍යාපනික වශයෙන් ඉතා වැදගත් පුහුණුවක්. මම විශ්වාස කරන විදිහට මේ රටේ සෑම තරුණයකුටම ඒ පුහුණුව ලබා දෙනවා නම් අතිශය සාර්ථක මිනිස්සු බිහි වේවි. දවසක් මේ විදිහට යන එන අතරේ මට හිතෙන විදිහට හොඳ වැදගත් පවුලක ළමයෙක් හමුදාවට බැඳී මේ පුහුණුව ලබමින් සිටියා. ඒ දුෂ්කර පුහුණුව අතරේ එයාට තරුණියක හමුවනවා. ‘ආශාවරී’ කතාවට මම පාදක කරගන්නේ ඒ මූලබීජයයි.
දවසේ ෂූටිං ඉවර වුණාම
“ඒ ලස්සන සුන්දර ශීත පළාතේ දිනපතා ෂූටිං ඉවර වෙලා හවසට අපි ගීතයක් එහෙම ගයමින්, සුන්දරව ඒ දවස් ටික ගත කළා. මමයි, බිමලුයි තමයි බොහෝ වෙලාවට ගිටාරය වයමින් ගායනයට මුල පිරුවේ. පසුව අනෙක් අයත් එක් වුණා. සමහර දවස්වලට රාත්‍රියේදී මනෝ අයියා එක්ක බොහෝ දේ කතා කිරීමට අපි කැමැති වුණා. මොකද මනෝ අයියා කියන්නෙ රටක් රාජ්‍යයක් වගේ චරිතයක්. බිමල්, හේමාල්, සාරංග සහ මම එතුමාගේ ජීවිතයේ නළුකම දක්වා ආ ගමන ගැන බොහෝ දේ කතා කළා. ඒ කතාව මම හිතන්නෙ නූතන පරපුරේ බොහෝ දෙනාට වඩාත් ආදර්ශවත්. එච්චරටම කැප කිරීමක් කළ නළුවකු තවත් නැති තරම්.”
‘හේමාල්’ ගත්ත හේතුව
“ආකර්ෂණීය සිනමාවකට නැවත යන්න නම්, ආකර්ෂණීය දේ අපි කළ යුතුයි. ඒ විදිහට වැඩක් කරන්න නම් වත්මන් පරපුරේ අපට ඒ ආකර්ෂණීය සිනමාවට හොඳටම ගැළපෙන චරිතයක් තමයි හේමාල්.”
දෙබස් වෙනස් කිරීම
“ඕනෑම නිර්මාණයක තිර රචනය ලියැවෙන්නෙ චරිතවලට අනුව සහ එයාලා රූගත කරද්දී කියන්නෙ ඒ දෙබස්. ඒත් මම මෙහි තවත් වෙනසක් කළා. ඒ තමයි රූගත කිරීම් කළ මොහොතේදී ඒ මූඩ් එකට අනුව දෙබස් ලියා දීම. එහෙම කරද්දී අමුතු රසයක් ආවා. මොකද මේක මගේම දෙයක්නේ. ඒ නිසා ඒ නිදහස මට තිබුණා.”
හේමාල් කකුල කඩා ගැනීම
“එක් දර්ශනයකට පෙර දී හේමාල් පිම්මක් පනිද්දී කකුලට අනතුරක් වුණා. එයා රෝහලට ගෙන යද්දී කකුල හොඳටම ඉදිමිලා. ඒ විදිහටම කකුල තිබියදීත් එයා වේදනාව නොපෙන්වා පාන්දර වෙනකල් එයා දර්ශනයට පෙනී සිටියා. එයාගෙ වේදනාව අපිට පෙන්නුවේ නැහැ. ඒක තමයි චිත්‍රපටයෙ අන්තිම සිංදුව, ‘සිත් බැඳි ඡායා’.
මේ විදිහට ආශාවරී චිත්‍රපටයට දායකත්වය ලබාදුන් මනෝ අයියා, බිමල්, සේමිණී, ජයනි, හේමාල්, සාරංග, රුවි, ඉෂංකා ඇතුළු ඔක්කෝම මට මගේ පවුලක අය වගේ වුණා. පවුලක් එකතු වෙලා ශක්තිමත් බැඳීමකින් කළ චිත්‍රපටයක්. අද මනෝ අයියත් කොහේ හරි ඉඳලා අපි දිහා බලාගෙන අපට ආශිර්වාද කරනවා ඇති. මෙච්චර රටේ අවහිරතා තිබියදීත් ‘ආශාවරී’ හවුස් ෆුල් වෙවී තිරගත වෙන්නෙ අන්න ඒ වගේ අපි අතර තිබූ බැඳීම එක්ක අපි වඩාත් ආකර්ෂණීය ෆිල්ම් එකක් කළ නිසයි.”
සඳුන් ගමගේ