Oct
5

අභියෝග මැද විවෘත වන රට

 
447 Views
   
 

මේ වන විට රජය තීරණය කර ඇත්තේ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කරමින් ආර්ථිකය ක්‍රියාකාරී අංශයන් ආරක්ෂා කර ගනිමින් රට ඉදිරියට ගෙන යෑමයි. මේ තුළින් වැඩි දෙනකුගේ රැකීරක්ෂා ආරක්ෂා කර ගත හැකි වන අතර සමාජයේ පීඩාවට පත් වී ඇති ජන කොටසක් සඳහා කිසියම් ආදායම් ගලා යෑමක් අපේක්ෂා කළ හැකිය. මෙම කොවිඩ් වසංගත තත්ත්වයෙන් වුව ද ආර්ථිකයේ වර්ධන වේගය පළමු කාර්තුව වන විට 4.3% කින් වර්ධනය වීම යහපත් ප්‍රවණතාවයකි. ආර්ථිකයේ පළමු කාර්තුවේ මෙන්ම දෙවන කාර්තුවේ ද ආර්ථිකයේ බොහෝ අංශයන්වල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර තවදුරටත් එය ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන යෑම සිදු විය යුතුය.
මෙම වසංගත තත්ත්වයත් සමඟම ලොව අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද විවිධ ක්ෂේත්‍රයන්වල විවිධාකාරයෙන් අර්බුද මතු වෙමින් පවතී. වගකිව යුතු රජයක් වශයෙන් මෙම වසංගතය මර්දනය කිරීමට පියවර ගන්නා සේම රටේ උඩු දුවමින් පවතින ගැටලු හඳුනා ගැනීමත් ඒවා සඳහා විසඳුම් සෙවිය හැකි වන පරිදි ප්‍රමුඛතා හඳුනා ගැනීමත් සිදු කළ යුතුය. ප්‍රධාන වශයෙන් මේ අවස්ථාවේ දී හඳුනාගත හැක්කේ ශ්‍රී ලංකාව දරුණු ලෙස මුහුණ දෙමින් පවතින විදේශ විනිමය අර්බුදයට පිළියම් සෙවීමය. පසුගිය මාසයේ දී ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් බිලියන 1 ක විදේශ ණය කෙසේ හෝ ගෙවා දැමීමට කටයුතු කිරීම තුළින් තවදුරටත් ණය ගෙවා දමන, ඒ සඳහා කැප කිරීමක් ඇති බව ණය දෙන රටවල් ආයතන අරමුදල් කළමනාකරුවන් සහ ආයෝජකයන්ට දී තිබුණේ යහපත් සංඥාවකි. කෙටි කාලීන වශයෙන් ණය අර්බුදයෙන් මිදීම සඳහා හුදු දේශමාමක ලේබලයෙන් මිදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් දෙන ලද අමෙරිකන් ඩොලර් මිලියන 787 ගැනීම කාලෝචිතය. කෙසේ හෝ ඉදිරි මාස කිහිපය තුළ දී විදේශ සංචිත ශක්තිමත් කිරීමේ ක්‍රමෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආර්ථික වශයෙන් යහපත් වනු ඇත. එසේ නොවුණ හොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල අර්බුද ගණනාවක් ‍නිර්මාණය වීමට පසුබිම සකස් වනු ඇත.

මෙහිදී රට වසා දැමීම තුළින් කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය නැවත ලෝකය නව සාමාන්‍යකරණයට ලක් වූ වහාම ආරම්භ කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ක්‍රමෝපායික සැලැස්මක් සකස් කළ යුතු වන අතර දේශීය සංචාරක කර්මාන්තය තුළින් සංචාරක කර්මාන්තය සඳහා නව ගැම්මක් ඇති කිරීම කළ හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව සලකා බැලීම් ඉතා වැදගත් වේ. විදේශ විනිමය, විදේශ ආදායම් කඩා වැටී ඇති මේ දරුණු කාල පරිච්ඡේදය තුළ දී තවදුරටත් රට වසා දැමීම තුළින් අපනයන ආදායම් කඩා වැටීමට කිසිදු අවස්ථාවක් නොදිය යුතුය. විශේෂයෙන් අපනයන ක්ෂේත්‍රයේ නියැළි ජනතාව ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

ස්වයං රැකියාවල නියුතු ජනතාව, කුඩා ව්‍යාපාරවල නියුතු ජනතාවත්, එදිනෙදා ජීවිකාව උපයා ගන්නා අවිධිමත් රැකියාවල නියුතු ජනතාවත් ඔවුන්ගේ පවුල්වල ජීවිකාව ආරක්ෂා කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ පුළුල් ව සිතා බැලීම ඉතා වැදගත් වේ. මේ වන විට පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් 2000 දීමනාවක් දීමට රජය තීරණය කර ඇති අතර ලැබිය යුතු ඉලක්කගත අත්‍යවශ්‍යම ජනතාවට පමණක් මෙය දීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. අනවශ්‍ය අයවලුන් සඳහා මෙම දීමනාවන් දීමට සමහර දේශපාලනඥයන් මැදිහත්වීම් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ.

මෙම වසංගතය මර්දනය සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදේශයන් ඉතා වැදගත් වන අතර ඒ අනුව කටයුතු කිරීම සැමගේ වගකීම වේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ රට වසා දැමීම මඟින් රෝග පාලනය හා මිය යන ප්‍රමාණය අවම කර ගත හැකි වන බවය. රට වසා දැමීම මඟින් ජනතාව ගැවසීම සීමා කිරීම් මඟින් රෝග පාලනය කළ හැකි වන බව සත්‍යයකි. එහෙත් රටේ ජනතාව මෙම සීමාවන් තුට්ටුවකටවත් මායිම් කරන බවක් දක්නට නැත. අවශ්‍ය කාරණාවලට පමණක් නිවෙසින් බැහැර විය යුතු යැයි සීමා කළ ද ඒවා මායිම් නොකරන බවක් පෙනේ. මෙයින් සිදු වන්නේ තවදුරටත් රෝගය පැතිරී මිනිසුන් මිය යෑමය. රට වැසුව ද, රට ඇරිය ද දෝෂාරෝපණය එන්නේ රජයටය. එය සමාජයේ හැටි ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්