Jun
24

වචනයට සීමා නොවිය යුතු මහින්දාගමනය

 
1284 Views
   
 

බුදුරජාණන් වහන්සේගේ ධර්මය වනාහි ප්‍රායෝගිකව පුහුණු කරන තරමට බබළන්නකි. එනම් විවෘත වූ තරමින් එය මැනවින් පලගෙන දෙන්නේමය. (තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචනී නො පටිච්ඡන්නෝ) එවැනි අසිරිමත් ධර්මයක් ලද උතුම් පුණ්‍යවන්ත දිනයකි අද දිනය. ලෝකයා හමුවෙහි පෙර දවස බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍ර ප්‍රවර්ථනය කිරීමෙන් අනතුරුව එම දහම නිවැරදිව සමාජගත කිරීමෙහි භාරධූර වගකීම හිමිවූයේ ශ්‍රාවකයන් වහන්සේලාටය. එසේ ගත් අවසරයෙන් නූතනව වන විටද එම ධර්මය දේශ දේශාන්තරයන්හි නිවැරදි පාරිශුද්ධ ධර්මය මැනවින් ප්‍රචාරය වනුයේ සියල්ලන්ට යථාර්ථය පහදා දෙමිනි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පැවැති සංඝායනාවල ප්‍රතිඵලයක් ලෙස ධර්මාශෝක රාජ සමයේදී අප ලක් රටට මෙම ධර්මය ලැබෙනුයේදී පුරාකෘත පුණ්‍ය බලයක භාග්‍යවත් වූ ඵලයක් ලෙසිනි. අදවන් දින පෙරදා අසිරිමත් සුගතානුශාසනාව ලක් රට මැනවින් පිිහිටුවා රජ මැදුරේ පටන් අහිංසක අසරණ දුප්පත් පැල්පත දක්වා ගලා ගියේ ද ධර්ම දූත මෙහෙයෙහි පලයක් ලෙසින්මය.
මහින්දාගමනය තුළින් රට තුළ මහත් ධර්ම ප්‍රබෝධයක් ඇති වූ බව ලෝකයා දත් කරුණකි. දිය නොමැතිව දිනෙන් දින වියළෙමින් පැවැති කාන්තාරයකට මහා වැසි ධාරාවන් ඇදහැලුණාසේ මහින්දාගමනයෙන් ලද අසිරිමත් දහම මිනිසුන්ගේ මනෝභාවය වෙනස් කරමින් කුසලයට යොමු කිරීමට තරම් ප්‍රබල විය. එදිනෙදා ජීවිකාව පස් පවය නතුව ගතකළ මිත්‍යා ඇදහිලි ඔස්සේ දිවිපෙවත ගෙවූ මිනිසුන් ඒ සියල්ලෙන් මිදී තමා තුළින් ධර්මය දකින්නට ප්‍රයන්ත දැරූහ. එය ප්‍රයත්නය කල් නොයවා ප්‍රතිඵල ගෙනැවිත් දුනි. ප්‍රමයෙන් ආධ්‍යාත්මව පිරිසුදු කරගත් පාලන තන්ත්‍රයේ පටන් අසරණ දුගියා දක්වා වෙහෙර විහාර ඉදිකිරීමට සූදානම් වූහ. ඒ සියල්ල සිදු කරමින් ධර්මය ජීවිතය කොටගෙන සුන්දර ජීවිත ගෙවන්නට තරම් ඔවුහු පුණ්‍යවන්තයෝ වූහ. අධ්‍යාත්මීය සංවර්ධනයක්ද ලබා භෞතික සම්පත් දියුණු කිරීමට කළ උත්සාහක ප්‍රතිඵල අද අනුරාධපුර රාජධානියට යන්නට මැනවින් දැකපලා ගත හැකි කරුණකි.
පෙර දවස මෙම මහා ධර්ම ප්‍රාතිහාර්ය මුළුමහත් රට වැසියන්ගේම මනෝභාව වෙනස් කළ අසිරිමත් දහමක් බවට පත්විය. එනමුත් අතීතයෙහි තිබූ ධර්ම ප්‍රබෝධය එපරිද්දෙන්ම මෑත යුගය වනවිටත් තිබේදැයි පරීක්ෂා කර බලන කල වැටහෙන කාරණාම නම් එවකට තිබූ ධර්ම ප්‍රබෝධය ක්‍රමයෙන් මේවනවිට පිරිහෙමින් පවතින බව වැටහෙු ඇත. එය එසේ වූයේ මන්ද? එයට ඇත්තේ එක් පිළිතුරකි. එනම් වාර්ෂිකව පොසොන් කියා දිනයක් සමරා විවිධ ආටෝපයන්ට ප්‍රමුඛ ස්ථානයක් ලබා දුන්නා විනා ප්‍රතිපත්තියට ලද අවකාශය අල්ප විය. මෙම කාරණය අවිවාදයෙන් පිළිගත යුතුමය. එයට හේතුව කිම? සියල්ලන්ම මෙම දහම දර්ශනයක් ලෙස අවබෝධ කර නොගැනීමයි. විවිධ විසිතුරු සැරසිලි මතින් අලංකාර කිරීම අද දවසේ කළ යුත්තක් නොව ඉන් එහාගිය පාරිශුද්ධ භාවයක් ඇති කරගැනීට ප්‍රයත්න දැරීමම කළ යුතුව ඇත.
කෙසේ වෙතත් රට තුළ මේ වනවිට පවතින වසංගත රෝබිය හමුවේ මිනිසුන් සිය නිවෙස්වල සීලසමාදානයෙහි යෙදෙමින් ප්‍රතිපත්තියට මුල් තැන දී කටයුතු කිරීම අපගේ සතුටට කරුණකි. බාහිර කාර්යයන්ට මුල් තැන නොදී සීලාදී ගුණධර්මනයන්ට මුල් තැන හිමිවන බැවින් එසේ සටහන් කළෙමු. පොසොන් පොහොය යන නාමයෙන් වාණිජකරණයට ලක්වූ මේ උත්තම පොහෝදින සැබෑ මහින්දාගමනය සිදුවූ දිනය සේම සැමරීමට කාලය උදාවී ඇත. එබැවින් රටවසි බෞද්ධ ජනතාව මෙම පින්බර පොහෝ දින ප්‍රතිපත්තිට මුල්තැන දෙමින් කටයුතු කරතැයි අපි සිතමු.

වාද්දූව, මොරොන්තුඩුව, කුඩා ගෝනදූව, උත්තර චේතියාරාම පුරාණ මහාවිහාරවාසී, ඓතිහාසික වීදාගම සිරි ඝනානන්ද පිරිවෙනෙහි සහ කළුතර, දෙදියවල ශ්‍රී ධර්මාරාම පිිරිවෙණෙහි දමිළ විෂය භාර ආචාර්ය, මහාවංස පරිවර්තක මණ්ඩලයෙහි දමිළ භාෂා මහවංශ පරිවර්තක, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, ප්‍රවීණාචාර්ය පූජ්‍ය වලපනේ රතනවංස හිමි.

මෙන්න බලන්න තවත් ගොසිප්