Nov
30

ස්වයංපෝෂිත සෞභාග්‍යමත් දේශයකට මාර්ගය

 
1377 Views
   
 

තිරසර කෘෂි සංස්කෘතිය හරහා රට ස්වයංපෝෂිත කිරීමට නම්, ගොවියා ගේ ආර්ථිකය නගා සිටුවීමේ වැඩ පිළිවෙළකට යා යුතු වන්නේය. ඒ සඳහා ගොවියාට වඩා සාර්ථක වී මිලක් දීම අත්යවශ්යයයි. පොහොර සහනාධාර ලැබුණ ද තවමත් ගොවියාට ලැබෙන්නේ මෙරට දෛනික වැටුප් ලබන්නාට වඩා අඩු ආදායමකි. ඒ නිසා ගොවිතැන කෙරෙහි අනාගතයේ තරුණ පරම්පරාව දිරි ගැන්වීමට නම් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වඩා ඉහළ මිලක් දිය යුතුයි. දැනට ගොවියාගේ වී අස්වැන්නට අනුව ආදායම ගණනය කිරීමේදී, අක්කරයකට වී බුසල් ආසන්න වශයෙන් 100ක් පමණ ලෙස ගත හොත් වී කිලෝ 2000ක් පමණ අක්කරයකට ලැබේ. 

ගොවියකුට අක්කර 02ක් වන ඉඩමක් අයිති නම් වී කිලෝවක් රුපියල් 50 ගණනේ වී කිලෝ 4000කට රුපියල් 200,000.00කට ආසන්න ආදායමක් ගැනීමට හැකිය. මෙම මුදල එක කන්නයක් සඳහා වීවලින් ලැබෙන ආදායමයි. බිත්තර වී මිලදී ගැනීම, බිම් සැකසීමට, සී සෑමට, පොහොර යෙදීමට, අස්වැන්න නෙළීමට, වේළීමට සහ අස්වැන්න ප්රවාහනය කිරීමට අක්කරයකට යන වියදම රුපියල් 40,000.00ක් පමණ වේ. එබැවින් පාරිසරික හෝ වන අලි වැනි ස්වාභාවික හානියකින් හෝ මෙම අපේක්ෂිත අස්වැන්න අඩු නොවුණහොත් ගොවියාට කන්නයකට රුපියල් 160,000.00කට ආසන්න ආදායමක් ලැබේ. 

අප විශ්වාස කරන්නේ වී මිල අඩුම වශයෙන් දෙගුණයක්වත් විය යුතුය කියාය. වී කිලෝවක මිල රුපියල් 100ක් වත් ලැබුණහොත් ගොවියාට වඩා හොඳ ආදායමක් ලබා ගැනීමට හැකිය. දේශීය ශාකසාර දියර පොහොර නිෂ්පාදනය විධිමත් කිරීමේන් ද, ගොවි සංවිධාන මුල් කරගෙන ගොවියාටම අවශ්ය කොම්පොස්ට් සහ දියර පොහොර නිෂ්පාදනය ශක්තිමත් කිරීමෙන් ද වී ගොවිතැනට, ධාන්ය සහ එළවළු වගාවට අවශ්ය පොහොර ප්රමාණය අප රට තුළම නිෂ්පාදනය කර ගත හැකි වේ. මෙලෙස කාබනික පොහොරවලට ගොවියා සම්පූර්ණයෙන්ම හුරු වීමත් සමඟ පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් එම සහනාධාරය අඩු ආදායම් ලාභීන්ට අඩු මිලකට හාල් ගැනීමට සකස් කළ හැකිය. 

එවිට හාල් මිල වැඩි වීම නිසා පාන් පිටි පරිභෝජනය වැඩි වීමට ඇති ප්රවණතාවය වළක්වා ගත හැකිය. 1980 දශකයෙන් ටිකෙන්ටික ආරම්භ වී අද වන විට සම්පූර්ණයෙන්ම සහල් මිල තීරණය කිරීමේ හැකියාව රජයෙන් ගිලිහෙමින් පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් වෙත ගමන් කරමින් ඇත. එය නැවත රජය වෙත ලබා ගැනීම සඳහා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම අතිශය වැදගත් වේ. 

වාර්ෂික වී නිෂ්පාදනයෙන් 40%වත් වී අලෙවි මණ්ඩලයට මිලදී ගැනීමට හැකි වන ලෙස මණ්ඩලය ශක්තිමත් කළ යුතු අතර ඒ සඳහා ගොවි බිම් වෙත ගොස් වී මිලට ගැනීමට නියෝජිත ක්රමයක් ඇති කිරීම, තෙත බරට අනුව වී මිල තීරණය කිරිමේ සූත්රයක් හඳුන්වා දීම, වී වියළීමට කමත් ක්රමයට වඩා පහසු හා නවීන ක්රම ගොවීන්ට හඳුන්වා දීම හා වී මිලදී ගන්නා නියෝජිතයන්ට මිලදී ගන්නා වී ප්රමාණය අනුව දිරි දීමනා දීම වැනි පුද්ගලික අංශය භාවිතා කරන තරගකාරි උපායමාර්ග භාවිතා කරමින් අතීතයේ තිබුණු වී අලෙවි මණ්ඩලය මෙන් ශක්තිමත් නවීනකරණය වූ වී අලෙවි මණ්ඩලයක් ඇති කිරීම ද ඉතාම වැදගත් වේ. 

ශ්රී ලංකාව බතින් ස්වයං පෝෂිත වී පෙරදිග ධාන්යාගාරය බවට පත් වූයේ ලොවම මවිත කළ වාරි ශිෂ්ටාචාරයක් ද බිහි කරවමිනි. අද වන විට ලොවෙහි ජනගහනය වැඩි වී තිබුණ ද, නැවත වතාවක් සහලෙන් ස්වයංපෝෂිත වීමට ද, ආනයනය අවම කර කෘෂි ස්වෛරීත්වය ළඟා කර ගැනීමට ද අවශ්ය වාතාවරණය ලැබී ඇත. මෙම අවස්ථාව බුද්ධිමත්ව කළමනාකරණය කිරීමෙන් අපට ලොවට ආදර්ශයක් වෙමින් තිරසර කෘෂි සංස්කෘතිය හරහා ස්වයංපෝෂිත දේශයක් ගොඩ නැඟිය හැකි බව නොඅනුමානය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්