Feb
9

තාත්තාගේ සින්දු කියලා මම හම්බ කරන්නේ නෑ

 
559 Views
   
Gayan  

‘හිතන තරම්” එක්ක ආයෙමත් ගයාන් අලුත්වෙලා?

ඔව්.. මගේ අලුත් නිර්මාණය වුණු ”හිතන තරම්” ගීතය එළිදැක්වුණා. ඒක මමයි චරිත අතලගේයි එකතුවෙලා කරපු නිර්මාණයක්. කාලයක් තිස්සේ අපි දෙන්නා නිර්මාණ කිහිපයක්ම කළා. ”හිතන තරම්” ගීතය පද රචනා කළේ මමයි. චරිත සංගීත අධ්‍යක්ෂණය කළා. මේකට රූප රචනාවකුත් කළා. ඒක අධ්‍යක්ෂණය කළේ භාරත හෙට්ටිආරච්චි. රූප රචනාවේ රඟපෑවේ ජනප්‍රිය නිළියක් වන අනුරාධා එදිරිසිංහයි මමයි. රැප් කොටසට මානසික් සම්බන්ධ වුණා. මේ ගීතයේ මුල් පේළි හතර මම 2008 අවුරුද්දෙ ලියපු එකක්. කාලයක් මමයි චරිතයි දෙන්නා කැලිෆෝනියාවේ හිටියා. ඒ ඉද්දි තමයි අපිට මේ පේළි ටික මතක් වුණේ. ඔය ගීතයේ පේළි දෙක තුනක් මනුරංගත් ලියලා තියෙනවා.

පසුගිය කාලෙදි ගයාන්ව දකින්න ලැබුණේ නැහැ. කොහේද ගියේ? මොනවද කළේ?

මම අමෙරිකාවේ කැලිෆෝනියාවේ තමයි කාලයක් හිටියේ. 2014 අවුරුද්දෙ තමයි මම මුලින්ම අමෙරිකාවට ගියේ. මම ඒ රටේ පාසල් දෙකක ඉගෙන ගත්තා. අමෙරිකාවට යන්න මූලික හේතුව වුණේ අධ්‍යාපන කටයුතුවල නිරත වීමයි. සංගීතය හදාරන්නත්, ශබ්ද පරිපාලනය සම්බන්ධවත් මම ඉගෙන ගත්තා. අධ්‍යාපන කටයුතු අවසන් කරලා අමෙරිකාවේ ටික කාලයක් රැඳෙමින් සංගීත ක්ෂේත්‍රය සම්බන්ධ අත්දැකීම් ලබාගන්න මට ඕන වුණා. තවත් කාලයක් අමෙරිකාවේ ඉන්න හිතාගෙන හිටියා. නමුත් නොහිතුව වෙලාවක මගේ තාත්තා නැතිවුණා. ඒ නිසා මට ලංකාවට එන්න සිදු වුණා. දැන් මම ආයෙත් පූර්ණකාලීනව සංගීතය කරනවා. මම ගෙදර අයවත් බලාගන්න ඕනෙ. දැන් මට වගකීමත් තියෙනවා. ඒ නිසා අමෙරිකාවට වසරකට වරක් දෙවරක් ගියත් වැඩි කාලයක් මම ලංකාවේ ඉඳීවි.

කාලයක් ඔබ ලංකාවේ හිටියේ නැහැ. ලංකාවෙන් යද්දි තිබුණු ජනප්‍රියතාවත්, අද ලැබෙන ප්‍රතිචාරත් එක්ක අද ඔබට මොකද හිතෙන්නෙ?

ඇත්තටම ඒ ගැන නම් මට හරිම සන්තෝසයි. මම මේ තරම් ජනප්‍රියත්වයක් බලාපොරොත්තු වුණේ නැහැ. මම හිතුවේ මිනිසුන්ට මාව අමතකවෙලා ඇති කියලයි. සංගීතය ආයෙත් මුල ඉඳන් පටන්ගන්න තමයි මම හිතාගෙන හිටියේ. ඒත්.. එහෙම වුණේ නැහැ. අදටත් මිනිසුන්ට ගයාන් පෙරේරාව මතකයි. ”හිතන තරම්” ගීතයට ලැබෙන ප්‍රතිචාරත්, ප්‍රසංගවලට ලැබෙන ආරාධනාත් එක්ක මට සතුටක් දැනෙනවා. අවුරුදු අටක් කියන්නෙ සෑහෙන කාලයක්. මම රටෙන් යන කාලෙදි අවුරුදු දොළහක් වුණු අයට දැන් අවුරුදු විස්සක්. ඒ අය තමයි අලුත් තාරුණ්‍ය වෙන්නෙ. මම නැති කාලෙ හිටපු කලාකරුවන් එක්කයි ඔවුන් හැදුණේ. මම ආවට පස්සේ ඒ අයට මාව අලුත් කෙනෙක් කියලා දැනුණේ නැහැ. ඒ ගැන මට සතුටුයි.

”ජිප්සීස්” මේ රටේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. සුනිල් පෙරේරාගේ වියෝවෙන් පසුව ඒ හිස්තැන පුරවන්න ගයාන්ට ”ජිප්සීස්” එක්ක එකතු වෙන්න අදහසක් නැද්ද?

සුනිල් පෙරේරා කියන්නෙ දැවැන්ත චරිතයක්. තාත්තාගේ ශෙලියයි මගේ ශෙලියයි වෙනස්. කොහොමත් කවදාවත් තාත්තාගේ ඒ අඩුව පුරවන්න මට බැහැ. ඒක ලොකු අභියෝගයක්. මට හිතෙන විදිහට ඒක කාටවත් කරන්න බැහැ. තාත්තාට වෙනම අනන්‍යතාවයක් තිබුණා. තාත්තා ඉද්දිවත් මම තාත්තාගේ ගීත ගායනා කළේ නැහැ. තාත්තා කිව්වෙ ”ඔයාට ඔයාගේ අනන්‍යතාවයක් ගොඩනගාගන්න ඕනෙ නම් ඔයා අලුත් සින්දු කරන්න. මගේ ගීත ඔයා කිව්වා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාටම කියලා අනන්‍යතාවක් ගොඩනගාගන්න” කියලයි. තාත්තාගේ ගීතවලට මම ගොඩක් කැමතියි. හැබැයි මට කවදාවත් තාත්තාගේ ගීත කියලා හම්බකරන්නවත් මගේ ගමන යන්නවත් බලාපොරොත්තුවක් නැහැ.

ප්‍රසංගවලදි ගයාන්ට සුනිල් පෙරේරා ගැයූ ගීත ගායනා කරන්න ආරාධනා ලැබෙන්නෙ නැද්ද?

තාත්තාගේ ගීත මේ දවස්වල විතරක් නෙමෙයි ඒ දවස්වලත් ප්‍රසංගවලදි ඉල්ලුවා. නමුත් මම ඒවා කිව්වෙ නැහැ. එහෙම කිව්වනම් මට මගේ ගීත වෙනුවට ”ජිප්සීස්” ගීත ගායනා කරන්න සිදුවෙනවා. මම පුළුවන් තරම් මගේ ගීත ගායනා කළා මිසක් තාත්තාගේ ගීත ගායනා කරලා ප්‍රසිද්ධ වෙන්නවත්, ජනප්‍රිය වෙන්නවත් උත්සාහ කළේ නැහැ. ඉදිරියේදි මේ ලැබෙන ආරාධනාත් එක්ක ප්‍රසංගවලදි මගේ ගීත පහක් හයක් ගායනා කරන අතරේ තාත්තාගේ එක ගීතයක් තාත්තාට උපහාරයක් විදිහට ගායනා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. තාත්තාගේ ගීත බොහොමයකට මම කැමතියි. ඒ අතරින් ”ජිප්සීස්” මුල් කාලයේදි ගැයූ ගීතවලට මම බොහොම කැමතියි. ”ජිප්සීස්” ගැයූ දේශපාලනය සම්බන්ධ ගීතවලට වඩා මුල් කාලයේදි ගැයූ ගීතවලට මම කැමතියි.

ඔබ පුංචි කාලෙ ඉඳන් කලා වටපිටාවක හැදුණත් සංගීතයට නැඹුරුවෙන්න හිත යොමු වුණේ බටහිර සංගීත කණ්ඩායමක් නිසා කියලයි කියන්නෙ?

ඔව්.. පුංචි කාලෙදි අපිට ”තාත්තා සංගීතය කරනවා” කියලා අදහසක් තිබුණා. අපේ ගෙදර සංගීත භාණ්ඩ තිබුණා. ඒත් ඒවා දැකලා සංගීතයට යොමුවෙන්න මට ආසාවක් තිබුණේ නැහැ. මට අවුරුදු දාහතේදි විතර තමයි මම සංගීතය ආරම්භ කළේ. තාත්තා (Beatles) සංගීත කණ්ඩායමේ CD එකක් ගෙනාවා. ඒක දැකලා තමයි මට සංගීතයට යොමුවෙන පිස්සුව හැදුණේ. අපේ තාත්තා සංගීතය කරන්න පටන් අරගෙන තියෙන්නෙ ඒ සංගීත කණ්ඩායම නිසයි. තාත්තා මම සංගීතය කරන්න පටන් ගත්තාට පස්සෙ ගිටාර් වාදනය කරන හැටි කියලා දුන්නා.

මේ වෙනකොට ගයාන් පෙම්වතෙක්?

ඔව්.. මට පෙම්වතියක් ඉන්නවා. ඒ ගැන තාත්තා දැනගෙන හිටියේ නැහැ. ඇය ගැන අපි පස්සෙ විස්තර කියමු.

දිශානි ජයමාලි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්