Apr
16

ඒ අය මට පුදුම විදිහට වෙනස්කම් කළා – හර්ෂි අංජුමාලා

 
842 Views
   
They-made-a-difference-to-me---Harshi-Anjumala  

හර්ෂිට පුංචි කාලයට යන්න එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් හර්ෂි යන්න කැමති කොයි කාලේටද?

පුංචි කාලයට යන්න මට එක අවස්ථාවක් ලැබුණොත් මම මගේ චූටිම කාලයට යන්න ආසයි. මට මතකේ නැති, මගේ හුරතල්ම කාලයට යන්න මම ආසයි. අකුරු කියවන්න, ඇවිදින්න උත්සාහ කරපු කාලේ, අම්මාගේ අතින් අල්ලගෙන ඇවිදින්න හදපු කාලයට මම යන්න ආසයි. මගේ අම්මා මේ කාලේදීත් මට මෙච්චර ආදරේ නම් පුංචි කාලේ ඇවිදගන්නත් බැරි මට කොයි තරම් නම් ආදරේ කළාද කියලා මට බලන්න ආසයි. අද මම වෙනුවෙන් මෙච්චර අම්මා කැපකිරීම් කරනවා නම් ඒ කාලේදී මොනතරම් මම වෙනුවෙන් කැපකිරීම් කළාද කියලා මට බලන්න ආසයි.

නොහිතපු වෙලාවක හර්ෂිව කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප කරනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

එහෙම වුණොත් මම අනිවාර්යයෙන්ම මගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තව මහන්සි වෙනවා. මම මේ වනවිට මගේ විශ්වවිද්‍යාල උපාධිය අවසන් කරලයි තියෙන්නේ. ඒ නිසා මම තව උසස් අධ්‍යාපනයේ නියැලෙනවා. මේ වෙද්දී මට අවුරුදු විසි හයයි. මේ අවුරුදු විසි හයට මේ ක්ෂේත්‍රයත්, නර්තනය, රංගනය, නිවේදනය, රූපවාහිනී වැඩසටහනකට හෝ සජීවීව ගායනයෙන්ද, හඬ කැවීමෙන්ද, වෙළඳ දැන්වීම් වැනි හැම ක්ෂේත්‍රයකින්ම මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා කලා ක්ෂේත්‍රයේන මාව ප්‍රතික්ෂේප වුණත් මට දුකක් දැනෙන එකක් නැහැ. මම තවත් විෂයක් ඉගෙන ගනීවි.

හර්ෂිට නොකරපු වරදකට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් හර්ෂි මොකද කරන්නේ?

නොකරපු වරදකට මට දඬුවමක් ලැබෙද්දී මට ඒ දඬුවම ලැබිලා ඉවරයිනේ. මම කාලයත් එක්ක ඒක මට තනියම විසඳගන්න බැරිනම්, මගේ දෙමව්පියන්ට මැදිහත්වෙලා ඒක විසඳගන්න බැරිනම් මම බුදුදහම සහ දෙවියන්, ස්වභාව දහම විශ්වාස කරනවා. ඒ නිසා ස්වභා දහම විසින් ඒක කවදා හෝ විසඳාවි යැයි මම විශ්වාස කරනවා. එවැනි අත්දැකීම් පවා මගේ ජීවිතේ තිබෙනවා. මට වරදක් කළා කියලා ඒ කාට හෝ දඬුවම් ලැබේවායි මම පතන්නේ නැහැ. නමුත් එහෙම දේවල් මගේ ජීවිතෙත් වෙලා තිබෙනවා.

මේ වෙද්දී හර්ෂිගේ තිබෙන ජනප්‍රියත්වයත් එක්ක දේශපාලනයට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

දේශපාලනය කියන්නේ පුළුල් විෂයක්. ඒක හරි දැවැන්ත විෂයක්. මම ඒ සම්බන්ධව හදාරලා නැහැ. ඒ නිසා ඇත්තටම මම දේශපාලනයට සුදුසු කෙනෙක් නෙමෙයි. නොදන්නා දෙයක් කරලා රට අමාරුවේ දාන්න මම කැමැති නැහැ.

හිතපු නැති වෙලාවක හර්ෂිට කෝටි ගණනක විශාල ලොතරැයියක් ඇදෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ?

මට නම් ඒක හිතාගන්නවත් බැරිවේවි. ඇත්තම කිව්වොත් එහෙම කෝටි ගණනක මුදලක් ලැබුණොත් මම ඒ සල්ලි සේරම මගේ අම්මා අතට දේවි. අදටත් මට ලැබෙන හැම මුදලක්ම මම දෙන්නේ මගේ අම්මගේ අතටයි. මගේ හොඳම කලමනාකාරිණිය මගේ අම්මා. ඒ නිසා කෝටි ගණනක් ඇදුනත් මම ඒ හැම මුදලක්ම අම්මා අතට දේවි.

ජීවිතේ වෙච්චි සමහර සිදුවීම් අමතක කරන්න හර්ෂිට එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරන්නේ මොනවාද?

පාසැල් ජීවිතේදී මම ලිට්ල් ස්ටාර් තරගයට ගියපු කාලයේදී මට වඩා වැඩිමල් අක්කලා, මගේ වයසේ සමහරුන් මට වෙනස්කම් කළා. පාසැලේ බහුතරයක් මට ආදරය කරද්දී කිහිප දෙනෙක් මට පුදුම වෙනස්කම් කළේ. ඒකෙන් මට මගේ පාසැල් යන එක එපා වුණා… හැබැයි ඒ වෙනස්කම් කිරීමම පුංචි මගේ හිත හයිය කරන්නට අම්මා පාඩමක් විදිහට කියලා දුන්නා. පුංචි දරුවෙක්ට ඒ වෙනස්කම් කොහොම දරාගන්නද කියලා අද මට හිතෙනවා. ඉතින් ඒ වෙනස්කම් අමතක කරන්න පුළුවන් නම් මම අමතක කරනවා. විශ්වවිද්‍යාල කාලයේදී මුල් සති දෙක තුළදී නවක වදය නිසාත් මම විශ්ව විද්‍යාලයට යන්නත් ආස වුණේ නෑ. ඒ නිසා ඒ සති දෙකත් අමතක කරන්න කැමතියි.

මේ කලා ක්ෂේත්‍රයට අමතරව හර්ෂිට වෙනත් ක්ෂේත්‍රයක් හදාරන්න එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් ඉගෙන ගන්න විෂය මොකක්ද?

මම වෙනත් භාෂාවක් ඉගෙන ගන්න ආසයි. ඒ නිසා භාෂා කිහිපයක් හොඳටම ඉගෙනගෙන පරිවර්තකයෙක් වෙන්න ආසයි. මම ජපන් භාෂාවට හරි ආසයි. මම උසස් පෙළට ජපන් භාෂාව කළා. ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාලයට තේරෙනතුරු මම රත්නපුරේ ජපන් භාෂා පන්ති පවා පැවැත්වූවා. මේ වැඩත් එක්ක ඉදිරියට ඒ දේ කරගන්න බැරිවුණා. නමුත් තාමත් මම ඒකට ආසයි.

නර්තනය, රංගනය, නිවේදනය මේ ක්ෂේත්‍ර තුනෙන් එකක් තෝරාගන්න හර්ෂිට එක අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් තෝරා ගන්නේ මොකක්ද?

එහෙම වුණොත් මම නිවේදනය තෝරා ගනීවි. නර්තනය සහ රංගනය කියන දෙකම අම්මා මා තුළින් දැකපු දක්ෂතාවයන්. නමුත් නිවේදනය කියන්නේ මම ස්ව කැමැත්තෙන්ම පුංචි කාලේම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් නිවේදනය කරපු දෙයක්. ඒ නිසා මම නිවේදනයට ආසයි.

රටේ තිබෙන ආර්ථිකයත් එක්ක බොහෝදෙනා මේ වෙද්දී විදේශ ගත වෙන්න උත්සාහ කරනවා. හර්ෂිටත් හොඳ රටකට, හොඳ රැකියාවකට, හොඳ වැටුපකට යන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්?

මේ රටේ තිබෙන තත්ත්වය නිසා නම් මම එහෙම විදෙස් ගතවෙන එකක් නැහැ. අද වෙද්දී අපි හැමෝම එකම ප්‍රශ්නවලට මුහුණදෙනවා. මේ වෙද්දී ”රාජිණී” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් මමත් රඟපානවා. ආයෙමත් නර්තනය කරපු අංජුමාලා විදිහට මාව ප්‍රේක්ෂකයින් අතරට යන්න මේක හොඳ අවස්ථාවක්. නමුත් විදුලිය විසන්ධි වීමේ ගැටලුත් එක්ක මේ වැඩසටහන් ප්‍රේක්ෂකයන්ට බලන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙමයි කියලා ඒ හේතු කියලා මම මේ රටින් යන්න අවස්ථාවක් කරගන්නේ නැහැ. මම ලංකාවේ ඉන්න කෙනෙක් නම් මේ රටේ මිනිස්සු වගේම මේ දේවල්වලට මුහුණ දෙන්න ඕනේ. මේ දේවල් එක්ක ගැටෙන්න ඕනේ.

දිශානි ජයමාලි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්