ශ්‍රි ලංකාව හා ඉන්දියාව ආසියාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින පැරැණිම රාජ්‍යයන් දෙක ලෙස සලකනු ලැබේ. ඒ සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙකටම හිමි වූ කීර්ති නාමයක් ද ඇත. ඉන්දියාව විශාල රාජ්‍යයක් වුව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම රැකගනිමින් රටට හා ජනතාවට ගැළපෙන පාලන ව්‍යුහයක් සකස් කරගෙන තිබේ. ප්‍රාන්තයෙන්, ප්‍රාන්තයට එහි යම් වෙනස්කම් ද දකින්නට ලැබේ. කුමක් වුව ඉන්දියාවේ රාජ්‍ය පාලන ව්‍යුහය අභියෝගයට ලක් වී නැත. එය විශ්වාසවන්ත ලෙස පවත්වා ගැනීමට එරට නායකයන් ක්‍රියා කර තිබේ. එහෙත් අපේ රටේ ඇත්තේ ඊට වෙනස් තත්ත්වයකි. වරින්වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙනෙන අතර, මේ මොහොතේත් ඒ ගැන සංවාද පවත්වනු දැක ගත හැකිය.
එක පැත්තකින් විරෝධතාකරුවන් රට ගිනි තබමින් අර්බුදය තවත් උත්සන්න කරනු දැක ගත හැකිය. තව අතකින් පාර්ලිමේන්තුව ජනතාවගේ කෝපය තවදුරටත් වර්ධනය වන ලෙස ක්‍රියා කරනු දැක ගත හැකිය. මේ අතර ඩීසල් පෝලිමේ දිග්ගැහෙන්නට පටන්ගෙන තිබේ. ඇතැම් ප්‍රදේශවල පෝලිම් පවතින්නේ දින තුනක සිටය. දැන් කාගේත් අවධානය යොමු වී ඇත්තේ විරෝධතා දෙසටය. ඇතැම් ජනමාධ්‍ය උදේ සිට රෑ වන තුරු ද රාත්‍රියේ සිට එළි වන තුරු ද විරෝධතාම පෙන්වයි. ඒවාම වාර්තා කරයි. තෙල් පෝලිම්වල සිටින සාමාන්‍ය ජනතාවගේ අදහස වන්නේ දැන් අපි ගැන බලන්න කවුරුවත්ම නෑ යන්නය. එහි ඇත්තක් තිබේ. හුඟ දෙනකුට දැන් රටේ ඇත්ත ප්‍රශ්න අමතකය.
රාජ්‍ය නායකයා ඉවත් විය යුතු යැයි විරෝධතාකරුවන් කියා සිටිය ද එය කළ හැකි දෙයක් නොවේ. ජනාධිපතිවරයා හදිසියේ ඉවත් වුව හොත් රට මුළුමනින්ම අරාජික වී බරපතළ විනාශයක් සිදු වන්නට ඉඩ තිබේ. දැනට පවතින පාර්ලිමේන්තුවෙන් සාර්ථක විසඳුමක් අපේක්ෂා කළ නොහැකිය යන්න බොහෝ දෙනකුගේ අදහස වී තිබේ. මන්ත්‍රීවරුන්ගේ හැසිරීම එම අදහස තවදුරටත් තහවුරු කරයි. කඹ ඇදීම, කාලය නාස්ති කිරීම දිගටම සිදු වෙයි. සංචාරක කර්මාන්තය යාන්තමට හිස ඔසවමින් තිබුණ ද දැන් යළිත් එය කඩා වැටෙනු ඇත. එය අපට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් බව බොහෝ දෙනකුට අමතකය.
ආණ්ඩුවක් නැතිව රටක් පාලනය කරන්නට පුළුවන්කමක් නැත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සේම ආසියානු සංවර්ධන බැංකුව ද ශ්‍රී ලංකාවට සහයෝගය දීමට කැමැත්ත පළ කර ඇති බවට වාර්තා පළ වී තිබේ. මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට නම් වහාම වැඩසටහන් සකස් කොට ජගත් ආයතන සමඟ සාකච්ඡා කළ යුතුය. මෙය ප්‍රමාද වන තරමට අපේ ආර්ථික අර්බුදයේ ගැඹුර ද වර්ධනය වනු ඇත. ආණ්ඩුවක් නැති අරාජික රාජ්‍යවලට ණය නොව, ආධාර දීමටවත් ජගත් ආයතන ඉදිරිපත් වන්නේ නැත. මේ වන විට ඖෂධ හිඟයක් ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති. ඖෂධ හිඟය තවදුරටත් සංකීර්ණ තත්ත්වයක් වෙත ඇදී ගිය හොත් රට ඉතා අවාසනාවන්ත අඩියකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.
දැන් සිදු විය යුත්තේ වහාම කැබිනට් මණ්ඩලයක් ස්ථාපනය කොට ජගත් ආයතන වෙතින් ගත යුතු සහයෝගය කඩිනමින් ගැනීමය. පක්ෂ නායකයන් ඊට සහයෝගය දක්වන්නේ නැති නම්, රාජ්‍ය නායකයා තීන්දු තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතුය. උද්ඝෝෂණවලින් ආවේග පිට කර ගත හැකිය; එහෙත් රටක් පාලනය කළ නොහැකිය.