Apr
27

හැබැයි සම්මානයක් කියන්නේ හැමදේම නෙවෙයි

 
3 Views
   
But-an-award-is-not-everything  

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නළුවා වන්නේ දේශාන් සේනාරත්නයි. වේදිකාව පිළිබඳව සහ රංගනය පිළිබඳව හදාරමින් සිටින දේශාන් කලාව තුළ යම් ගමනක් යෑමට අපේක්ෂා කරයි. ඔහු සාරවිට කතාබහකට එකතු වූයේ මෙලෙසිනි.

ඔබව හඳුන්වා දුන්නොත්?

මම මේ වෙද්දි මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. ඊට අමතරව වැඩි ආශාවකින් කලාව ඇතුලේ ඉන්න මනුස්සයෙක්. මම වේදිකාව ගැන අවුරුදු දහයකට කිට්ටු කාලයක ඉඳලා හදාරමින් ඉන්නවා.

සම්මානයක් ලැබීම පිළිබඳව මොකද හිතෙන්නේ?

ආර්ට් එක ඇතුළේ ඉන්න මනුස්සයෙක්ට යම්කිසි උත්තේජනයක් තමයි සම්මානයක් ලැබීමෙන් වෙන්නෙ. මම රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා වීමෙන් මම වසරේ ප්‍රශස්තතම නළුවා වෙන්නේ නැහැ. ඒ මොහොතේ ඒ උළෙලේ තිබුණු නිර්මාණවලට සාපේක්ෂවයි මම හොඳම නළුවා වෙන්නේ. සම්මානයක් කියන්නේ හොඳ උත්තේජනයක්. හැබැයි සම්මානයක් කියන්නේ හැමදේම නෙවෙයි.

ඔබ හොඳම නළුවා වුණු කෙටි නාට්‍යය ගැන පැවසුවොත්?

සචිත්‍ර රාහුබද්ධ නිර්මාණය කළ ‘රත්මල් යහනක සැතපී’ කෙටි නාට්‍යයේ පොලිස් නිලධාරියාගේ චරිතය වෙනුවෙන් තමයි මම මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා වෙන්නේ.

නාට්‍ය තුළින් සාකච්චා කෙරෙන්නේ කුමක් පිළිබඳව?

මේ නාට්‍ය අපේ පැරණි පහතරට ශාන්තිකර්මයක් වන රිද්දි යාගය ශාන්තිකර්මයේ එන නානුමුරය, කපුයක්කාරිය, දරු නැලවිල්ල යන අවස්ථා පාදක කොට ගෙන වර්තමාන සමාජ ආර්ථික සහ දේශපාලනික වටපිටාව ගැන කතා කරනවා. මේ දවස්වල මිනිස්සුන්ට ඇත්තටම මේ මොහොතේ පවතින ප්‍රශ්නයක් තමයි අපි කොහොමද උයාගෙන කන්නේ කියලා. ම

නාට්‍යයේ ඇතුළේ අන්තර්ගත වන්නේ වර්තමාන සමාජයේ ඉන්න මිනිස්සුන්ට මේ මොහොතේ දේශපාලනික කාරණා මත ආර්ථිකය කොහොමද බලපා තිබෙන්නේ කියලා.  පොලිස් නිලධාරියාගේ චරිතය හරහා ලංකාවේ දැනට පවතින නීතිය දේශපාලනයත් එක්ක මුසු වෙලා සමාජයීය මට්ටමෙන් මිනිසුන්ට ප්‍රොජෙක්ට් වෙන්නේ කොහොමද කියලා පෙන්වා දෙනවා. ඒ වගේම පොලිස් නිලධාරියාගේ චරිතය සමාජීය වශයෙන් බැලුවාම ඔහු පිය පදවිය ලබන්න සූදානම් වන කෙනෙක්.

මම සමග රංගනයෙන් දායක වන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය බුද්ධික රණවීර මහතා. ඔහු පහතරට නර්තනය, ශාන්තිකර්ම පිළිබඳ පර්යේෂණ කරන ශිල්පියෙක්.

මෙම නාට්‍ය මේ මොහොතේ රටේ දේශපාලනික තත්ත්වය සමග ගැලපෙනවා නේද?

ඔව්. දැන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ කොහොමද අපි එදිනෙදා ජීවත් වෙන්න සල්ලි හොයාගන්නේ කියන එක. අද ගන්න බඩුවල ගාන නෙවෙයි අද තියෙන්නේ. දැන් මිනිස්සුන්ට ට්‍රැක් පැනලා තියෙන්නේ. මිනිස්සුන්ට හිතාගන්න බැහැ දැන් අපි ජීවත් වෙනවාද කියලා. ඒ පීඩනයේ ඔවුන් ඉන්නේ. ඒ පීඩනයේ පුපුරායෑම තමයි ගෝල්ෆේස් පිටියෙන් දකින්න ලැබෙන්නේ. මේ පුපුරා යෑම අපි කලාව තුළින් කතා කරපු එක් ස්ථානයක් තමයි රත්මල් යහනක සැතපී නාට්‍ය කියන්නේ.

මීට පෙර ඔබ දිනූ සම්මාන ගැන කිව්වොත්?

අන්තර් පාසැල් නාට්‍ය උළෙල – 2014, ටවර් හෝල් නාට්‍ය උළෙල – 2015, රාජ්‍ය ළමා නාට්‍ය උළෙල – 2016 වැනි නාට්‍ය උළෙලවල මම හොඳම නළුවා ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා. 2017න් පසුව මම වසර කිහිපයක් වේදිකාවෙන් ඈත් වෙලා හිටියා. මොකද හැමෝටම ආර්ථික ප්‍රශ්න එනවානේ. මටත් එහෙමයි. ඒ නිසා කාලයකට ඈත් වුණා. එතකොටත් මම හොදම නළුවා විදිහට සම්මාන කිහිපයක්ම ලබාගෙන තිබුණේ. හැබැයි ඒ අවුරුදු කිහිපය තුළ මම මිනිසුන්ව නිරීක්ෂණය කළා. ඒ කාල පරාසය රංගනය ගැන මටම හදාරන්න ලැබුණු අවස්ථාවක් කියලා මම හිතනවා.

ඔබට වේදිකාවේ රංගනය දැනෙන්නේ කොහොමද?

කුමක් හෝ ප්‍රකාශනාත්මක මාධ්‍යක් විදිහට වේදිකාව ගත්තොත් වේදිකාවේ රඟපානවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ලංකාවේ හෝ වේවා ගෝලීය වශයෙන් හෝ වේවා නළුවෙක්ට තමන් ජීවත් වෙනවා කියන හැඟීම එන්නෙම බෙල් තුන ගහන වෙලාවේ. තුන්වන සීනුව ගහන වෙලාවේ මම නළුවෙක්ද කියන හැගීම ඇති වෙනවා. වේදිකාව තමයි නළුවෙක්ව ඇති කරන්නෙත් නැති කරන්නෙත්. වේදිකාවෙන් තමයි හැදෙන්න පුළුවන්. හරියට ක්‍රිකට් ගහන ක්‍රීඩකයෙක්ට ටෙස්ට් වරම් ලැබෙනවා වගේ.

ඔබ ළමා රංගන ශිල්පියෙක් විදිහට තමයි මුලින්ම දකින්න ලැබෙන්නේ?

ඔව්. මම තුන වසරේදී පාරමිතා කියලා පන්සිය පණස් ජාතක පොතේ කතා ටෙලි නාට්‍යකට ගෙනාවා. මම එහි ළමා චරිතවලට රගපෑවා. ඉන්පසුව ධර්මසේන පතිරාජගේ ‘කම්පිත විල්’ ටෙලි නාට්‍යයේ දසුන් පතිරණගේ ළමා කාලයට රංගනයෙන් දායක වුණා. ඉන්පසුව තව නිර්මාණ කිහිපයකටම ළමා රංගන ශිල්පියෙක් ලෙස දායක වුණා.

නැවත ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණොත්?

වේදිකාව කියන්නේ ඉගෙනගන්න පුළුවන් එකම තැන. මම විශ්වාස කරනවා නළුවෙක් තෘප්තිමත් වෙන්නේ ආකාර දෙකකින් කියලා. එකක් තමයි රසිකත්වයක් හදාගෙන ඒ ජනප්‍රියත්වයෙන් තෘප්තිමත් වෙන අය. අනෙත් ආකාරය තමයි තමන් කරන නිර්මාණ, චරිතවලින්. මම හිතන්නේ මම එතනින් දෙවැනි ආකාරයට තෘප්තිමත් වෙන කෙනෙක්. මම උත්සාහ කරනවා කරනවා ටෙලි නාට්‍යවලට නොයා ඉන්න. මගේ බලාපොරොත්තුව කෙටි චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ චිත්‍රපටවලට එකතු වෙන්න.

විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ අයව මතක් කරන්න ඕනේ මොකක් හරි දීපු උදව්වකට. මම දැනට රංගනය ඉගෙනගන්නේ සචිත්‍ර රාහුබද්ධ සර්ගෙන්. ඔහුව සහ අපේ Red Apple International Theatre Gathering ආයතනයේ සියළු ශිල්පීන්ට ස්තූතියි කරනවා. එතකොට මගේ පෙම්වතිය වත්සි සහ මගේ යාළුවන්ට ස්තූතියි කරනවා. ඒ වගේම මට එදිනෙදා හමුවෙන හැම මනුස්සයෙක්ටම මම ස්තූතියි කරනවා.

සාකච්ඡා – කැළුම් දේවින්ද 

මෙන්න බලන්න තවත් ගොසිප්