Oct
31

“සීමා විරහිත ආදරයක් ලබනවා” හේමාල් රණසිංහ කාලෙකට පසුව කතා කරයි

 
1305 Views
   
 

කාලෙකට පස්සේ නැවත සිනමාශාලා විවෘත වෙද්දී වර්තමානයේ සිනමාව ගැන කතාබහ කරන්න සිංහල සිනමාවේ සිහින කුමරා හේමාල් රණසිංහ මුලින්ම පිනිපලස සමග සොඳුරු කතාබහකට එකතු වුණා.

මේ ගතවන කාලය දකින්නේ කොහොමද?

මම විශ්වාස කරන්නේ මේ කාල සීමාව පොදුවේ සියලුම ජනවර්ගයාට සොබාදහමින් ලැබුණු දඬුවමක් විදියට. මුළු ලෝකයේ සියලු දෙනාම තාමත් මුහුණ දෙමින් ඉන්න තත්ත්වයක්. මේකට එකම විසඳුම විනයගරුක වීම. මම දකින්නේ මේ තත්ත්වයට මුහුණ දුන් ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව තාමත් අපි ඉන්නේ පිටුපසින්. මේ වෙද්දී තත්ත්වය පොඩ්ඩක් යහපත් අතට හැරෙමින් එන නිසා ඉදිරියට මිනිසුන් මීට වඩා වගකීමෙන් යුතුව විනයගරුකව වැඩ කරොත් බිඳවැටුණු හැම කර්මානත්යක්ම නගා සිටුවන්න පුළුවන් වෙයි.

සිනමාව ඇතුළු රසවින්දන මාධ්‍යවලට ප්‍රබල අභියෝගයක් වුණා, සිනමා රංගන ශිල්පියෙක් විදියට මේ තත්ත්වය දකින්නේ කොහොමද?

ලෝකය දිහා බැලුවම මේ පැන්ඩමික් තත්ත්වය පවා ධනාත්මක විදියට අරගෙන වැඩකටයුතු කරගෙන යන තත්ත්වයක් අපිට පේනවා. අපේ රටේත් දැන් එවැනි තත්ත්වයක් ගැන අවධානය යොමු වෙමින් පවතිනවා. හැබැයි ඒක මේ නූතන ලෝකයට ගැළපෙන විදියටද කරන්නේ කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. එහෙම කියන්නේ මේ තත්ත්වයට අපි මුහුණ දිය යුතු පිළිවෙළක් තියෙනවානේ. ඒක WHO එකෙන් සවිස්තරාත්මකව මුල ඉඳන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවාට අනුකූලව කොහොමද අපි නිර්මාණ කටයුතු කරගෙන යන්නේ කියන ප්‍රශ්නය සහ අපි හදන නිර්මාණ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන ගැටලුව මට තියෙනවා.

ඒ නිසා ජෛව බුබුල කියන සංකල්පය මතම නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණ කටයුතු කළ යුතුයි සහ සිනමා ප්‍රේක්ෂකයාට නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහාත් ආදාළ ආයතන මගින් සියලුම ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා මම දැඩිව විශ්වාස කරනවා. මේ ගත වුණු අවුරුදු දෙකහාමාර ඇතුළත නිර්මාණ ගැන කල්පනා කරනවට වඩා ඒ ගැන කල්පනා කරන්න වුණා. එවැනි සැලැස්මක් තිබ්බා නම් අපිට අලුත් නිර්මාණ ගැන හිතන්න කාලය යොදවන්න තිබුණා. එහෙම වුණා නම් මීට වඩා හොඳයි.

මේ වසංගත කාලේ වුණත් ඇතැම් සිනමා නිර්මාණ බිහිවුණා. දායක වුණු එවැනි සිනමා නිර්මාණ ගැන මතක් කළොත්…

චිත්‍රපට දෙකක රංගන දායකත්වයක් ලබා දුන්නා. එකක් සම්මානිත අධ්‍යක්ෂවරයෙක් වන අරුණ ජයවර්ධනගේ ‘මාරියා’ කියන චිත්‍රපටය. මෙහි රංගනයෙන් එකතු වුණා මගෙත් එක්ක මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දසුන් පතිරණ, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දසනායක කියන අපි හත්දෙනා. මේ චිත්‍රපටය මහ මුහුද මැද බෝට්ටුවක තමා රූපගත කිරීම් තිබුණේ. ඒ නිසා මේ තියෙන වාතාවරණය එක්ක රූපගත කිරීම් කරගන්න පුළුවන් වුණා. නමුත් මහ මුහුද මැද රූපගත කිරීම පහසු කටයුත්තක් නෙවෙයි. බොහොම ආමාරු කටයුත්තක්. එහි අත්දැකීම් බොහොමයක් තියෙනවා.

ඒ ගැන අපි ඉස්සරහට චිත්‍රපටය එන කාලයකදී කතා කරමු. කැමරා අධ්‍යක්ෂවරයා වුණේ චන්න දේශප්‍රිය. ඔහුම තමා මගේ අනිත් සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වෙන්නෙත්. ඒ සයිමන් නවගත්තේගමයන්ගේ ‘ක්ෂිර සාගරය කැළඹින’ නවකතාව ඇසුරෙන් සම්මානිත සිනමාපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය. මෙහි තිර රචනය සහ ප්‍රධාන රංගන ශිල්පියා වන්නේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා. එහි රූපගත කෙරුණේ රන්මිණිතැන්න ආශ්‍රිතව නිසා අපිට පුළුවන් වුණා සම්පූර්ණ කණ්ඩායමම සමාජයෙන් යම්තාක් දුරට ඈත් වෙලා චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කරන්න.

ඉදිරියට පෙළ ගැහෙන්නේ ඔබේ නිර්මාණ දායකත්වය සහිත නිර්මාණ එකතුවක්, ඒ ගැන කතා කරොත්…

චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. ඒවා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ එන්න තියෙන චිත්‍රපට. එතන සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරපු චිත්‍රපට 5ක් සහ තව බාගෙට වැඩ අවසන් කරපු චිත්‍රපට දෙකක් තියෙනවා. ඒ නිර්මාණ නම් කවදා කොහොම කෙරෙනවද කියලා නම් මට අවබෝධයක් නැහැ. නමුත් ඒ වෙනුවෙන් වැය කරපු කාලය සහ ශ්‍රමය පිළිබඳ පසුතැවීමක් තියෙනවා.

සිනමාශාලා විවෘත වීමත් එක්ක තිරගත වෙන්නේ නැවත ‘කලම්බෝ’ චිත්‍රපටය

ඔව්. මේ පැන්ඩමික් තත්ත්වය හමුවේත් තිරගත වුණේ මම රංගනයෙන් දායක වුණු අසම රන්දිල් අධ්‍යක්ෂණය කළ සහ අනුෂ සංජිව එදිරිමුණි නිෂ්පාදනය කළ ‘කලම්බෝ’ චිත්‍රපටය. දවස් 86ක් මේ චිත්‍රපටය පවතින තත්ත්වය යටතේ සියලු බාධක සියල්ල මැද තිරගත වුණා. එය නැවත මේ මම 22 වැනිදා සිට නොවැම්බර් 10 දක්වා සිනමාශාලාවල තිරගත වෙනවා.

මෙතැනදී විශේෂ කාරණාවක් මතක් කරන්න ඕනේ. අද පවතින තත්ත්වය එක්ක චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න නම් චිත්‍රපට ශාලා හිමියන් දිරිමත් කරන්න ඕනේ කියන තීරණය මත මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා සහ චිත්‍රපට බෙදාහරින්නන්ගේ සංගමයේ එකතුවෙන් සිනමාශාලා හිමියන්ට ලැබෙන ආදායමට අමතරව තව සියයට 12.5ක් ලැබෙන විදියට සැලසුමක් ආරම්භ කරලා තියෙනවා.

මෙතෙක් ලැබුණු ලාභය බෙදිලා ගියේ නිෂ්පාදකවරයාට 45% ක් බෙදාහරින්නට 10%ක් සහ සිනමාශාලා හිමියන්ට 45% විදියට. මෙතැනදී ‘කලම්බෝ’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට ලැබෙන ආදායමෙන් තව 7.5%ක් සහ බෙදාහරිනන්ට ලැබෙන 10%න් 5%ක් සිනමාශාලා හිමියන්ට ලබා දෙන්න ඔවුන් තීරණය කරලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ දේ ‘කලම්බෝ’ චිත්‍රපටයෙන් පමණයි දැනට ක්‍රියාත්මක වෙන්නේ.

කලම්බෝවලින් පස්සේ වර්ල්ඩ් රිලීස් එකක් ලෙසින් ඔබ රංගනයෙන් දායක වුණු ‘සෙකන්ඩ් ෂෝ’ චිත්‍රපටය..

ඔව්, පළවැනි වතාවට මම ඒ ගැන මාධ්‍යක් එක්ක කතා කරන්නේ. මේ චිත්‍රපටය රූප ගත කළේ 2019 ලන්ඩන්වලදී. මේක ඇත්තටම පර්යේෂණාත්මක ව්‍යපෘතියක සිනමා නිර්මාණයක්. සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයේ දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරයාට නිෂ්පාදකවරයාට සහ ශ්‍රී ලාංකීය නිෂ්පාදකවරිය කියන තිදෙනාටම අවශ්‍ය වුණේ චිත්‍රපටය සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂවෙන් රූපගත කරන්න. ඊට පස්සේ ඉන්දියාවේ තියෙන විවිධ භාෂා කිහිපයකින් හඬකැවීම් කරන්න. ඒ නිසා මෙහිදී මට දෙමළ භාෂාවත් හසුරුවන්න සිද්ධ වුණා.

කොහොමද ලැබුණු අත්දැකීම…

මම අත්දැකීම් පිපාසයකින් ඉන්න කෙනෙක් නිසා මෙය මට වෙනස්ම සහ නැවුම්ම අත්දැකීමක් වුණා. මේ චිත්‍රපටය භාර ගැනීමට ප්‍රධාන හේතුව ඒක. ඇතිවුණු වසංගත තත්ත්වය නිසා ප්‍රදර්ශනය ප්‍රමාද වුණා. දැන් යම්තාක් දුරට තත්ත්වය පාලනය වීගෙන එන නිසා ඉදිරි කාලයේ තිරගත කරන්න සූදානමක් තිබෙනවා. හැබැයි දින වකවානු කියන්න අමාරුයි.

එහි චරිතය ගැන කිව්වොත්…

මෙතෙක් කාලයකට මගේ ප්‍රේක්ෂකයින් මාව දැකපු චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් වූ චරිතයක් ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලැබුණා. මේ චිත්‍රපටය ‘Horror, Thriller’ ශානරවලට අයත් චිත්‍රපටයක්. ඒ ගැන වැඩිදුර විස්තර චිත්‍රපටය තිරගත වෙද්දී කතා කරමු. මටත් අලුත් අත්දැකීමක් නිසා මම කැමතියි චිත්‍රපටය බලලම ප්‍රේක්ෂකයින් එක්ක කතා කරන්න.

ඔබේ මාධ්‍ය සිනමාව, නමුත් මේ කාලයේ තමන්ගේ මාධ්‍ය සිනමාව පමණයි කියූ අය පුංචි තිරයට ආවා, මෙගා කරන්නේ නැහැ කියන අය මෙගා නාට්‍යයවලත් දකින්න ලැබුණා. ඔබ තවමත් සිනමාව එක්ක. පවතින්න පුළුවන්ද?

ඒක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. මගේ රසිකයින් පවා මගෙන් අහන ප්‍රශ්නයක් තමා ඇයි අපි තාක්ෂණය එක්ක ඔන්ලයින් ප්ලැට්ෆෝම්වලට යන්නේ නැත්තේ කියන එක. ලංකාවේ සිනමා කර්මාන්තය ඇතුළේ චිත්‍රපට ප්‍රදර්ශනයේ විශාල රික්තකයක් තියෙනවා.

උදා: මේ වගේ අනපේක්ෂිත සිදු වීමකට මුහුණ දෙන අවධියකදී ඒකට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා හරි සැලැස්මක් අපිට තිබ්බේ නැහැ. අපිට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක අවශ්‍යතාව තිබ්බේ අද ඊයේ නෙවෙයි. එහෙම දෙයක් නොතිබුණ නිසා තමා අද මේ ප්‍රශ්නය පැන නැගිලා තියෙන්නේ.

ඒ නිසා කලාකරුවන් විවිධ ක්ෂේත්‍රවලට යොමු වීම ගැන වරදක් කියන්න බැහැ. මටත් ඒ ප්‍රශ්නය ඒ විදියටම තියෙනවා. මමත් මේ ඉන්නේ මට පුළුවන්කමකට නෙවෙයි. මට ශක්තිය දෙන්නේ අපේ පවුලේ පුංචි ව්‍යපාරයක් තියෙන නිසා. එය ව්‍යාපාරයකට වඩා සේවයක් හැටියට මම දකින්නේ. මම පැවත එන්නේ ආයුර්වේද වෙද පරපුරකින්. 1940 ඉඳන් කරගෙන එන දෙයක්. මේ වෙනකොට ඒක ආයුර්වේද නිෂ්පාදන ආයතනයක් හැටියට පවත්වාගෙන යනවා. මදාරා කියන නමින්. ඒ නිසා මට තව ටික කාලයක් අල්ලගෙන ඉන්න පුළුවන්. ආර්ථික වාසි බලාගෙන මේ ඇතුළේ දේවල් කරා නම් ගොඩක් දේවල් කරන්න තිබුණා. මට ඕනේ වුණේ ගුණාත්මක නිර්මාණ අතින් යමක් කරන්න සහ විශේෂයෙන්ම ප්‍රේක්ෂකයන්ට විදින්න පුළුවන් නිර්මාණ කරන්න.

වර්තමාන සිනමා රසිකත්වය ගැන කතා කළොත්…

මේ වෙලාවේ ජනතාව ඉන්නේ දැඩි ආර්ථික ප්‍රශ්නත් එක්ක. පැන්ඩමික් එකට කලින් සිංහල චිත්‍රපට, චිත්‍රපටශාලාවලට ගිහින් බැලුවෙත් මුළු ජනගනයෙන් 3%ක් වගේ. දැන් ඊටත් අඩු පිරිසක් තමා අද ඉන්නේ. අපිට මේ තත්ත්වය යටතේ හිතට එකඟව මිනිසුන්ට ඇවිත් ෆිල්ම් බලන්න කියන්න විදියක් නැහැ. ඒ කාරණා ඔක්කොමත් එක්ක බරපතළ ප්‍රශ්නයක අපි ඉන්නේ. නමුත් මේ ගමන එකතු වෙලා යන්න වෙලා තියෙනවා.

සිනමා කර්මාන්තයෙන් යැපුණේ තිරයේ දකින නළු නිලියන් සහ අධ්‍යක්ෂවරුන් හෝ නිෂ්පාදකවරුන් පමණක් නෙවෙයි. සෘජුව සහ වක්‍රව යැපුණු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයගේ ජීවිත වෙනුවෙන් නැවත කර්මාන්තයක් හැටියට නැගිටිය යුතුමයි. ඒ වෙනුවෙන් සියලු දෙනාගේම කැපකිරීම් ඉස්සරහට තව තවත් අවශ්‍ය වෙයි.

ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන කෙනෙක් ඒ ආදරයට පෙරළා කියන්නේ මොකක්ද?

ප්‍රේක්ෂක ආදරය සිමාසහිත නැහැ. සිමා විරහිතව ලැබෙන ආදරයක් මට තියෙන්නේ. ඒ ආදරයට මම හැමදාම ගෞරව කරනවා. මේ කාලයේ මාස්ක් එක දාගෙන ගියත් ඒ ආදරය ඇස්වලින් හරි හොයාගෙන ළඟට ඇවිත් කතා කරනවා. ඉතින් ඒක මම වාසනාවක් හැටියට දකිනවා. ඒ ප්‍රේක්ෂක ආදරයට මගේ ආදර ගෞරවය අදත් හෙටත් හැමදාමත් මගේ හිතේ තියෙනවා.

 

අනූෂා රණසිංහ

අරුණ පුවත්පත පිනිපලස අතිරේකය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්