Mar
20

කියාගන්න බැරි ආදර කතාවක් අපි හැමෝටම තියෙනවා

 
464 Views
   
We-all-have-an-unspeakable-love-story  

අපි තමයි අපිව දන්නේ…..
ලෝකය නෑ එය දන්නේ…
බාධක නම් තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ….

පාට පාට ලෝකයට එහා අපිට තියෙනවා අපිව ගලපගන්න ලෝකයක්. ඒ ලෝකය ඇතුලේ තිබුණා මිනිස්සුන්ගේ හැඟීම් වලට පණ දීපු හරි අපූරු වචන ටිකක් සහ හරි අපූරු රූප රාමුවක්….

මිනිස්සුන්ගේ හදවතට තාලය විතරක්ම නෙමෙයි. හැඟීම් වලට මෝහනය කරවපු ඒ අපූරු වචන ටික මාධවීගේ හඬින් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා එහා මෙහා සැරිසරනවා. 

මාධවී වත්සලා ඇන්තනී කියන්නේ හපන් පැදුර හරහා ළමා ගායිකාවක් ලෙස ගීත ගණනාවකට ජීවය දුන් හඬක් රංගනයට පමණක් නෙමෙයි ගායනයට නොදෙවෙනි ඇය ඇයගේ ගීත ගොන්නට එක් කරපු අලුත් නිර්මාණය අපි තමයි අපිව දන්නේ ඇයගේ ප්‍රථම ප්‍රේම ගීතය ලෙස ගීත ලැයිස්තුවට එකතු වෙනවා. 

ඉතින් ආදරය ගැන හදවතට වැඩියෙන්ම දනවපු මේ ආදර ගීතය ගැන මාධවී එක්ක කතා කරන්න සිතුවා. 

කොහොමද මේ දවස් වල දවස ගෙවෙන්නේ?

මේ දවස්වල ඉතින් අපි තමයි අපිව දන්නේ ගීතය තමයි මගේ අලුත්ම වැඩේ. හැමෝම කතාකරන හැමෝම ආදරයෙන් වැළඳගත්ත උණුසුම් ප්‍රතිචාර විඳිමින් තමයි කාලය ගතවෙන්නේ.

‘‘අපි තමයි අපිව දන්නේ’’ කාලෙකට පස්සේ තරුණ ප්‍රජාව අතර මෝහනය වෙච්ච ගීතයක් විදිහට සමාජ මාධ්‍ය තුළින් දකින්න ලැබෙනවා. මේ ගීතය ඔබ තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණද?

මේක ඇත්තටම අපි ප්ලෑන් කරලා කරපු නිර්මාණයක් නෙමෙයි. මෙහි පද රචනය කසුන් මහේන්ද්‍ර හීනටිගල. කසුන් මටම ලියපු ගීතයක් නෙමෙයි. මගේ කටහඬින් මේ ගීතය අහන්න ආසයි කියලා තමයි මට මේක දුන්නේ. ඇත්තටම ඒ වචන ටික දැක්කම මට හරි ලෝභ හිතුනා. ඒ වචන ටික මගේ හදවතට මාර විදිහට දැණුනා.

කියාගන්න බැරුව හදවතේ කීරිගැහෙන ආදරයක් අපි හැමෝමට තියෙනවා. ඒ මතකය හරි සියුම්ව මේ ගීතයේ වචන වලින් ස්පර්ශ කරනවා වගේ හැඟීමක් මට දැනුනා. ඒ මොහොතෙම මට මේක දෙන්න අපි ඉක්මනින් ගීතයක් කරමු කියලා කසුන්ට මම කිව්වා. ඔය විදිහට තමයි අපි තමයි අපිව දන්නේ ගීතයට මුලපිරුවේ.

ගීතයේ වචන වගේම තමයි ගීතයේ රූපරචනය සහ සංගීතය ජනප්‍රිය වීමට ප්‍රබල සාධකයක් වෙනවා. ඒ ගැනත් කතා කරමු.

මේ වචන ටික අතට ලැබුණම සංගීතය කාටද දෙන්නේ කියලා අපි කල්පනා කළා. අපි ගියා හේමක විජේරත්න ළඟට. අපේ පවුලේ ආදර ගීතය කළෙත් හේමක. බොහෝ කාලයක ඉඳලා මම දන්නවා.

හැබැයි කසුන්ගේ එක් කොන්දේසියක් තිබුණා. මේ ගීතයේ වචන එකක්වත් වෙනස් කරන්න බෑ කියලා. කසුන්ගේ අදහස අනුව එක වචනයක්වත් වෙනස් නොකර ඒ රසය ඒ විදිහටම දැනෙන ලෙස හේමක විසින් ගීතය නිර්මාණය කරලා දුන්නා. හදනිවෙන හිත නිවෙන කලහකාරි සංගීතයෙන් මිදිලා සාහිත්‍ය රසයක් දැනෙන හොඳ නිර්මාණයක් විදිහට ප්‍රේක්ෂකයන් අතරට ගේන්න වෙහෙස වුණු ලොකු කණ්ඩායමකුත් ඉන්නවා.

රූප රචනය ගැන කතා කරනවනම් එහි පිටපත වීඩියෝ අධ්‍යක්ෂණය සියල්ලම කළේ කසුන්මයි. ඒකට මම කැමති වුණා.

පෙම්වතා ලෙස කණිෂ්ක තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණද?

නළුවෙක් ගැන හිතනකොට කනිෂ්කව තමයි එකපාරටම ඔළුවට ආවේ. සාමාන්‍ය මහ පොළොවේ ඉන්න පෙම්වතාව ඔහු හොඳින් නිරූපණය කළා කියලා මං හිතනවා. අපි රූප මාධ්‍යයේ මවන්න හදන දේවල් නෙමෙයි ඇත්ත ජීවිතේ තියෙන්නේ. අපි මවන්න හදන්නේ ඇඟ පුරවගත්තු සුදු ලස්සන නළුවා කියන රාමුව ඇතුලේ හිරවෙච්ච කෙනෙක්. මට ඕනවුණේ ඒ පෙම්වතාව නෙමෙයි. දාඩිය සුවඳ දැනෙන ප්‍රශ්න තියෙන අඟහිඟකම් තියෙන ඒවා ජයගන්න දඟලන මොන ප්‍රශ්නය තිබුණත් හිනාවෙලා ඉන්න පිංවන්ත පෙම්වතෙක්. ඒ පෙම්වතාට කණිෂ්ක ඉහළින්ම ගැලපුනා. ඔහු වේදිකාවෙන් බිහිවුණු දක්ෂයෙක්. ඒ නිසාම ඔහුගේ දායකත්වය ගීතය සාර්ථක කරගන්න ලොකු රුකුලක් වුණා.

එක රැයින් වැළඳගත්ත ගීතය මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ 6 කිට්ටු ප්‍රේක්ෂකයෝ ප්‍රමාණයක් ගීතය නරඹලා තියෙනවා. මේ ලැබෙන ප්‍රතිචාර ගැන මාධවීට මොකද හිතෙන්නේ?

දරාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. අපි මේ වචන වලින් කතා කළේ බහුතර ජනතාවට. තම තමන්ගේ ආදර කතාව මේ ගීතයට ආදේශ කරගත්ත මිනිස්සු එක රැයෙන් මේ ගීතය වැළඳගත්තා.

ටික්ටොක් මාධ්‍ය හරහා බොහොම ජනප්‍රිය වුණා. ඒ වගේම මේ ගීතයට විවිධ විචාර ලියවෙන්න ගත්තා. මෑතකදී වැඩිම ගීත විචාර ලියවුණු ගීතයත් මෙය විය හැකියි. මෑතකදී කිසිම ගීතයකට නොලියවුණු තරම් විද්වතුන්ගේ රසවතුන්ගේ ලිඛිත විචාරයට ෆේස්බුක් හරහා මෙම ගීතය පත්වුණා. තව දෙයක් මේ ගීතයේ රූප රචනය සිනමාත්මක ප්‍රවේශයක් සනිටුහන් කරනවා කියලා බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.

එක විචාරයක ලියලා තිබුණා. ‘‘මම මාධවීට කැමති නැහැ. මොකද ජැක්සන් ඇන්තනීගේ මූණ කෙල්ලෙකුට ගැලපෙන්නේ නෑ කියන අදහස තිබුණ නිසා. හැබැයි මේ ගීතයේ හඬ රූපරචනය බලලා මගේ පරණ හැඟීම් අදහස වෙනස්වුණා…’’
මම ගැන වැරදි ආකල්පය අදහස් හිතේ තියාගෙන හිටපු පිරිසක් හිටියා. මේ ගීතයෙන් ඒ අය මට කිට්ටු වුණා. හේතුව මේ ගීතය හරි අවංකයි. මේ ගීතය තුළින් මම මගේ ආත්මය දැක්කා.

‘‘අපි තමයි අපිව දන්නේ’’ මම හිතනවා මේ ගීතය මගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂයක් වේවි කියලා.

මේ ඔබේ කීවෙනි ගීතයද?

මම හපන් පැදුරේ ඉඳලාම ගීත ගණනාවක් ගායනා කරලා තියෙනවා. ටෙලි නාට්‍ය, චිත්‍රපට ගීත රැසක් ගායනා කරලා තියෙනවා. නමුත් මේ සින්දුව මගේ පළමු ඒකපුද්ගල ප්‍රේම ගීතය. ප්‍රේමය ගැන ආදරය ගැන ගායනා කළේ පළමු වතාවට. මේ ගීතය කසුන්, මම, හේමක අපි කට්ටිය එකතු වෙලා බිහි කරපු දරුවෙක් වගේ. ඒ දරුවව මේ සමාජය විශ්වාසයෙන් භාරගනිද්දී අපි තුන්දෙනාට දැනුනේ විශාල සතුටක්.  අනිත් එක මට අවශ්‍ය නෑ එකපාරම පත්තු වෙලා නිවිලා යන නිර්මාණ කරන්න. මම ගීත නිර්මාණය කරන්නේ සල්ලි හම්බකරන්න නෙමෙයි. අපිට අවශ්‍ය වුණේ අර්ථවත් පවතින නිර්මාණයක් කරන්න.

ආදරය කියන දේ එක්ක ඒ හැඟීම් එක්ක මුළු ජීවිත කාලය පුරාම සටන් කරන මිනිස්සු අපි. මාධවීට දවසක ප්‍රේමය අතහරින්න වුණොත්?

මේ ලෝකයේ සියලුම දේවල් පවතින්නේ ප්‍රේමය නිසා. ප්‍රේමය අතහරින්න පුළුවන්නම් නිවන් දකින්න පුළුවන් කියනවනේ. මට නම් ප්‍රේමය අතහැරලා ජීවත් වෙන්න බෑ.

ගීතයට අප්පච්චිගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මොනතරම් ප්‍රතිචාර දැක්වුවත් ඒ ප්‍රතිචාරය නැත්නම් වැඩක් නෑනේ… මම මුලින්ම මේක පෙන්නුවේ අප්පච්චිට. අප්පච්චි ඉහළින්ම සතුටු වුණා. අප්පච්චිත් මේ ගීතය ආසාවෙන් රසවින්දා

මේ ගීතයෙන් පස්සේ අපිට මාධවීව දකින්න පුළුවන් ඉදිරි නිර්මාණ මොනවාද?

චණ්ඩි කුමාරිහාමි සහ රන්දෝලි කියන ටෙලි නාට්‍ය 2ක් ඉදිරියේදි විකාශනය වෙන්න තියෙනවා. ඊට අමතරව අප්පච්චිගේ එකගෙයි, සොකරි, සම්බුලා දේවි චිත්‍රපටවල පසුබිම් ගායනයෙන් දායක වෙනවා. තව කසුන් සමඟ ගීත 3ක් ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉන් එක ගීතයක් මේ වසරේදි ප්‍රේක්ෂකයන්ට දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අප්පච්චිගේ චිත්‍රපටවල මාධවීට අවස්ථා ලැබෙන්නේ නැත්තේ ඇයි?

දුව වෙච්ච පලියට අප්පච්චිගේ චිත්‍රපටවල චරිත ලැබෙන්නේ නෑනේ. ඉදිරියේදි අප්පච්චිගේ චිත්‍රපටයකට මාව දායක කරගන්න අදහසක් තියෙනවා කියලා නිලනොලත් ආරංචියක් නම් තියෙනවා. කොහොම වුණත් අප්පච්චිගේ නිර්මාණයකට දායක වෙන්න නම් ලොකු ආසාවක් තියෙනවා.

නදීශා අතුකෝරළ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්