Nov
15

ලොවෙන් වඳ වී ගිය බවට සැක කළ තවත් දුර්ලභ ශාකයක් කළුතරින් සොයා ගනී

 
1718 Views
   
 

ශ්‍රී ලංකාවට අවේණික දුර්ලභ ශාක විශේෂයක්‌ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබදව පිහිටි ගුලවිට ගම්මානයෙන් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබේ.

Strobilanthes Rhytisperma යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නෙළු නමැති ශාක විශේෂය, 1867 වර්ෂයේදී මධ්‍යම පළාතෙන් සහ 1971 වර්ෂයේදී අවසන් වරට කළුතර දිස්ත්‍රික්කයේ රන්වල කැලේ රක්ෂිතයෙන් හමු වී ඇති බවට පර්යේෂණ සටහන්වල සඳහන් වී ඇතත් සජීවී පැළෑටි සහිත ස්ථානයක් සොයා ගැනීමට නොහැකිව පැවති ශාක විශේෂයක් බව පැවසේ.

මෙම ශාක විශේෂය මෙරට වෙනත් කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවීම නිසා පර්යේෂණ සටහන්වලට පමණක් සීමා වූ ශාක විශේෂයක් ලෙස හඳුනා ගෙන තිබිණි.

පරිසර ගවේෂකයෙකු වන පේෂල පසන් කරුණාරත්න මහතා විසින් මෙම ශාකය වලල්ලාවිට ප්‍රදේශයේදී සොයා ගැනීමෙන් පසුව ශාක විශේෂ පිළිබඳ විශේෂඥයෙකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශාක විශේෂ පිළිබඳ පර්යේෂණයේ යෙදෙන රේණුකා නිලන්ති රාජපක්ෂ මහත්මිය සහ නුවන් චතුරංග ජයවර්ධන මහතා යන පර්යේෂණ කණ්ඩාම කළ නිරීක්ෂණ මගින් එම ශාකය Strobilanthes Rhytisperma බව තහවුරු කරගෙන තිබේ.

පොදුවේ නෙළු යන නාමයෙන් හඳුන්වන Strobilanthes ගණයට අයත් විශේෂ 450ක්‌ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික සහ ඔස්ට්‍රේලියනු  කලාපවලින් වාර්තා වී ඇති අතර, මේ අතරින් විශේෂ 33ක් ශ්‍රී ලංකාවේ හමුවී තිබේ. ඉන් විශේෂ 27ක්‌ ම මෙරටට ආවේණික  විශේෂයන් වේ.

2020 රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස මෙම ශාක විශේෂය නම් කර ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්