May
22

අපි වගේ ගෑණු ළමයි ගොඩක් රැවටිලා VIDEO අරලා දැන් බයේ ඇති

 
1202 Views
   
 
මීගමුවේ පිහිටි ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන්නියක් වන ඇය නිරූපිකාවක් වන්නට සිහින මැව්වේ කුඩා කල සිටය. ඇගේ ජංගම දුරකතනය පිරී තිබුණේ මෙරට පමණක් නොව, ලොව නන් දෙස ප්‍රසිද්ධ නිරූපිකාවන්ගේ ඡායාරූප සහ වීඩියෝවලිනි.
පැහැපත් සිරුරකට හිමිකම් කී ඇය ඇන්දේ පැලැන්දේ ද නිරූපිකාවක් ලෙසිනි. ඒ නිසාම සම වයසේ තරුණයන්ගේ පමණක් නොව, වැඩිහිටි තරුණයන්ගේ ද නිරන්තර ආකර්ෂණයට ඇය ලක්වූවාය.

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින ඇයට අපි නිරෝෂා යැයි කියමු. පාසල් ගමනට සමුදීමෙන් පසු නිරෝෂා සිතාගෙන සිටියේ නිරූපිකාවක් වන්නටය. ඇය නිරූපණ ක්ෂේත්‍රයට වහ වැටී සිටි තැනැත්තියක් යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය.

නිරෝෂා පිස්සු වැටෙන්නේ මෙරට ප්‍රසිද්ධ නිරූපිකාවකගේ වට්ස්ඇප් සමූහයකට අනපේක්ෂිත ලෙස ඇයව සම්බන්ධ කරගෙන තිබීම හේතුවෙනි. එම නිරූපිකාව රූපවාහිනී තිරයේ නිතර දකින, සමාජයේ කතාබහට ලක්වන චරිතයකි. එම නිරූපිකාවට නිරෝෂා සිටියේ වහ වැටීය.

ඒ නිසාම මෙම වට්ස්ඇප් සමූහයට තමාව සම්බන්ධ වූයේ කෙසේදැයි කියා සොයා බලන්නටවත් නිරෝෂාට මතකයක් නොවූවාය. මෙම වට්ස්ඇප් සමූහය සැබෑ ලෙසම එම නිරූපිකාවගේමදැයි සොයා බැලීමටවත් ඇයට වගේ වගක් නොවූවාය. නිරෝෂාට මේ දේවල් ගැන සොයා බැලීමට තරම් උනන්දුවක් නොවූයේ ඇය දන්නා කියන තවත් මිතුරු මිතුරියන් රැසක්ම මෙම සමූහයේ රැඳී සිටි නිසා විය හැකිය.

“නිරූපණ ක්ෂේත්‍රයට එක්වීමට කැමැති නවකයන්ට අවස්ථාවක්“ මෙම සමූහයේ දැන්වීමක් පළවන්නේ මේ අතරතුරදීය.

මෙම දැන්වීම දුටු නිරෝෂාගේ හිසේ මලක් පිපුණාය. ඇය ඊට අයදුම්පතක් යොමු කරනුයේ උසස් පෙළ අධ්‍යාපනය හදාරන අතරතුර මාපියන්ට හොරා නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට එක්වීමේ අපේක්ෂාව ඇතිවය. ඇය අයදුම් පත යොමු කරනු ලබන්නේ වට්ස්ඇප් මඟින්මය. ඒ එහි සඳහන් වූ අංකයක් ඔස්සේය. ඊට පිළිතුරු ලැබෙන්නේද එම වට්ස්ඇප් අංකය ඔස්සේය. ඒ ඇයව නිරූපිකාවක් ලෙස තෝරා ගැනීමේ මූලික පරීක්ෂණයකට නුදුරු දිනයකදීම යොමු කරන බව සඳහන් කරමිනි.

දින කිහිපයකට පසු ඇයට එම වට්ස්ඇප් අංකයෙන් පණිවුඩයක් ලැබෙන්නේ තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා ඡායාරූපයක් යොමු කරන ලෙසය. ඒ අනුව නිරෝෂා තමාට ඇති ලස්සනම ඇඳුමින් සැරසී මේකප් තට්ටුවක්ද මුහුණේ උලාගෙන සිය ජංගම දුරකතනයෙන් ගත් සෙල්ෆියක් ඊට යොමු කළාය. එය ප්‍රමාණවත් නොවන බවට වූ කෙටි පණිවුඩයක් ලැබෙන්නේ හැරෙන තැපෑලෙන්මය. නිරෝෂා ඊට සැලුණේ නැත. තමා සතුව ඇති සෑම ඇඳුමක්ම පාහේ ඇඟලා ගෙන විවිධ ඉරියව්වලින් පෙනී සිටිමින් ඡායාරූප ගොන්නක්ම ගෙන ඒ හැම එකක්ම පාහේ වට්ස්ඇප් කළාය. ඒ නිරූපණ ක්ෂේත්‍රයේ පොඩි අවස්ථාවක් හෝ ලබාගැනීමේ අපේක්ෂාව ඇතිවය.

“ඔයාව අපි මූලික වටයෙන් සිලෙක්ට් කර ගත්තා. ඒත් ඔය ෆොටෝවලින් විතරක් ඔයාව සිලෙක්ට් කරගන්න බැහැ” ඇයට මේ පණිවුඩුය එන්නේ දින කිහිපයකට පසුවය.

“එහෙනම් මොනවගේ ෆොටෝ එකක්ද ඉල්ලන්නේ“ ඇය වට්ස්ඇප් පණිවුඩයක් යොමු කළාය.

ඊට ලැබෙන්නට වූ පිළිතුරට ප්‍රතිචාර දැක්වීම අවදානම්සහගත එකක් වූවත් නිරෝෂා ඒ අවදානම ගත්තාය. ඇය අඩනිරුවත් ඡායාරූප කිහිපයක්ම යොමු කළාය. නැවත නැවතත් විවිධ ඡායාරූප ඉල්ලා සිටින්නට වූ බැවින් ඒ හැම විදිහකම ඡායාරූප ඇය සිය ජංගම දුරකතනයෙන් ගෙන යොමු කළේ නිරූපිකාවක් වීමේ සිහිනෙන් අන්ධ වී සිටි බැවිනි. අවසානයේදී ඇය සිය මුළු සිරුරම නිරාවරණය කරමින් වීඩියෝවක්ද යොමු කරනු ලැබුවාය.

නිරූපිකාවන් වන්නට සිහින දුටු නිරෝෂා මෙන්ම තවත් බොහෝ යෞවනියන් මෙම වට්ස්ඇප් ගිණුමට නිරුවත් ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන යොමුකර තිබුණහ. ඒ හැරුණු කොට උසස් පෙළ අවසන්ව රැකියා අපේක්ෂාවෙන් සහ විවිධ පාඨමාලාවන්ට සම්බන්ධ වී සිටින තරුණියන්ද සිය නිරුවත මෙම වට්ස්ඇප් ගිණුමට යොමුකර තිබුණේ ඒ ගැන කිසිදු සොයා බැලීමකින් තොරවය. ඒ රටේ දක්ෂ නමගිය නිරූපිකාවක් සමඟ නිරූපණ ක්ෂේත්‍රයට එක්වීමේ හුදු අපේක්ෂාවෙන් ඒ හැමෝම ඒ වන විට වල්මත්ව සිටි බැවිනි. එහෙත් මේ කිසිවෙක් දැන සිටියේ නැති එකම කාරණාව වූයේ තමන් ඒ වන විටත් රැවටීමකට ලක්ව සිටින බවය. මේ අයව මෙසේ රැවටීමට ලක්කරනු ලබන්නේ මිනුවන්ගොඩ පැත්තේ ඇති ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙකි. මෙවර උසස් පෙළ විභාගයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය මාලාව යටතේ මුහුණ දීමට සිටින මෙම සිසුවාට අපි හේමක යැයි කියමු.

පාසලේ මාධ්‍ය සංගමයේ සභාපතිවරයා වූයේද හේමකය. පාසලේ කැපී පෙනෙන චරිතයක් වූ හේමක ඡායාරූප ශිල්පියෙක් ලෙසද පාසලේ වැඩ පෙන්නුවේය. හේමක පාසලේ කැපී පෙනෙන විට ඔහුට තරහකාරයන්ගෙන්ද අඩුවක් නොවීය. විශේෂයෙන් මාධ්‍ය සංගමයේ වැඩවලදී ගැටුම් පවා නිමක් නොවීය. ඒ හේමකගෙන් පසු එම ධුරයට තරග කරන සිසුවා පවා ඒ වන විට සිටියේ ඔහුට හිතවත් කණ්ඩායමක් සකස් කරගෙනය. ඒ තනතුරට තිබුණු තරගය හේතුවෙනි.

පාසලේ කැපී පෙනෙන දක්ෂ සිසුවෙක් වූවත්, ඔහුට හොඳ අනාගතයක් ඇති බවට ලක්ෂණ පෙන්නුම් කළත් ඒ හැම දෙයක්ම හේමක විනාශකර ගන්නේ සහෝදර සිසුවියන් සහ දන්නා කියන තරුණියන්ව රැවටීමකට ලක්කර ඒ අයගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට රැස්කර සිය ලැප්ටොප් පරිගණකයේ ගබඩා කරගෙන පාසල් මිතුරන්ට පෙන්වන්නට ගොසිනි.

හේමක මෙම රැවටීම සිදු කළේ නිරූපණ ක්ෂේත්‍රයේ නම ගිය එක් නිරූපිකාවකගේ නමින් සකස් කළ වට්ස්ඇප් සමූහයකින් පමණක් නොව, තවත් නිරූපිකාවකගේ නමින්ද ඔහු වට්ස්ඇප් ගිණුමක් සකස්කරගෙන නිරෝෂාව මෙන් තවත් බොහෝ අයව ඇන්දුවේය. හේමක මේ වැඩේට අත තබන්නේ 2021 වසරේදීය. හේමකගේ ගොදුර බවට පත් වූයේ ඔහු දන්නා කියන සිසුවියන්ය. තරුණියන්ය. ටියුෂන් පංතියේදී, සන්නිවේදන වැඩමුළුවලදී හමුවන සිසුවියන්ගේ ජංගම දුරකතන හේමක අත වූ බැවින් ඔහු ජනප්‍රිය නිරූපිකාවන් දෙදෙනාගේ ව්‍යාජ වට්ස්ඇප් සමූහයට සම්බන්ධ කරගත්තේ ඒ අයවය. එම සිසුවියන්ගේ සහ තරුණියන්ගේ නිරුවත බලමින් ඔහු තනියම සතුටු වූවා පමණක් නොව, සිය මිතුරන්ටද ලැප්ටොප් පරිගණකය විවෘත කර පෙන්වන්නට වූයේ එය මහා වීරකමක් සේ සලකාය.

මේ වැඩේ පත්තුවන්නේ ඒත් එක්කමය. මිතුරන් මාන බැලුවේ හේමකගේ ලැප්ටොප් පරිගණකයේ ඇති එම වීඩියෝ සහ ඡායාරූප සොරා ගන්නටය. ඊට අවස්ථාවක් ඔවුන්ට ලැබෙන්නේ ලැප්ටොප් පරිගණකය පාසලේ මාධ්‍ය සංගම් කාර්යාලයේ තබා වෙනත් වැඩකටයුත්තකට හේමක ගිය විටදීය.

හේමක කර ඇති මේ කැත වැඩේ ළැව් ගින්නක් මෙන් පාසල් පද්ධතිය තුළ පැතිර යන්නට වූයේ ඒත් එක්කමය. ඒ ඔහු එතෙක් ගොඩනඟාගත් කීර්තියද විනාශයට පත්වෙමිනි. ආදි ශිෂ්‍යයින් පවා ඊට මැදිහත් වන්නට වූයේ හේමකගේ මේ ක්‍රියාව නිසා පාසලට ලොකු අපකීර්තියක් ගෙන දෙන්නට වූ බැවිනි. ඒ අතර හේමක සමඟ නිරන්තර ගැටුම් ඇතිකරගත් විවිධ සංගම් සහ සංවිධාන නියෝජනය කරන ආදි සිසුන් මෙන්ම වැඩිහිටි සිසුන්ටද මෙම වීඩියෝ දර්ශන හේමකට එරෙහිව ක්‍රියාත්මක වීමට හොඳ අවියක් බවට පත්ව තිබුණේය. හේමකට එරෙහිව පාසල් පද්ධතිය තුළ මෙන් ඉන් පිටත ද විරෝධතාවක් ගොඩනැඟෙන්නට ගත්තේ ඒත් එක්කමය.

හේමකගේ ගොදුරු බවට පත්වූ වැඩිදෙනෙක් මිනුවන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිව සිටින හෝ එම ප්‍රදේශවලට සම්බන්ධකම් ඇති පාසල් සිසුවියන් සහ තරුණියන්ය. ඒ අතර හේමකගේ මිතුරියන් බොහෝය. හේමක විසින් තමන්ව රැවටීමකට ලක්කර ඇති බව ඒ අය දැන ගන්නා විට ඇතැම් සිසුවියන්ට සහ තරුණියන්ට ජීවිතය පවා නැතිකර ගැනීමට සිතී ඇති වාර අපමණය. ඇතැම් අය සියදිවි හානිකර ගැනීමට පවා උත්සාහ ගෙන තිබුණේ සමාජයට මුහුණ දීමට නොහැකිවය. එසේ සියදිවි හානිකර ගැනීමට සිතුණු සිසුවියක් සිය මාපියන්ට ලිපියක් පවා ලියා තිබුණාය.

“අම්මේ තාත්තේ මට ගොඩක් සමාවෙන්න. මම මේ දේ හිතලා කරපු දෙයක් නෙමේ. අද මට ඔයාලව දාල යන්න වුණොත් ඔයාලා සතුටින් පරිස්සමින් මල්ලි එක්ක ඉන්න. මෙහෙම දෙයක් වෙයි කියල මම හීනෙකින්වත් හිතුවේ නැහැ. MODLING කරන්න තිබ්බ ආශාවටයි හිමාෂියි කෝකිලයි මේ ගැන කියල හිතේ ආසාවක් ඇති කරපු නිසයි, එයාල ගැන විශ්වාස කරලයි මේ දේ කළේ.“ ඇය එම ලිපියේ ආරම්භය සනිටුහන් කර තිබුණේ එසේය. ඒ සමස්ත සිසුවියන්ට මෙන්ම තරුණියන්ටද ලොකු පණිවුඩයක් දෙමිනි. ඒ මිතුරන්ව ඕනෑවට වඩා විශ්වාස කරන්නට යාමෙන් සිදු වන්නේ කුමක්දැයි කියාය.

“ මම දැනන් හිටියේ නැහැ අපි කොල්ලෙක්ට මේ රැවටෙන්නේ කියල. එයයි මායි දෙන්නම රැවටිලා තමා මෙහෙම VIDEO කරල ඒ අක්කට ඇරියේ. එහෙම නැතිව කොල්ලෙක් කියල දැනගෙන නෙමෙයි අපි මේ දේ කළේ. අපි වගේ ගෑණු ළමයි ගොඩක් මුන්ගේ මේ බලු වැඩේට රැවටිලා VIDEO අරලා දැන් බයේ ගැහැ ගැහි ඇති. අපි මේ ගැන ඇත්ත දැනගන්නකොට හැමදේම වෙලා ඉවරයි. “ කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව කටයුතු කිරීමට යාමෙන් සිදුවන හානිය ගැන ඇගේ මේ ලිපියෙන් පවා තරුණ ප්‍රජාවට දෙන්නේ පණිවුඩයකි.

ඇය සිය මවට ලියූ මෙම ලිපියේ සටහන් තබා ඇති ආකාරයට අනුව පිරිමියෙක් කියා දන්නේ නම් එම වීඩියෝ යොමුනොකරන බව කියන්නීය. පිරිමියෙක් නොව, ගැහැනියකට වූවත් තමන්ගේ නිරුවත යැවීමට පෙර දෙවරක් සිතිය යුතුය. ඒ නිරූපිකාවන් වන්නට කැමරාව ඉදිරියේ නිරුවත් වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බැවිනි. සැබෑ ලෙසම මෙම වට්ස්ඇප් ජාලය ඒ කියන නිරූපිකාව විසින්ම මෙහෙයවූ එකක් වූවත් කිසි දිනක දැක කතාබහ නොකළ තැනැත්තියකට එසේ නිරුවත වීඩියෝ කර යොමු කිරීම අතිශයින්ම භයානකය.

“මගේ අම්මේ, අම්මා කියන දේවල් අහන්නේ නැතිව මෙහෙම කලාට මට සමාවෙන්න. මං ඔයාලගේ දුවෙක් කියන්නත් සුදුසු නැහැ.” යැයිද ඇය ඒ ලිපියෙහි සටහනක් තබා තිබුණාය.

ඇගේ මේ ලිපිය පුරාවට ඇති සෑම වචනයකින්ම කියැවෙන්නේ දුරදිග නොබලා කටයුතු කිරීමේ පලවිපාක ගැනය. ඇය මෙසේ සිය මවුපියන්ට ලිපියක් ලියා සූදානම් වූයේ සියදිවි හානිකර ගන්නටය. එය මෝඩකමක් බව ඇය ඒත් එක්කම වටහා ගත්තාය. සියදිවි හානිකර ගැනීමේ අදහස ඇය අත්හැර දමා තීරණය කරනුයේ ඕනෑම අභියෝගයකටම මුහුණ දීමටය. තමන්ව මෙන්ම තවත් සිසුවියන් සහ තරුණියන් රැසක් රැවටීමට ලක්කල ඒ නරුමයාට එරෙහිව සටන් කරන්නට ඇය තීරණය කළාය.

හේමක කළ මේ අසික්කිත ක්‍රියාව ගැන ඒ වන විටත් ඔහු අධ්‍යාපනය ලද පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයට ද රහසක් නොවීය. හේමකගේ මේ ක්‍රියාව පාසලට අපකීර්තියක් එල්ල වන සිදු වීමක් බවට පත්වනු ඇති බවට ආදි ශිෂ්‍යයන් කණ්ඩායමක් විදුහල්පතිවරයාට දිගින් දිගටම පෙන්වා දෙන්නට ද ගත්තේය. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ හේමකට පන්ති තහනමක් පැනවීමට විදුහල්පතිවරයාට සිදු වීමය.

විද්‍යුත් මාධ්‍යවේදියෙකුට මේ ගැන තොරතුරු ලැබෙන්නේ මෙවන් පසුබිමක් තුළදීය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට මේ ගැන පැමිණිල්ලක් යොමු වන්නේ එම මාධ්‍යවේදියාගෙනි. එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතා විසින් මේ ගැන විමර්ශනයක් පැවැත්වීමේ වගකීම පවරන්නේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. අයි. වී. ගයා ශ්‍රී මහතාටය. උප පොලිස් පරීක්ෂක වේරගම, සැරයන් මහේෂ් (71191), කොස්තාපල්වරුන් වන ජයවර්ධන (97642), හේරත් (98641), නිරෝෂන් (93484) සහ කොස්තාපල් රියදුරු ලහිරු (15121) යන නිලධාරීන් සමඟ එක්ව ගයා ශ්‍රී විසින් කළ පුළුල් විමර්ශනයකින් අනතුරුව හේමක අත්අඩංගුවට ගන්නේ මිනුවන්ගොඩ පිහිටි නි‍ෙවසේදීය. ඒ නිවසේ තිබුණු පරිගණකය පරීක්ෂා කර ඒ තුළ ගබඩාකර තිබුණු සිසුවියන් සහ තරුණියන් 12 දෙනෙකුගේ වීඩියෝ දර්ශනද සමඟිනි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් හේමකගෙන් මේ ගැන ප්‍රශ්න කළේය. ඔහු හැම දෙයක්ම නොසඟවා හෙළි කළේය. ඊට අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට පෙනී ගියේ හේමක මේ ක්‍රියාව සිදුකර ඇත්තේ එහි ඇති බරක් පතලක් නොදැන බවය. ඒ යැයි කියා ඔහුට නීතියෙන් ගැලවිල්ලක් නැත. නීතියට අනුව ඔහු කර ඇත්තේ ලොකු වැරැද්දකි. ඒ නිසාම පරිගණක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට සිදු වන්නේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමටය. මෙහිදී හේමකට අධිකරණයෙන් ඇප ලැබෙන්නේ ඔහුකළ පූරුවේ පිනකට විය හැකිය. එසේ නොවන්නට ඔහුට සිදු වන්නේ හිරේ විලංගුවේ වැටී අමිහිරි අත්දැකීම් ගොන්නකට මුහුණ දෙන්නටය. ඒ යැයි කියා හේමකට නිදහසක් නම් හිමිව නැත. අද ඔහු සිටින්නේ නි‍ෙවසේ හිරකාරයෙක් බවට පත්වය. ඒ සමාජයට මුහුණ දීමට නොහැකිවය.

සිළුමිණ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්