Jun
5

එංගලන්ත සංචාරයට අලුතෙන් 7 ක්

 
1476 Views
   
 

ලබන 8 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයන් 24 දෙනකුගෙන් සමන්විත සංචිතයක් තෝරාගනු ලැබ තිබේ. මෙම සංචිතයට බංග්ලාදේශ සංචාරයට එක් නොවූ ක්‍රීඩකයන් හත් දෙනකු ඇතුළත් කර ඇත. පිතිකරුවන් වන අවිශ්ක ප්‍රනාන්දු සහ ඕෂධ ප්‍රනාන්දු දෙදෙනාත්, තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ධනංජය ලක්ෂාන් සහ චරිත් අසලංක දෙදෙනාත්, පන්දු යවන්නන් වන නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න සහ ප්‍රවීන් ජයවික්‍රම තිදෙනාත් එංගලන්ත සංචාරයට අලුතෙන් එක්ව සිටිති. බංග්ලාදේශ සංචාරයට එක්වූ අශේන් බණ්ඩාර ආබාධයකට ලක්වීම හේතුවෙන් එංගලන්ත සංචාරයට එක්ව නැත.

 

එක්දින කණ්ඩායමේ මෙන්ම විස්සයි-20 කණ්ඩායමේත් නායකයා වශයෙන් කුසල් ජනිත් පෙරේරා නම්කර තිබේ. එංගලන්ත සංචාරයේදී පළමුවෙන් පැවැත්වෙන්නේ විස්සයි-20 තරග බැවින්ද, එක්දින නායකයා විස්සයි-20 කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වන බැවින්ද සීමිත ඕවර ආකාර දෙකේදීම (එක්දින සහ විස්සයි-20) එකම නායකයකු තබාගැනීමට තේරීම් කමිටුව එකඟ වී ඇති බවත් දැනගන්නට තිබේ.

 

24 දෙනාගෙන් සමන්විත කණ්ඩායම ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියට යවා ඇතත් සිකුරාදා සවස් වන තුරුත් ඒ සඳහා ඇමතිවරයාගේ අනුමැතිය ලැබී නොතිබුණ බව දැනගන්නට තිබේ. එහෙත් සිකුරාදා පෙරවරුවේදී පැවැති යෝග්‍යතා පරීක්‍ෂණයට මුහුණ දුන් ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන් සහ ඉෂාන් ජයරත්න යන පස් දෙනාම කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

 

මේ වන විට කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ ජෛව බුබුලු දෙකක සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මහල දෙකක කාලය ගතකරමින් සිටිති. බංග්ලාදේශයට ගිය කණ්ඩායම එක මහලකත් අලුතෙන් එක්වන ක්‍රීඩකයෝ අනෙක් මහලේත් සිටිති. ඒ අතරවාරයේදී පන්දු යැවීමේ යන්ත්‍රයක් ඉහළ මාලයට ගෙන්වාගෙන සිටින ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ පටු ආලින්දයේදී සැහැල්ලු පන්දුවකින් පුහුණුවීම් කරති. ජෙව බුබුලු දෙකේ ක්‍රීඩකයන් ලබන ඉරිදා එක්වීමට නියමිත අතර අඟහරුවාදා රාත්‍රියේ ඔව්හු එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරග 3 කට සහ එක්දින තරග 3 කට සහභාගි වීමට නියමිතය. තරගාවලියේ පළමු විස්සයි-20 තරගය මේ මස 23 වැනිදා කාඩීෆ්හිදී පැවැත්වේ. ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අතරේම පුහුණු තරග දෙකක් 18 සහ 20 දිනවලදී කෙන්ට් සහ සසෙක්ස් ප්‍රාන්ත ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතය.

 

ශ්‍රී ලංකා සංචිතය
කුසල් ජනිත් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, ඉෂාන් ජයරත්න, ධනංජය ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, බිනුර ප්‍රනාන්දු, ශි්රාන් ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ රමේෂ් මෙන්ඩිස්.

(දමින්ද විජේසූරිය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්